සඳ තනියම ( අවසාන කොටස ) | Sada Thaniyama Awasan Kotasa


   සඳ තනියම.( අවසාන කොටස )

                       උපාලි සල්ලිත් අරන් ගිහින් දැන් සුමාන දෙකක් විතර උනත් නිලමෙගෙ හිත නොසන්සුන් වෙන්න ගත්තෙ එදත් එදායින් මේ වනතුරු ඔහුගෙන් කිසිම  තොරතුරක් ලැබුන් නැතිඋනහම. වෙනදටනං සුමානෙකට සැරයක්වත් වලව්වට ඇවිත් යන්නෙ වත්තෙ වැටිලා තියෙන කොස් දෙල් පොල් එහෙමත් එකතු කරගෙන. ගම්වල ඕවා නිකං වැටිලා කුනුවෙලා ගියාට කොළඹ පැත්තෙ හැමදෙයක්ම සල්ලි වලටම ගන්න එකේ මැණිකෙත් ඒවා එකතු කරලා තියන්නෙ උපාලි ආවහම අරන් යන්න දෙන්න. මගුලටත් ඇත්තෙ තව හරියටම මාසයයි. ඒ සේරටම කලින් සුමාන දෙකකින් ගෙවන්න පොරොන්දුවට තැබූ වලව්වෙ උකස බේරිය යුතුය . 
                      දිනෙන් දින ගෙවී අලුත් දවසක් උදාවෙන හැම මොහොතකම නිලමේ වලව්වෙ වත්ත කෙලවර ගේට්ටුව දිහා බලාගෙන ඉන්නෙ කොයි වෙලාවක හරි ඉන් මතුවෙන උපාලිගේ රුව දැකීමේ අපේක්ෂාවෙන් . බිය සැක පිරි මොකද්දෝ අමුතු වේදනාවකින් ඔහුගේ හදවත ඇදුම් දෙන්නෙ දැන් දින ගනනාවක ඉඳන්. 
" සල්ලි ටිකත් අරගෙන මේකා වහං උනාවත්ද. " 
" නෑ...  නෑ... එහෙම වෙන්න විදිහක් නෑ. ඔහොම තමයි බිස්නස් වැඩ කරන්න ගියහම.
දින වකවානු තියලා කොරන්න පුලුවන් වැඩයෑ ඔව්වා "
නිලමෙගෙ බිඳුනු හිත සනසගන්නට ඔහු දරන්නේ සෑහෙන වෙහෙසක්. 
                        .............
" මේන් මේ රණවරා කෝප්පයවත් බීලා හිටියනං. 
අනේ මන්දන්නෑ හරියට කෑමක් බීමක්වත් නැතිව ඔයහැටි කල්පනා කරන්න හොඳඳ. " 
" මැණිකේ ... " 
මැණිකේ දුන්නු රණවරා කෝප්පෙ තොලගාමින් හිටිනිලමෙගෙ මුහුනෙ තිබුනෙ බැරෑරුම් පෙනුමක්.  
මම මේ කල්පනා කලේ කොළඹ ගිහින් ටිකක් හොයලා බලලා ආවොත්  හොඳයි කියලා . 
කව්ද දන්නෙ ඒ ලමයට මුකුත් කරදරයක් වෙලාද කියලා . " 
නිලමේ ඇහුවෙ තවත් බලාගෙන ඉන්න බැරිමතැන . දින ගනනාවක් තිස්සේ  බලාගත්තු අතේ බලාගෙන ඉන්නවා මිසක් හරිහැටි කෑම පිරියක්වත් නොතිබුනු  ඔහුගෙ මූනෙ තිබුනෙ මලානික පෙනුමක්. 
" අපේ මහත්තයා කොහොමද ඔය තරම් දුරක් ගිහින් ඔය ලමයා ඉන්න තැන හොයාගන්නෙ. 
මමනම් කියන්නෙ තව ටික දවසක් බලමු කියලා . " 
" බලනවා කියලා තව කී දවසක් බලාගෙන ඉන්නද මැණිකේ . 
මංගල්ලෙටත් තව කී දොහද තියෙන්නෙ. 
මෙව්වා බලබල ඉන්න පුලුවන් දේවල් නෙවෙයි . 
මම හෙටම යනවා කොළඹ . "
ඔහු කිව්වෙ ස්ථිර හඬින්. පුටුවෙන් නැගිට ගේ ඇතුලට ඇවිදන් යන නිලමේ දිහා බලාගෙන ඉන්න මැණිකෙගෙ හිතේ තිබුනෙ ඔහු කියපු කතාව ගැන.  නොදන්නා පලාතකට ඔහුව තනියම යවන්න ඇගේනම් හිත ඒතරම් කැමැත්තක් නෑ. නමුත් නිලමේ දෙයක් හිතුවොත් ලේසියෙන් වෙනස් කරන් නැතිබවත් ඈ දන්නවා. 
" අනේ මන්දා මොනවා කරන්නද කියලා . " 
ඇයට සුසුමක් පිටඋනේ ඉබේටම . 
                       පහුවදා උදේ පාන්දරින් කුකුලත් අතේ තියාගෙනම නිලමේ වලව්වෙන් එලියට බැස්සෙ කොළඹ යන්න. ගියවර උපාලිලාගෙ ගෙවල් බලන්න නෑයො එක්ක ගියපු වෙලේ ඒ ඉසව්ව ගැන  යාන්තමට ඔහුට මතකයක් තිබුනත් තැන හොයාගන්න බැරිවෙයිදෝයි ඔහුගෙ හිතේ තිබුනෙ තරමක සැකයක්.  හීන් සීරුවේ පඩිපෙළ ගාවට පැමිනි ඔහු සුගතන්ගෙ ගෙවල් දිහාට එබිකම් කරලා බැලුවෙ සුගතන් පේන්න ඉන්නවද කියලා . තවම උදෑසන කලුවර පවා පහව නොගිය බැවින් ඔහුගේ ගෙදර තිබුනෙ අන්ධකාරයෙ. ඔව්න් තවම අවදිවී නැතිබැව් දැනගත් නිලමෙගෙ හිතට දැනුනෙ සතුටක් . ඔහු හීන්සීරුවේ පල්ලම් බැස්සෙ හැකි ඉක්මනින් සුගතන්ගෙ ගෙදර පහුකරලා යන්න හිතාගෙන . 
" ආ නිලමේ උදේ පාන්දරින්ම බෑරක් යනවා වගේ. " 
               නිලමේ ගැස්සිලා ගියේ  සුගතන්ගෙ ගේ පහුවෙනවාත් සමගම ඇහුනු ඔහුගේ කටහඩින්. කෝපයෙන් ආපහු හැරුනු ඔහු දැක්කෙ අඩ අඳුරෙ ලිඳ ගාවට වෙලා කෝටු කැබැල්ලකින්දත් හාර හාර ඉන්න සුගතන්ව.  සුගතන්ව දැකපු නිලමෙට හිතුනෙ යන්න ආපු ගමන අතහැරලා දාලා ආපහු ගෙදර යන්න උනත්  බොහොම අමාරුවෙන් ඔහු හිත එක්තැන් කරගත්තෙ මේ ගමන නොයා බැරිකමට . 
                       ............
" කෝ.. දුවේ .. තවම නෑනෙ අප්පච්චි ..
අනේ මන්දා මටනං මහ මොකද්ද වගේ. "
               මැණිකේ කිව්වෙ දමයන්තිගෙ කාඹරේට එබෙමින්.  අම්මා උදේ ඉඳන් 
පාර දිහා බලාගෙන ඉන්නෙ අප්පච්චි එනකම්. ගෙයි සාලෙ උලුවස්ස ගාවටත් එතනින් ආපහු ගෙයි ඇතුලට යනවා හැරෙන්නට ඈට වෙන වැඩක් නැත. නුහුරු නුපුරුදු ඉසව්වක අප්පච්චි කොහොමනම් උපාලිව හොයාගන්නද. 
" අනේ දෙයියනේ අප්පච්චිට කරදරයක් නං වෙන්න එපා. " 
හැන්දෑ වෙන්න වෙන්න දමයන්තිගේ හිතේ තිබුනු බිය දෙගුන තෙගුන වෙන්න ගත්තත් ඈ එය සඟවාගෙන සිටියේ මේ වනවිටත් නොසන්සුන්වෙලා ඉන්න අම්මව තවත්  කලබල කරන්න බැරිකමට .  
උදේ ඉඳන් පාර දිහාම  බලාගෙන ඉඳපු වෙහෙසටදෝ සාලෙ පුටුව උඩම වාඩිවීසිටි මැණිකෙගෙ ඇස් යාන්තමට පියවීගෙන එද්දිම හීනෙන් වගේ ඈ දැක්කෙ දොරකඩ ලගින් මෑත්වෙන නිලමෙගෙ රූපය. 
" අපෙ මහත්තයා. " 
දුන්නක් දිගහැරියාක් මෙන් මැණිකේ දිවගියේ නිලමේ ගාවට. 
" ඇයි මහත්තයා මොකද උනේ. 
උපාලි හම්බඋනාද . " 
ඈ තිගැස්සුනේ මලමිනියක් වගේ සුදුමැලිවී ගියපු ඔහුගේ මුහුන දැක්කම. කිසිත් නොකියා ගේ ඇතුලට පැමිනි නිලමේ හාන්සි පුටුව මතට වැටුනේ කපාහෙලූ ගහක් වගේ. 
" අපි රැවටුනා මැණිකේ . 
ඒකා හොරෙක්. " 
" මොනවා " 
දෑතින්ම මුව වසාගත් ඈ නිලමේ දිහා බලාගෙන හිටියෙ භිරාන්ත ඌ දෑසින්. වලව්ව පුරා පැතිරුනේ දිගු නිහඩතාවයක්. උදේ ඉඳන් වතුර උගුරක්වත් නොමැතිව දැඩි පිපාසෙකින් හිටපු නිලමේ මැණිකෙට කියා වතුර වීඳුරුවක් ගෙන්වාගෙන  එය බීගෙන බීගෙන ගියේ එක හුස්මට . 
" එදා අපිව එක්කරගෙන ගියපු ඒකගෙ ගෙදර මම බොහොම අමාරුවෙන් හොයාගත්තා. " 
" ඒකා කරලා තියෙන්නෙ බොරුව.
ඒක උගෙ ගෙදර නෙවෙයි . දවසකට කුලියට ගත්තු හෝටලයක්. 
පස්සෙ මම විස්තර හොයාගන හොයාගන යනකොට වැල්ලවත්තෙ මුඩුක්කු පේලියක ලෑලි ගහපු ඒකගෙ ගුබ්බෑයම හොයාගත්තා. 
ඒකෙ හිටියෙ ඒකා කසාද බැඳපු ගෑනියි දරුවො තුන්දෙනයි . 
සුමාන ගානකින් ඌ එහෙටවත් ඇවිත් නෑලු. "  
පුටු ඇන්ද අල්ලාගත් මැණිකේ පුටුවේ හාන්සිඋනේ ඔලුව කැරකැවෙන්නට ගත්තු නිසා. 
" අපි ඔක්කොම රැවටුනා මැණිකේ . අපි ඉවරයි . " 
                කාඹරේට වෙලා මේ සේරම අහගෙන හිටපු දමයන්ති  මහ හඬින් හඬාගෙන සාලෙට දිවවිත් වැටුනෙ නිලමෙගෙ කකුල් දෙක ගාව. 
" අප්පච්චි .... ..
අනේ මට ආයෙ මගුල් හොයන්න ඕනෙ නෑ......... අප්පච්චි ....
මම මේ ඉන්න හැටියටම ඉන්නම්... 
මට මේ විදිහට ඉන්න දෙන්න අප්පච්චි .... " 
මැණිකෙගෙ වගේම නිලමෙගෙ ඇස් දෙකිනුත් කඳුලු බේරෙන්න ගත්තෙ නිලමෙගෙ කකුල් දෙක බදාගෙන ඉකිගගහා හඬන දමයන්ති දැක්කහම . 
                        එදා මධ්‍යම රාත්‍රියත් පහුවෙනකම් හාන්සි පුටුවේ කල්පනා කරමින් හිටියා මිසක් නින්ද නම් අහලකටවත් පැමිණියේ නිලමේ ගාවට නොවේ. මුලු වලව්වම සොහොනක් වගේ. හැමෝම අඬ අඬ නිදාගත්තා මිසක් ගෙයි අහරක් ගන්නට කිසිවෙකුට පිරියක් නැත. තව ටික දිනකින් උකසට තැබූ වලව්වත් සින්නවී ගොස් අපි හැමෝටම පාරට බසින්නට සිදුවනු ඇත . නිලමේගොඩ පරම්පරාවෙ අභිමානය කියාපාන්නට ඉතිරිවෙලා තිබුනු අන්තිම පුරාවස්තුව. අප්පච්චි කොතරම් බීගෙන සූදු කෙලලා වලව්වෙ ඉඩකඩම් විකුනලා දැම්මත් ඔහු මියගියේ වලව්ව හරි ඉතිරි කර තියලා.  අද තමන් ඒකත් නැතිකරලා දැමුවා. මේ කරපු වරදට අපේ මී මුත්තන් අප්පච්චිටවත් තමන්ටවත් කිසිදිනෙක සමාවක්නම් නොදෙනු ඇත. 
                      පුටුවෙන් නැගිට ගෙට ගිය ඔහු එබුනෙ කාඹරේට . මැණිකේ නිදි. පව්. එදා ඉඳන් මාත් එක්ක මේ හැම දෙයක්ම නිහඩවම දරාගෙන මොනතරම් නම් දුකක් උහුලගෙන හිටියද. මට බැරිඋනානෙ ඒකිව එක මොහොතක් සතුටෙන් තියන්න. ඔහු එතනින් ඉවත් උනේ තව දුරටත් ඈ දිහා බලාගෙන ඉන්නට බැරිව . ඉන්පසු ඔහු එබුනෙ දමයන්තිගේ කාඹරේට . ඔහුගේ පපුව හෝස් ගාලා දැවිලා ගියේ ඈ ඉන්නහැටි දැක්කහම. ඈට මේ හැමදෙයක්ම උනේ තමන් නිසා නේද. තමන්ගෙ තියෙන පුහු මානයයි උද්දච්චකමයි නිසා අවසානෙදි දුක් විඳින්න උනේ මේ අහිංසක කෙල්ලට. 
                      පපුව පැලීයන තරම් ශෝකයෙන් උමතුව එලියට ආපු නිලමේ  දැක්කෙ එලියෙ හාන්සිපුටුවෙ බොහොම උජාරුවට දිගෑදී ඉන්න නිලමේගොඩ මොහොට්ටාල ඩිංගිරිහාමු හෙවත් තමන්ගෙ සීයව. 
" අත්තප්පා " 
එදා දැකපු අත්තප්පගෙ ගාම්භීර මුහුන , ඒ ඇඳපු කබායෙ පිත්තල බොත්තම් වල දිස්නෙ තවමත් ඒ විදිහමයි. ඔහුගේ මුහුනෙ ඇඳී තිබුනෙ හීන් හිනාවක්. නිලමේ දෙස වරක් බලා කිසිවක් නොකියාම පුටුවෙන් නැගිටගත්  ඔහු ගමන්කලේ මිදුල දිහාට. හනික මිදුලට දිවගොස් නිලමේ බැලුවෙ අත්තප්පා කොහාටද ගියේ කියලා . පඩිපෙළ පල්ලෙහා නවතා තිබුනු රිදී කරත්තයට නැගුනු අත්තප්පා නිලමේ දිහා බලාගෙන හිටියෙ හරියට පුංචි කාලෙදි ඔහු තමන්වත් කරත්තෙ තියාගෙන ගමවටේ ඇවිදින්න එක්කරගෙන යන විදිහට අදත් ඔහුට යන්න කතාකරනවා වගේ. 
" යන්න එපා අත්තප්පා ..
ඔහොම ඉන්න . මාවත් එක්කරගෙන යන්න. " 
නිලමේ අතත් දිගු කරගෙනම ඉදිරියට එන්නට සැරසුනා පමනි. එක්වරම පඩිපෙළ මතින් ඇදගෙන වැටුනු ඔහු රෝල්වී ගොස් නතර උනේ ගල් බැම්මේ වැදී නලලෙන් ගලාගෙන ගිය රුධිරයෙන් අවට පොලව තෙමීගෙන යද්දී. 
                      ................
                  නිලමෙගෙ සිරුර මිහිදන් කල සොහොන් කොත අසල සිටි මිනිසුන්ගෙන් එකා දෙන්නා ඉවතට ඇදී යද්දී සුලගට ලෙලදෙන ගොක්කොල අත්ත අසල දමයන්ති බලාගෙන හිටියේ නිසොල්මන්ව . රතුවී ඉදිමුනු නෙත් දෙක කියාපාන්නේ මේ දින කිහිපයේ ඈ හෙලපු කඳුලුවල තරම. මරනෙ කටයුතු කොහොම උනාද කියලවත් ඈට හිතාගන්න බෑ . ගතඋනු මේ දින දෙක තුන හරියට නිකං හීනයක් වගේ. 
" දමයන්ති  " 
ඈ හැරිලා බැලුවෙ පිටුපසින් ඇසුනු කටහඬට . එතන හිටියෙ සුසන්ත . 
" දැන් ඉතින් යමු නේද . " 
               පහුගිය දවස් ටිකේම දුවලා පැනලා මලගෙදර හැමදෙයකටම වියදම් කලේ සුසන්ත කියලා අම්මා කියපු එක ඈට මතක්උනේ සුසන්තව දැක්කහම. 
" දැන් අපි කොහේ කියලා යන්නද සුසන්ත අයියෙ. වලව්වෙනුත් එලියට බැහැලා පාරට  යනවා මිසක් . " 
හැඩුම් වාවගනිමින් අමාරුවෙන් සිනාසෙන්නට ඈ දැරුවෙ සෑහෙන  වෙහෙසක් . 
" සිද්ධ වෙච්චි  හැමදෙයක්ම නැන්දා  කිව්වා දමයන්ති  . 
දැන් කිසි දේකට බයවෙන්න එපා.. වලව්වෙ උගස මම බේරුවා. " 
සුසන්ත කිව්වෙ වලව්වෙ ඔප්පුව දමයන්ති දිහාට දිග් කරමින්. 
                         නිමි.