සඳ තනියම තුන්වන කොටස | Sada Thaniyama 03 Kotasa


සඳ තනියම (03)

උදෑසන හිරු එලිය යන්තමින් පොලවට වැටීගෙන ආවත් රාත්‍රියේ ඉඳන් තිබුනු හීතල තවමත් ඒ විදිහමයි. නැගිටින්නට කම්මැලිකමෙන් ඇඳේ ගුලිවෙලා නිදාගෙන ඉඳපු සුසන්ත ඇඳෙන් බිමට බැහැලා අත් දෙකත් බැඳගෙන මිදුලට ඇවිත් බැලුවෙ වටපිට දිහා. තවමත් පහව නොගිය මීදුමෙන් වැහුනු ඈත කඳු මුදුන් නෙතට ගෙනදුන්නෙ අමුතුම සුන්දරත්වයක්. පහලින් ඇසෙන්නේ ඉයෙ රෑ වැස්සට කඳු මුදුන් මතින් තවමත් ගලා වැටෙන දිය පහරවල් වලින් නැගෙන හෝ හෝ හඬයි. කොළඹ ඉද්දිනම් මේ වෙලාවට එකම එක යුද්ධයක්. අතොරක් නැතිව කෑ ගහන කපුටන්ගේ හඬත් , තරඟෙට දිවයන මිනිසුන්ගේ සහ වාහනවල නොනවතින නලා හඬත් එක්ක බලනකොට මේ ගම්මාන කොයිතරම්නම් නිස්කලංකද.

" මොකද පුතේ මේ උදේ පාන්දර මේ එලියට වෙලා පිනි බාන්නේ..
හීතල පොඩ්ඩක් අහවර වෙනකං ගේ ඇතුලට වෙලා හිටියොත් නරකද. "

සුසන්ත හැරිලා බැලුවේ පිටුපසින් ඇහුනු අම්මගෙ කටහඬට. කිරි බාල්දියත් අතේ තියාගෙන ඉහේ හිටන් රෙද්දකින් ඇඟ පොරවගෙන උදේ පාන්දරින්ම ඈ එලියට බහින්නෙ වැස්සිගෙන් කිරි දොවන්න යන්න කියලා ඔහු දන්නවා.

" අම්මා මේ කිරි දොවන්න යන්නද .
මාත් එන්නද අම්මා.. "

" අනේ.. මට ඕක තනියම කරගත්ත හැකි. උඹ ඔය ගේ ඇතුලට වෙලා ඉඳපන් මයෙ පුතේ.. "

ඈට මතක් උනේ සුසන්තගේ පුංචිකාලෙ. කිරි බෝතල් දෙකත් කිහිල්ලෙ ගහගෙන හැමදාම උදේට තමන් පස්සෙ එන ඔහු කිරි දොවලා ඉවර වෙනකම් ලඟට වෙලා ඇනබාගෙන ඉන්න හැටි හරියට නිකං අද ඊයෙ වගේ. කොතරම් අඟහිඟකම් තිබුනත් තමන්ගෙ එකම දරුවට ඈ ආදරේ කලේ පන වගේ. එහෙව් දරුවට තමන්ගෙ නැතිබැරිකම් පාවලා දීලා එදා නිලමේ ගේ ඉස්සරහටම ඇවිල්ලා බනිද්දී ඇගෙ හදවත පැලෙන්න වගේ ආවෙ ඇතිඋනු වේදනාවට. එදා ඉඳන් වලව්වෙ පස් පාගන්නවත් නොගියපු ඇගෙත් රන්බණ්ඩගෙත් හිතේ නිලමේගොඩ පරම්පරාව කෙරේම ඇතිඋනේ මහත් වෛරයක් .

" දැන් කොහොමද අම්මා දමයන්ති එහෙම . "

" ඔය ඉන්නෙ දීග යන්න විදිහක් නැතිව ගෙදරටම නාකිවෙවී..
දැන් කී දෙනෙක් ඒකි බලන්න ආව ගියාද..
එංගලන්තෙ මහ රජ්ජුරුවන්ට දීග දෙන්නනෙ හිතන් හිටියෙ .
හොඳවැඩේ උන්ට.... "

පපුවට හී තුඩක් වැදුනාක් මෙන් සුසන්තට දැනුනේ අම්මගෙ ඒ වචන ටික ඇහුනහම. මොනව උනත් දමයන්ති ගැන ඔහුට ඇතිඋනේ අනුකම්පාවක් .

" ඇයි අම්මා එහෙම කියන්නෙ.
මහ අයගෙ වැරදි වලට දමයන්ති මොනව කරන්නද .. පව්... !! "

..............

කොළඹින් ආපු ලියුම් කඩදහිය දිග ඇරගෙන බලමින් හිටපු නිලමෙගෙ ඇස් දෙක දීප්තියෙන් බැබලෙන හැටි මැණිකේ දැක්කා.

" ඇති යාන්තං . දැනුයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවෙ. "

අතේ තිබුනු ලියුම නිලමේ මැණිකේ දිහාට දිග්කලේ කට කොනකින් නැගුනු හීන් හිනාවකුත් එක්ක.

" මොනවද අපෙ මහත්තයා ලියලා එවලා තියෙන්නෙ. "

" මගුල කරන්ඩ ඒ ගොල්ලො මනාපයිලු. "

හිසේ තිබුනු සෑහෙන බරක් බිමින් තිබ්බාක් මෙන් නිලමෙගෙ හිතට දැනුනෙ පුදුම සැහැල්ලුවක්. මෙතෙක් කාලයක් ඔහුට තිබුනු ලොකුම පුරස්නය දමයන්තිව දීග දෙන්න විදිහක් නැතිකම. ඈව මේ තත්වෙට පත්කරන්න තමනුත් වග කියන්න ඕනෙයි කියන එක ඔහුගෙ හිතට වදදුන්නෙ පැහැවපු තුවාලයක් වගේ. හිතේ තිබුනු සන්තෝෂය නිසාම එදා හවස වලව්වෙන් එලියට බැහැපු නිලමේ ආපහු ආවෙ රා බෝතලයකුත් අතේ තියාගෙන.

එදා රාත්‍රියේ හාන්සි පුටුවෙ දිගාවී කකුල් දෙකත් උඩට අරන් දෙපැත්තට පද්ද පද්ද මොහිදීන් බෙග් මහත්තයාගෙ සින්දුවක් හීන් සීරුවට මුමුනන නිලමෙව දැකපු මැණිකේගෙ ඇස් දෙකට ඉනව්වෙ කඳුලක්. ඔහු මේ විදිහට සැහැල්ලුවෙන් ඉන්නවා දැක්කෙ කොච්චර කාලෙකට පස්සෙද . සමහර දවස්වලට නිලමේ මහ රෑ නැගිටලා ඇවිත් මෙතනට වෙලා තනියම කල්පනා කරකර ඉන්න හැටි ඈ ඕනතරම් දැක තියෙනවා . නිලමෙගෙ අප්පච්චි මියෑදුනේ නිලමේගොඩ පරම්පරාවම මරාගෙන . ඔහුගෙ මරනයෙන් පස්සෙ වලව්ව සතු ඉඩ කඩම් එකින් එක රට වටේම ඉඳපු නය කාරයන්ට සින්නවෙලා යද්දී ඒ දිහා බලාගෙන සුසුම්ලනවා ඇරෙන්න ඔහු වෙන මොනවා කරන්නද.

" ඇහුනද මැනිකේ "

දෙකක් දාගත්තු වෙලාවට නිලමේ කියන දේවල් දැන් අවුරුදු විසි තිස් ගානක් තිස්සෙ අහන් ඉඳලා මැනිකෙට කටපාඩම් උනත් අතේ තිබුනු පෙට්‍රෝල් මැක්ස් ලාම්පුව අං කොක්කෙ එල්ලපු මැණිකේ නිලමේ අසලින්ම ඉඳගත්තෙ ඔහුගෙ හිත පාරන්න නොකමැති හින්දා.

" එක අතකට ඒ උන්දැලා අපේ කෙලීට මනාපඋනු එකට ඒ හැටි පුදුමවෙන්න දෙයකුත් නෑ මැණිකේ .

නිලමේගොඩ පරම්පරාවෙන් දීගයක් ගන්න අකමැතිවෙනවද මොලේ තියෙන මිනිහෙක්.

ඒ කාලෙ අපෙ අත්තප්පව මුනගැහෙන්න ආව රටේරාල කෙනෙකුට උන්දෑ මෙන්න මේ පුටුවෙ ඉඳගෙන නිකමට කියලා තියෙනවා අපෙ අප්පච්චිට මගුලක් හොයන්ට කියලා . පහුවෙනිදා උදේ වලව්වෙ දොර අරිද්දී ආන් අර ගේට්ටුව ගාවට සෙනග හිටියලු පෝලිම් ගැහිලා අප්පච්චිට මගුල් කියන්ඩ පනිවිඩ අරගෙන ඇවිල්ලා. "

" මැණිකෙට මතක ඇතිනොවෑ ඒ දවස්වල මට උනත් ආපු යෝජනා කීයකට පයින් ගහලද මැණිකෙවම කරකාර ගත්තෙ කියලා . "

මැණිකේ ලැජ්ජාවෙන් වගේ බිම බලාගත්තේ නිලමේ මනමාල විදිහට ඈ දිහා බලන් එහෙම කිව්වහම .

" දැන් මෙහෙම සොහොන වාගෙ පාලුවට තිබුනට ඒ දවස්වල මේ වෙලාවටත් කී දෙනෙක්නම් මේ මිදුල වටේ ඇන තියාගෙන ඉන්නවද වලව්වෙ පාලු මකන්ට. "

" දැන් ඉතින් කාලා හිටියනං හොඳ නැද්ද . බතුත් හීතල වෙනවා. "

"ඊයෙ පෙරේදා ඉඳන් මට මේ කොන්දෙ අමාරුවක් ඇවිදින් හරිම අමාරුයි .
හෙට දිහාටවත් ඩිස්පැන්සරිය පැත්තෙ ගෙහුන් බෙහෙත් ටිකක් ඇන්න එන්න ඕන. "

කොන්දට අතකුත් තියාගෙන අමාරුවෙන් නැගිටගත් මැණිකේ එතනින් ඉවතට යද්දී නැවතත් දෑස් පියාගත් නිලමෙගෙ හිත ඇදීගියේ මීට කාලයකට පෙර ඔහු විඳි අතීතයේ මිහිරි මතකයට.

............

දෙපැත්තෙම කැමැත්ත ආසිර්වාදය මැද්දේ දමයන්තිගෙයි උපාලිගෙයි විවාහයට දින තීන්දු කරගත්තෙ වෙන කාටවත් වඩා මේ මගුල ඉක්මනට අහවරයක් වෙනවා දකින්නට තිබුනු නිලමෙගෙ උවමනාවට . ඔය අතර බිස්නස් වැඩ වලට යැයි කියමින් රටේ ලෝකෙ පුරා කරක් ගහන උපාලි නුවර පැත්තෙ ආව ගියපු හැම වෙලාවකම වලව්ව පැත්තෙ ඇවිත් මැණිකෙව මුනගැහෙන්නටත් අමතක කලේ නෑ.

උපාලි නම් හැමතිස්සෙම කියන්නෙ මුලු රටටම පේන්න අඩුම දවස් තුනක්වත් ලොකුවට මගුල් කන්න ඕනෙ කියලා .

" මාමන්ඩි කිසි දේකට බයවෙන්න එපා. මාමලාගෙ පැත්තෙන් යන සේරම වියදම් ටිකත් මම බලාගන්නම්. "

නිලමේ ප්‍රීතියෙන් පිනායන්නෙ ඔහු එහෙම කියනකොට .

" හිතුව තරම්ම අපි අවාසනාවන්තත් නෑ මැණිකේ .
මේවගේ බෑනා කෙනෙක් අපිට ලැබුනෙ පූරුවෙ පිනකට. "

එහෙම වෙලාවක මැණිකේ දිහා බලාගෙන නිලමේ කියන්නෙ ඉහවහා ගියපු සංතෝසයෙන්.

කාලය ගෙවිලා ගියේ විදුලි වේගයෙන් . දමයන්තිගෙත් උපාලිගෙත් විවාහයට තව ඇත්තේ මාසයක පමන කාලයක් . දෙපාර්ශවයම මගුලට ලහිලහියේ සූදානම් වෙද්දී දිනක් උපාලි නුවර ආවෙ දමයන්තිව බලලා යන්න.

" මොකද ලමයො ඔයහැටි කල්පනා කරන්නෙ.
මොකවත් ප්‍රශ්නයක්ද . "

පැත්තකට වෙලා කල්පනා ලෝකෙක හිටපු උපාලි දිහා බලාගෙන නිලමේ ඇහුවෙ තරමක කුතුහලයෙන් .

" අනේ නෑ මාමන්ඩි. මුකුත් නෑ. "

" නැතිවෙන්න බෑනෙ ලමයො.
එහෙනම් මොනවද ඔයහැටි කල්පනා කොරන්නෙ. "

" එහෙම මුකුත් නෙවෙයි මාමන්ඩි .
ලංකාවෙ ඉඳන් එංගලන්තෙට පටවන්න කුරුඳු ඕඩර් එකක් ඇවිත් . ඕඩර් එක ගත්තු කෙනා වෙන වැඩකට අතගහලා තියෙන හන්දා මිනිහා කිව්වා ඒක මට භාරගන්න කියලා .
මාමන්ඩි දන්නවනෙ ලංකාවෙ කුරුඳු වලට එහේ තියෙන ඉල්ලුම කොහොමද කියලා .
කොහොමහරි ඒක කරගත්තොත්නං ඉතින්....
හොඳ ගානක් මිට මොලව ගත්තහෑකි ආයෙ ඇස් වහගෙන. "

බිස්නස් ගැන මෙලෝ හසරක් දන්නෙනැති උනත් නිලමේ හූ මිටි තියමින් උපාලි කියන දේවල් අහගෙන හිටියෙ හරියට තේරෙනවා වගේ.

" මේ දවස්වල මාත් වෙන වැඩ වගයකට සල්ලි දාලා තියෙන හන්දා මිසක් නැත්තං මන් මෙලහකටත් ඔයටික පටවලත් ඉවරයි . "

" දැන් කීයක් විතර ඕනෙද ලමයො ඔය වැඩේට . "

" ලක්ෂයක් විතර තිබුනනම් හොඳටම ඇති මාමන්ඩි .
මාමන්න්ඩිට පුලුවන්නං කොහෙන්හරි ඉල්ලලා දෙන්න සුමාන දෙකින් මම ආපහු දෙනවා පොලියත් එක්කම ..
අම්මපා.. "

උපාලි උනන්දුවෙන් කිව්වෙ නිලමේ දිහා ඇස් කොනින් බලාගෙන .

" ලක්ෂයක් !.. "

නිලමෙගෙ ඇස් උඩගියේ ඒ ගාන ඇහුවහම. කෙල්ලගෙ මගුල් ගෙදෙට්ට වියදම් කරන්න සයිබු හම්බවෙලා රුපියල් විසි තිස්දාහක් හොයාගන්න යන්න හිතන් හිටියෙ හෙට අනිද්දට . එහෙව් අසරණ මම රුපියල් ලක්ෂයක් කොහෙන් හොයන්නද.

" මම නැන්දත් එක්කත් ටිකක් කතාකරලා බලන්නම්කො ලමයො මේ ගැන. "

ඔහු එහෙම කිව්වෙ ගත් කටටම නෑ බෑ කියන්න බැරිකමට .

" මම මේ කල්පනා කලේ මැණිකේ වලව්ව උගසට තියලවත් ඔය සල්ලිටික දීලා දැම්මානං හොඳයි කියලා .
අනික සුමාන දෙකකින් ඕක ආපහු බේරගන්න බැරියෑ.
නැතිබැරි වෙලාවක නෑබෑ කියලා අහක බලාගන්න එක මහ මොකද්ද වගේ.
ඒක අපේ තත්වෙටත් මදිකමක් නෙව . "

" අනේ මන්දන්නෑ . මහත්තයාගෙ කැමැත්තක් . "


මතු සම්බන්ධයි .


Comments System WIDGET PACK