සඳ තනියම දෙවන කොටස | Sada Thaniyama 02 Kotasa
සඳ තනියම. (02)
හාන්සි පුටුවේ දිගාවී සිටි නිලමෙට කල්පනා උනේ උදේ තමන් යන්න හිටි ගමන ගැන. සුසන්තව දැකලා තමන් මෙතරම් කලබල වෙච්චි එක ගැන දැන්නම් ඔහුට ඇත්තෙ පසුතැවීමක්. ඔහුට හිතෙන්නෙම තමන් නිකම් බොරුවට කලබල උනා කියලා . මීට කාලෙකට ඉස්සර දමයන්තිත් එක්කලා සුසන්තගේ තිබුනු පෙම් පලහිලව්ව ඔහුට මතකෙට නැගේ. සුසන්ත කියන්නෙ ඉස්සර වලව්වට කිරි ගේන රංබන්ඩාගෙ කොල්ලා. එහෙව් එකේ ඌ එක්ක දමයන්ති පෙම් හුටපටයක් ඇති කරගෙන කියලා දැනගත්තහම නිලමේ කෝපයට පත්උනේ දන්ඩෙන් පහර කාපු නාගයෙක් වගේ.
" මම උඹලට මේ අන්තිම වතාවටයි කියන්නෙ.
තොපේ තරම දැනගෙන තොපි වැඩ කරපියව්.
වලව්වට කිරි ඇදපු එව්න් තොපි. එහෙව් උඹලා දැන් එනවද යකෝ වලව්වට මගුල් කියන්න. "
රංබන්ඩගෙ ගේ ගාවටම ගිහින් නිලමේ බෙරිහන් දුන්නෙ මුලු ගමටම ඇහෙන්න. එතනින්ම නිමාවට පත්උනු ඔව්න්ගේ ප්‍රේම අන්දරය ඒ වනවිටත් කොතරම් ඔඩුදුවා ඇත්දැයි ඔහු පුදුමයට පත්උනේ දින ගනනාවක් යනතෙක් දමයන්ති නොකා නොබී කාඹරයට වී කඳුලු සලනසැටි දැකීමෙන්. සිත් තැව්ලත් කලකිරීමත් හමුවේ තවදුරටත් ගමේ නොඉඳ රැකියාවක් සොයා නුවරට ගියපු සුසන්ත ආපහු ගමට ආවෙ මුලු කන්ද උඩරටම නමක් දිනාගත් සාර්ථක ටියුෂන් ගුරුවරයෙක් විදිහට .
............
" කපු මහත්තයා කියාපු විදිහටනම් දැන් මේ වෙනකොට එන්නත් වෙලාව හරි. "
නිලමේ සැරින් සැරේ එලියට ඇවිත් බලාගෙන හිටියෙ දමයන්තිව බලන්න කොළඹ ඉඳන් එනවයි කියපු කට්ටිය තවම නැත්තෙ මොකද කියලා බලන්න. ඔහුගෙ ඇස් ආපහු කරකැව්නෙ බිත්තියේ එල්ලලා තියෙන ඔරලෝසුව දිහාට
" මේකුන් එන්නෙ නැතිවාවද්ද. "
ඔහුගේ හිතේ ඇතිඋනේ දෙගිඩියාවක්. කුස්සියේ ඩින්ගිරියි , ලතායි මැනිකෙ එක්ක හරි හරියට වැඩ. සයිබුගෙන් නයට ගත්තු සල්ලි වලින් උයපුවා. මුන් ආවෙ නැත්තං විසික්කන්න වෙන්නෙ බැද්දට .
" නෑ .. නෑ.. එහෙම වෙන්නෙ නෑ. කොළඹ ඉඳන් එන්නත් එපැයි.
තව ටිකක් බලමුකො. "
මෙතෙක් වේලා නොඉවසිලිමත් දෑසින් පාර දිහා බලාසිට නිලමෙගෙ මුවගට හීන් හිනාවක් නැගුනේ වලව්වට ඇතුලුඋනු සුදු පැහැති අලුත්ම වෑන්රථය දැක්කහම.
" මැනිකේ... ඔන්න කට්ටිය එනවා.... "
ගෙතුලට එබී කෑ ගහපු නිලමේ දෑතින්ම කබා කෝට්එක සකසමින් රැල් බුරුල් හැර උගුර එහෙම පාදාගත්තේ බොරු ගාම්භීරත්වයක් ආරූඪ කරගනිමින්. කුස්සියේ ඉඳන් සාලෙට දිව එන ගමන් රත්නා කාඹරේට එබිලා බැලුවෙ දමයන්ති ලැහැස්ති වෙලාද කියලා .
" උඹ ලැහැස්තිද දුවේ .. අන්න කට්ටිය ඇවිල්ලලු. "
අතේ ගෑව්නු දැලි ටික රෙදි කැබැල්ලක පිහිදමමින් පැමිනි රත්නා නිලමෙ අසලින්ම හිටගෙන බැලුවෙ කව්ද මනමාලයා කියලා . මුලින්ම කාර් එකෙන් බැහැගත්තු කපු මහත්තයා දුවගෙන ආවෙ නිලමේ ගාවට. ඔහු පිටුපසින් වලව්වට ගොඩඋනේ බටහිර විදිහට ටයි කෝට් පැලඳසිටි තලතුනා පිරිමි කෙනෙකුයි ඒ වයසෙම ඔසරියකින් සැරසී සිටි ගැහැනු කෙනෙකුයි.
" මේ ඉන්නෙ මනමාල මහත්තයගෙ අම්මයි තාත්තයි . "
කපු මහත්තයා එහෙම කියද්දී නිලමේ දෑත් එකතුකර ඔව්න්ව පිලිගත්තේ ගාම්භීර විදිහට .
" මේ මනමාල මහත්තයා වෙන්න ඇති මයෙ හිතේ. "
නිලමේ හිනාවෙලා කිව්වෙ ඊට පිටුපසින් පැමිනි තරුණයා දිහා බලාගෙන .
" නෑ.. නෑ .. ඒ අපේ නෑදෑවෙන පුතෙක්. මෙච්චර දුරක් වාහනේ එලවන් එන්න බැරි හින්දා එක්කරගෙන ආවා.
අර ඉන්නෙ මනමාල මහත්තයා තමයි. "
මනමාල මහත්තයගේ පියා ලෙසින් හඳුන්වා දුන් සෝමරත්න එහෙම කිව්වම නිලමෙයි මැනිකෙයි දෙන්නම එකවර බැලුවෙ තවමත් මිදුලට වෙලා වටපිට බලබල ඉන්න උපාලි දිහා. ඉදිරියට නෙරා ආපු බඩ වැහෙන්නට බඩ මැදට වන්නට ඇඳසිටි කලිසම් සාක්කු දෙකට අත් දෙකත් දමාගෙන සිටි ඔහුගේ නෙත් යොමුව තිබුනේ වලව්ව වටේට තිබුනු අක්කර පහක විතර විශාල වත්ත දිහාට . තළෙලු පෙනුමකින් යුතු ඔහුගේ තරමක් දිගට වැවී තිබුනු හිසකෙස් එක් පැත්තකට පීරා තිබුනේ හිස මුදුනේ පෑදී ඇති තට්ටය වසා දමමින්.
" සෑහෙන ලොකු වත්තක් නේ.. හොඳ ගානක් වටිනවා ඇති මයෙ හිතේ. "
උපාලි කිව්වෙ කටේ දමා හපමින් සිටි බුලත් විටේ කෙල පහරක් මිදුල පුරා සී සී කඩ යවමින්. තවම ගෙටවත් ගොඩ නොවී මිදුලට වෙලා ඔහු කියපු කතාවට නිලමෙට ඇතිඋනේ නොසතුටක්.
" උපන් ගෙයි බිස්නස් කාරයොනෙ නිලමේ ...
දන්නැද්ද ..කොහෙ ගියත් බිස්නස් ගැනම තමයි ඉතින්. .. "
නිලමෙගෙ වෙනස තේරුම්ගත්තු කපු මහත්තයා හනික ඒ විදිහට කියලා දාද්දි නිලමෙගෙ අඳුරු මුහුන නැවතත් එලිය වැටෙන්න ගත්තෙ ඔහුගෙ ඒ කතාව ඇසුවට පස්සෙ.
............
වලව්වෙන් පිටතට ඇදී ගියපු වෑන් රථය දිහා බලාගෙන හිටපු නිලමෙගෙ හිතටනම් දැනුනෙ මද අස්වැසිල්ලක් . යාන්තං මේ මගුලවත් හරි ගියොත් .
" කතාබහේ හැටියටනං ඒ ගොල්ලන්ගෙ අමනාපයක් නෑ වගේ නේද මැනිකෙ.
" යන්න කලින් මට කිව්වෙ ඉක්මනට තීරණේ දන්වලා ලියුම් කඩදහියක් එවන්නම් කියලා. "
හාන්සි පුටුවේ දිගාවී පයිප්පය පත්තු කරගත් නිලමේ නැවතත් වැටුනෙ කල්පනාවට .
" කියාපු විදිහට නං කොළඹ පැත්තෙ කොම්පැණි බර ගානක් තියෙනවා වගේ උන්දැලට.
රත්නපුරෙත් මැණික් පතල් දෙක තුනක්ම තියෙනවලු. "
" මොනව උනත් දෙයියනේ කියලා මේකවත් හරිගියොත් නං කෙලීගෙ වාසනාව . "
මෙතෙක්වෙලා නිහඩවම උලුවස්සට හේත්තුවෙලා පාරදිහා බලාගෙන ඉඳපු මැනිකේ කිව්වෙ බලාපොරොත්තු සහගතව.
" ඒක තමයි මන් හැමදාම කියන්නෙ උරුමක්කාරයා එනකං බලාගෙන ඉන්න ඕන කියලා . "
නිලමේ ඒ ටික කිව්වෙනං කාඹරේ හිටපු දමයන්තිටත් ඇහෙන්න උනත් කාඹරේට වෙලා ජනෙල්ලෙන් එපිට බලාගෙන හිටපු දමයන්තිත් හිටියෙ මේ හැමදෙයක්ම අහගෙන. ඈට මැවිලා පෙනුනෙ බුලත් කහට පිරි දත් දෙපල විලිස්සා තමන් දිහා කන්න වගේ බලාගෙන ඉඳපු උපාලිගේ ගොරෝසු මුහුන. තමන් එක්ක හිටපු ඒ ඩිංග වෙලාවටවත් ඔහු කතාකලේ වචන කීයද. ඒකත් වලව්වෙ තියෙන දේපළ ගැන. ඒ ඇස්දෙක දිහා කෙලින් බලන්න ශක්තියක් නොතිබුනු තමන් කොහොම ඒ මනුස්සයත් එක්ක පව්ල් කන්නද. ඒත් අප්පච්චිගෙ කතාවෙන් නම් තේරෙන්නෙ ඒ ගොල්ලො දැනටමත් ඉන්නෙ එයාලා ගැන බලාපොරොත්තු තියාගෙන වගේ. ඈට සුසුමක් පිටඋනේ ඉබේටම . අම්මයි අප්පච්චියි තමන්ට මගුලක් කරදෙන්න උත්සාහ ගන්නෙ දැන් සෑහෙන කාලෙක ඉඳන් . දැන් කී දෙනෙක්නම් තමන් බලන්න ආව ගියාද. ගෙදර තිබ්බ තුට්ටු දෙකම ඉවරයි මගුල් බලන්න ආව උන්ට කන්න බොන්න දීලා. එන හැමෝම ඉස්සෙල්ලම බලන්නෙ මාව නෙවෙයි . දෑවැද්ද .
මේ ගමනටත් අප්පච්චි සල්ලි හොයාගත්තෙ බොහොම අමාරුවෙන් ණයවෙලා කියලා දමයන්ති හොඳින්ම දන්නවා. එහෙව් එකේ තමන් අකමැතියි කියලා ඒ ගොල්ලන්ට තවත් දුක් දෙන්න පුලුවන්ද. අකමැත්තෙන් උනත් අප්පච්ච්ලා කියන දෙයකට එකඟවෙන්නට ඈ හිත හදාගත්තේ ඒ නිසයි.
.............
වෑන් රථයේ ඉදිරිපස අසුනේ වාඩිවී සිටි උපාලි ඉනෙන් ඇදලා අරගත්තේ කාලෙ අරක්කු කුප්පිය කටේ තියාගෙන ගිලදැම්මේ එක උගුරට. මෙතෙක් වෙලා එක පිම්මට පැමිනි වෑන් රතය නතර කලේ මරදාන මුඩුක්කු පේලියක් අසල.
" ඒයි ... බැහැපල්ලා... "
උපාලි මොර දුන්නේ ඉස්මුරුත්තා වෙන්නට බත් ගිලලා පිටුපස අසුනේ කට ඇරගෙන නිදාගෙන හිටපු සෝමරත්නටයි , ලයිසාටයි. ඔහුගේ කෑ ගෑමට දනිපනි ගා වෑන් රථයෙන් බිමට බැසගත් ඔව්න් වෙත උපාලි දිගුකලේ දාහෙ කොල දෙකක්.
" දැනට මේක තියාගනිල්ලා . තව වැඩ තියෙනවා . පස්සෙ සලකන්නම් හිමීට . "
" හරි හරි.. මලයා.. ඕන වැඩක් .. අපි එනවා ආයෙ දෙකක් නෑ දන්නවනේ....
කාලෙකට පස්සෙ හොඳ ගමේ කෑම වේලක් කන්න ලැබුනා.
අපරාදෙ ..කෑමට කලින් දෙකක් ඇනගන්න ලැබුනනම් කියලා වැඩක් නෑ. "
සෝමරත්න කිව්වෙ බඩ අතගාමින්.
" මේ කෙහෙල්මල ඇඟේ පටලවාගෙන ඉඳලා මට එපාවෙලා හිටියෙ බන්. "
රුපියල් දාහ අතට ගත්තු ලැයිසා මුඩුක්කු පේලිය අතර නොපෙනී ගියේ ඇඳගෙන සිටි ඔසරිය ගලවලා දාලා රෙද්දක් ඇඳගන්න තිබුනු හදිස්සියට .
" එහෙනම් මලයො.. අපිවත් ඔය හිමීට ඉස්සරහින් දාගෙන යමු.
ගුනේ අයියට කියපං හැන්දෑවට ගනං හිලව් බේරන්න මං ඒ පැත්තෙ එනවයි කිව්වා කියලා . "
තවත් මඳ දුරක් ඉදිරියට ගොස් වෑන් රථයෙන් බැසගත් උපාලි අසල තිබුනු තැබෑරුමට රිංගා ගත්තේ කපු මහත්තයත් එක්ක.
මතු සම්බන්ධයි .
