#ආදරෙයිද_මෙතරම්.. | Adareyida Metharam
#ආදරෙයිද_මෙතරම්..
"මේ වඳ ගෑණියෙක් ගෙනත්.. මුලු ගේම මූසලයි.. උදේකට දැක්කත් ඇති..කැදවත් නෑ..ශිට්..මගේ කොල්ල මොන එහෙකට මේ කරුමෙට කර ගැහුවද දන්නේ නෑ.." හැමදාමත් වගේ යශෝ අම්මගේ සද්දෙට මගේ හිත ගැස්සුණා.. දහස් වාරයක් හිත රිදුණත්, ඒ හැඟීම කොහොම හරි යටපත් කරගන්නවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ..
" ළමයෙක් වදන්න බැරි නම් ඒ ගෑණිගෙන් ඇති පලේ මොකක්ද?.." තව තවත් යශෝ අම්මගේ කෑ ගැහිල්ල අහගෙන ඉන්න බැරිම නිසා මං තුවායත් අරගෙන බාත්රූම් එකට ගියා.. අද ඊයෙක ඉඳලා නෙවෙයි දැන් අවුරුද්දක ඉඳලම මට ඔය කතා අහලම පුරුදුයි.. ඒත්..දැන් මට ඒ දේවල් ඇහෙද්දි මගේ ජීවිතේම එපා වෙනවා..
මං ආයුරා නිකේතනී... මධ්‍යම පාන්තික පවුලක දෙවෙනි දුව වුනු මං දඟකාරියක්.. විසේකාරියක්.. ඉගෙනීමෙනුත්,නර්ථනයෙනුත්,රංගනයෙනුත්,ඉහලටම ගිය මං උපාධිධාරිණියක්.. ළමා විශේෂඥ වෛද්‍යවරියක්... හසුන් නිවන්ත මගේ එකම, පළමු ආදරය.. මගේ පෙම්වතා..ඒ වගේම මගේ සැමියා.. වසර අටක ප්‍රේමයක අවසානය විදියට මමත් හසුනුත් විවාහ වුනේ දෙපැත්තෙම දෙමව්පියන්ගේ ආශීර්වාදය මැද...
" ආයුරා... අද ඉඳලා මේ ජීවිතේ අපි දෙන්නගෙම.. අපි අතරට තුන්වෙනියෙක් එන්න බෑ.. මොන ප්‍රශ්නේ ආවත් අපි දෙන්න ඒව විසඳ ගමු.. තේරුණාද.?.." ජීවිතේ පළමු වතාවට හසුන් මගෙන් පොරොන්දුවක් ගත්තේ අපේ විවාහය දවසේ.. උඩරට මනාලියක් විදියට සැරසිලා දවසෙම මංගල සිරිත් විරිත් හමාර කරලා හසුන් එක්ක මධුසමයට ආවට පස්සේ හසුන් එයාගෙ පොරොන්දුව ඒ විදියටම රකිනවා දකිද්දි මට හසුන් ගැන දැණුනේ පුදුමාකාර ගෞරවයක් වගේම මං ගැනම අසරණ බවක්..
" අනේ මහත්තයෝ.. මං කිසිම වරදක් කරේ නෑ.. සත්තයි මාව විශ්වාස කරන්න.." අනුරාගී හෝරාවන් කිහිපයක්ම ගෙවී ගිහින් පහුවදාට එළි වුනාට පස්සේ අම්මා දුන්නු සුදු පිරුවටය ඒ විදියටම තියෙනවා දකිද්දි මං බය වුණා.. බයටම මගේ ඇස්වලින් කඳුලු ගලාගෙන ගියේ කන්‍යාභාවය තවත් එක මිථ්‍යාවක් කියන එක අමතක වෙමින්.. හසුන් එක පාරටම හයියෙන් හිනාවෙලා මාව පපුවට ඇදලා ගත්තේ මාව පුදුම කරන ගමන්..
'' ආයුරා.. අනේ බං.. ඩොක්ටර් කෙනෙක් වුන ඔයාම ඔහොම හැසිරෙන එක, විහිලුවක්.. එකක්, උබ ගැන මං තරම් කවුරුත් දන්නෑ.. අනික.. සුදු රෙද්දක් උඩ තියල උබේ පවිත්‍රකම මනින්න තරම් මං පහත්, මෝඩ මිනිහෙක් නෙවෙයි..අනිත් කාරණාව ඩොක්ටර් කෙනෙක් වුන මං දන්නවා කන්‍යාභාවය හැම කෙනෙක්ටම පිහිටන්නේ නෑ කියලා.. ඒ නිසා මෝඩ ගෑණියෙක් වගේ අඬන්නේ නැතුව ඔන්න ඔය කඳුලු පිහදා ගන්න.." මගේ හිතට සැනසීමක් දැණුනේ හැම තැනකදිම වගේ මෙතනදිත් හසුන් පොසිටිව් විදියට හිතපු එක ගැන.. හසුන්ගෙන් ඈත් වෙලා මං බාත්රූම් එකට ගිහින් හොඳට නාගෙන හසුන් ආසම ගවුමත් ඇඳගෙන එද්දි හසුන්ගේ අම්මා ඇවිත් හසුන් එක්ක කතා කරනවා.. මගේ පපුව වේගයෙන් ගැහෙන්න ගත්තේ බයටම.. සිරිත් විරිත් අනුව ලේලිගේ පිරිසිදු කම බලන්න නැන්දම්මා එනවා කියලා මං දැනගෙන හිටියත් හිස් සුදු පිරුවටය දැක්කම අම්මගේ හැසිරීම කොහොම වෙයිද කියලා මට හිතා ගන්න බැරි වුණා.. අම්මා දිහාත් හසුන් දිහාත් බලමින්ම මං ගිහින් අම්මට වැන්දා..
" තෙරුවන් සරණයි මගේ දුවට..." ආදරෙන් මගේ නළල සිඹින ගමන් අම්මා එහෙම කියද්දි මං පුදුම වෙලා හසුන් දිහා බැලුවා.. මං අම්මගෙන් මේ තරම් හොද ප්‍රතිචාරයක් බලාපොරොත්තු වුනේ නෑ..
" අම්.මා .ඒක දැක්.කද?.." මං බයෙන් අහද්දි අම්මා හිනාවුනා.. හසුන් අපිට කතා කරගන්න ඉඩ දීලා බැල්කනියට ගියේ මං දිහා බලන්නේ වත් නැතුව..
" හ්ම්.. ඔව් දුව.. මං ඉතින් ආවෙ ඒකටම තමයි.. මං දන්නවා මගේ පුතා අපේ පවුලේ නම්බුව නැති කරන්නේ නෑ කියලා.. මේක දැක්කට පස්සේ ඒක ස්ථීර වුනා.." අම්මා එහෙම කියන ගමන් සුදු රෙද්ද දිගෑරියා.. හිස් පිරුවටයේ මොනව බලන්නද කියලා හිතෙද්දි මං ඇස් පියා ගත්තා..
" ආ.. ලැජ්ජාවට මූණ රතුවෙලා.. ඔයා හොඳ ගෑණු ළමයෙක් කියල මම කොහොමත් දැනගෙන හිටියා දුව.." අම්මා මගේ කම්මුලකට අතක් තියල කියද්දි මං හෙමීට ඇස් ඇරියා..එතකොටයි මං දැක්කේ අම්මගේ අතේ තියෙන පිරුවටයේ රත් පැහැයෙන් තියෙන සලකුණ.. සාම්ප්‍රදායික ගැහැණියක් වුණු අම්මා පවුලේ නම්බුවත්, මගේ හැදිච්චකමත් ගැන මොන මොනවාද කියමින් ඉඳලා යනකල්ම මං හිටියේ අවසිහියෙන් වගේ... අම්මා ගියාට පස්සේ මං සුදු රෙද්ද ඇඳේ දිගෑරලා දුවගෙන ගියේ හසුන් ලඟට..
" හසුන්..මේක උනේ කොහොමද?.. මං දැක්කනේ.මේකේ මුකුත් තිබුණේ නෑ හසුන්.." මං පිස්සුවෙන් වගේ කියවමින් හසුන්ට ඇඳේ දිගෑරලා දාපු රෙද්ද පෙන්නුවා..හසුන මද සිනහවක් නගාගෙන මගේ දිහා බලාගෙන හිටියා..
" කියන්නකෝ හසුන්.."
" මං කිව්වනේ ආයුරා.. අපි දෙන්නගෙ අතරට තුන් වෙනියෙක්ට එන්න ඉඩක් දෙන්නේ නෑ කියලා.. තුන් වෙනියෙක් කියලා මං අදහස් කලේ අපේ අම්මා වුනත්,ඔයාගේ අම්මා වුනත්, ඒ කවුරුම හරි වුනත් කියන එක.. අපි ආදරේ කරේ අපිට ඕන නිසා. අපි කසාද බැන්දෙත් අපේ කැමැත්තට.. ඉතින් අපේ ප්‍රශ්නත් අපිම මිසක් කවුරුත් විසඳන්න ඕන නෑ.. මට මගේ ගෑණිව විශ්වාසයි.. ඒ නිසා ඔයාගේ නම්බුව රකින්න මං ඕනම දෙයක් කරනවා.." හසුන් එහෙම කියලා මගේ කම්මුලක් සිපගත්තා.. එතකොටයි මං දැක්කේ හසුන්ගේ අතේ
දබැරගිල්ලෙන් ලේ එනවා.. මං ඉක්මනට හසුන්ගේ අත අල්ල ගත්තා..
" මේ අතට මොකද වුනේ.. ලේත් එනවා ළමයෝ.." මං කලබලෙන් අහද්දි හසුන් එක ඇහැක් වහගෙන අනෙක් ඇහෙන් මගේ දිහා බලන ගමන් ඔලුව කසන්න ගත්තේ හොර වැඩක් කරලා අහුවුන දරුවෙක් වගේ..
" එ.තකොට ඔයා ඇගිල්ල කපලා මේකට ලේ දැම්මද හසුන්.. අනේ දෙයියනේ මං නිසා ඔයාගේ ලේ හොල්ලන්නත් වුනානේ.." මට ඇඩෙන්න එද්දි මං එහෙම කිව්වා...හසුන් අැඳෙන් ඉඳගෙන මාව ඔඩොක්කුවට ගත්තා..
" අහන්නකෝ ආයුරා.. ඔයා නාන්න ගියාට පස්සේ මං කල්පනා කලා අම්මා ආවම මෙතන මොනව වෙයිද කියලා.. ඉතින් මං ඉක්මනට ඇගිල්ල ටිකක් කපලා මේකට ලේ බිංදු දෙකක් තුනක් දැම්මා.. එච්චරයි..මේක නොදැක්ක නම් අපේ අම්ම ඔයාට කතා කියයි.. ඒවා ඉවසන්න බෑ මට.. මට ඔයත් ඕන..අම්මත් ඕන..දෙපැත්තම මං බැලන්ස් කරන්න එපැයි.. ඔයයි මමයි දෙන්නෙක් නෙවෙයි..අඩන්න තියා ගන්න එපා ආයුරා.. අපිට අපි වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුලුවන් වෙන්න ඕනී.." හසුන් කියද්දි අසීමිත ගෞරවයක් මට දැණුනේ හසුන් ගැන.. ඒ හැගීමෙන්ම මං හසුන්ව බදාගත්තා.. හසුන් හැම දවසකම මගේ ගැන ඕනවටත් වඩා හොයල බැලුවා..තවමත් එහෙමයි.. කසාදය ඉවර වෙලා අවුරුද්දක්ම ගියේ පුංචිම වෙනසක් වත් අපේ ආදරයට සිද්ධ නොවී.. හසුන්ගේ අම්මා වුනත් මට හොඳට ආදරෙන් හිටියත් ඒක වෙනස් වෙන්න ගත්තා..
" දුව.. දැන් ඔයාල බැඳලත් අවුරුද්දක් වුනා.. නරකද දරුවෙක් ගැන හිතුවොත්.." රෑ කෑම මේසෙදි අම්මා එහෙම අහද්දි මං හසුන් දිහා බැලුවා..දරුවෙක් ගැන අම්මටත් වඩා මටයි හසුන්ටයි උවමනාව තියෙනවා.. ඒත් එ් වාසනාව අපිට තව දුරයි කියලා අම්මට කියන්න පුලුවන් කමක් නැති නිසා මං නිහඬවම බත් කටක් කන්න ගත්තා..
" අම්මා..අපිට තව කල් තියෙනවා.. ආයුරා නම් කැමතියි . ඒත් මමයි පරක්කු කරන්නේ.."
" මට මැරෙන්න කලින් මගේ මුණුබුරෙක් දකින්න ආසයි පුතේ... දුවගේ රස්සාවත් එක්ක කරදරයක් නම් දුවට පුලුවන්නේ ගෙදර නතර වෙන්න.."
" අම්මා.. මොනවද කියවන්නේ.. අපේ පවුල් ජීවිතේට අත දාන්න එපා අම්මා.ප්ලීස්.." කවදාවත් නැතුව හසුන් අම්මට කේන්තියෙන් කතා කරලා කන්නෙත් නැතුවම අත හෝදගෙන කාමරේට ගියා.. අම්මා මට රවාගෙන බලන් ඉද්දි මමත කාමරේට ගියේ හසුන්ව බලන්න.
" ඇයි මහත්තයෝ අම්මට එහෙම කතා කලේ.."
" අනේ මන්දා ආයුරා..මට තරහක් ආවා.. අපේ පවුල් ජීවිතේට අපේ අම්මවත් අත දානව මම ආස නෑ."
" ඒත් මහත්තයෝ අම්මත් ආස ඇතිනේ ඔයාගෙ.දරුවෙක් හුරතල් කරන්න.." මං හසුන්ගේ ඔලුව මගේ කුසට හේත්තු කරගෙන අතගාන ගමන් කිව්වේ හසුන්ගෙ කේන්තිය ටිකක් අඩු කරන්න..
" ඒත් ආයුරා ඒකෙන් ඔයාගේ හිත රිදෙන එක විතරයි නේද වෙන්නේ.. ඔයාගේ තත්වේ දැනගෙනම අම්මට තවත් ඔය ගැන කියවල ඔයාව රිදවන්න දෙන්න බෑ..අනික ඔයා ජොබ් එක කරන්නේ කොච්චර ආසාවෙන් ද?.."
" හරි හරි දැන් ඕක ඇති.. කෑවෙත් නෑ නෙ..ඉන්න මං කිරි එකක් හදන් එන්නම්.." ඇස්වල කඳුලු හංගගෙන මං හසුන්ව අතෑරලා කුස්සියට ආවා.. කසාද බැඳපු දවසේ ඉඳලම කවදාවත් උපත පාලන ක්‍රමයක් පාවිච්චි නොකලත් මේ වෙනකලුත් මට දරුවෙක් නැති එක ගැන මං කොච්චර දුක් වුනත් වැඩක් නෑ.. කවදාවත් මට අම්මා කෙනෙක් වෙන්න බෑ.. ගර්භාෂයේ මේදය තැන්පත් වෙලා වැඩි කමටම දරුවෙක් බිහි කරන්න වාසනාව මට අහිමි වෙලා.. කිසිම රහසක් අපි අතර නැති නිසා හසුන් මේ හැම දෙයක්ම දැනගෙනත් මගේ හිත රිදෙන්න එකම වචනයක් වත් කිව්වේ නෑ.. අම්මත් කෑම කෑවෙ නැති නිසා මං කිරි වීදුරු තුනක්ම හදලා අම්මටත් එකක් දෙන්න කාමරේට ගියත් මාව දැකපු අම්මා ගස්සලා අහක බලාගත්තා..
" අම්මා.. කෑවේ නෑ නේද?.. මේ කිරි එක බොන්න.." මං කිරි එක මේසේ උඩින් තියලා කාමරේට ආවේ හසුන්ට කිරි එක දෙන්න ඕන නිසා.. රෑ නිදාගෙන උදේම ඇහැරුණේ උයන්න ඕන නිසා.. මූණ හෝදගෙන ගිහින් මං වතුර හීටරේ ගහලා රයිස් කුකර් එකට හාල් හෝදලා තියලා තුන්දෙනාටම කිරි හදාගෙන හසුන්ගේ කිරි එක දීලා අම්මගේ කාමරේට ගියා.. රෑ හදල දුන්න කිරි එකත් මේසේ උඩ එහෙමම තියෙනව දකිද්දි දුකක් ඇති වුනත් මං ගිහින් අම්මප අහරවලා කිරි එක අතට දීලා ආයෙම කුස්සියට ඇවිත් උයලා තියලා ලෑස්ති වෙලා හසුන් එක්කම හොස්පිට්ල් එකට ගියා.. ගෙදර ඇවිත් බලද්දි අම්මා මුලු දවසෙම නොකා නොබී සාලෙ මැද වැටිලා හිටියා.
" හසුන්..අම්මා.." වෛද්‍යවරුන් වුන මටත් හසුන්ටත් අම්මගේ තත්වය තේරුම් ගන්න පුලුවන් වුනා.. අම්මට බෙහෙත් දුන්නත් අම්මා හැමදේම ප්‍රතික්ෂේප කරන්න ගත්තා..
" ආයුරා මම කියන දේට එකග නොවෙනවා නම් මං මැරිල ගියාවේ.." අම්මා ලඟම ඉදගෙන වේදනාවෙන් ඉදපු හසුන්ට අම්මා ඒ කියපු කතාවට කේන්ති ගිහින් ඇදෙන් නැගිටලා අතට අහුවුනු සුප් වීදුරුව පොලොවේ ගැහුවා..
" අම්මා...අම්මා..ඇයි මෙහෙම හැසිරෙන්නේ, නොකා හිටියට මිනිස්සු මැරෙන්නෑ අම්මා.. හාමත් වෙලා දුර්වල වෙනව විතරයි.. මොනව වුනත් මං ඔය දේට කැමති නෑ.. අවුරුදු ගානක් මහන්සි වෙලා ඉගෙන ගෙන ආයුරා අද ඔය තත්වෙට ආවේ.. එයාගේ එකම හීනේ ආසාව තමයි ඔය රස්සාව.. ඒක දේවත්වයෙන් එයා කරන්නේ හම්බකරන සල්ලි පවා අසරණ ලෙඩ්ඩුන්ට වියදම් කරනවා.. එහෙම එකේ මට පුලුවන්ද ඒ කෙල්ලගේ.." හසුන් කේන්තියෙන් වුනත් ඇත්තම කියද්දි
මට දුක හිතුනත් අම්මගේ තත්වය තේරුම ගත්ත නිසා මං හසුන්ව පාලනය කර ගත්තා..
" අම්මා කියන එක වැරදි නෑ.හසුන් මම කැමතියි ගෙදර ඉන්න.. දැන් ඕක ඇති.." අවසානෙට අම්මගේ මූණට හිනාවක් ගේන්න අම්මව සතුටින් තියන්න මගෙ සතුට මං කැප කලා.. ඒත් අම්මා මාව ගෙදර තියාගෙන වද දෙන්න ගත්තේ හසුන්ගේ ජීවිතේ මම නිසා විනාස වුනා කියලා හිතාගෙන..
"අම්මා.."
" මොන අම්මද?.. යශෝ අම්මා කියපන්.." කටපුරා අම්මා කියපු අම්මට අන්තිමට හසුන් නැති වෙලාවට යශෝ අම්මා කියන්න පුරුදු වුනු මං හැම දුකක්ම හසුන්ගෙන් සගව ගත්තා..
" ආයුරා..අපි රට යමු.."
" ඒ ඇයි.."
" මට අවුරුද්දකට යන්න වෙනවා.."
" ඒත් අම්මා.."
" මං පුංචි අම්මට එන්න කිව්වා.. තව සතියකින් අපි යමු.." හසුන් හදිසියේම රට යන්න සූදානම් උනත් කිසිම හේතුවක් මං දැනගෙන හිටියේ නෑ .
" පුතා ගිහින් එන්න..ආයුරා මෙහේ ඉද්දෙන්.."
" අම්මා..මං අවුරුද්දක්ම තනියම ඉන්නද?.. මගේ වැඩ ටික තනියම කරගන්න බෑ අම්මා.." අම්මාගේ අකමැත්තෙන් හසුන් මාවත් අරගෙන ලංකාවෙන් ආවේ මේ ලෝකේ තියෙන ලොකුම සතුට මට දෙන්න කියලා මං හීනෙකින්වත් හිතුවේ නෑ..
" ඩොක්ටර්.. මේ ඉන්නේ මගේ වයිෆ්.. ඩොක්ටර් ආයුරා නිකේතනී.."
" හ්ම්.. පොඩි පරීක්ෂණ ටිකක් තියෙනවා ඩොක්ටර් හසුන්.. ඒක කරලා මං බලන්නම් මේ වැඩේ සාර්ථක වෙයිද කියලා..තේරුණාද ඔයාට?.."
" ඔව ඩොක්ටර්.." සුදු ජාතික වෛද්‍යවරයෙක් එක්ක හසුන් කතා බහ කරලා අවසානයේ පරීක්ෂණ කිහිපයකටම මුහුණ දෙනකලුත් මට තේරුණේ නෑ හසුන් මොනවා කරනවද කියලා..
" සුබ පැතුම් මිස්ටර් හසුන්.. නළ දරු උපතක් සාර්ථක කර ගන්න පුලුවන්.. ඉක්මනටම ඒකට ලෑස්ති වෙන්න.."
" හ.සුන්..මේක."
" හ්ම්.ඔව් ආයුරා.. දවසක් මේ ඩොක්ට ඩෙෆික් අපේ හොස්පිට්ල් එකට ආවා.. එයා තමයි කිව්වේ මට මේ ගැන හිතන්න කියලා..."
" ඉතින් අපිට ලංකාවේ ඉඳලම මේක කරන්න තිබුණානේ හසුන්.."
" ඔව්..ඒත් ආයුරා, අම්මගේ හැසිරීම එක්ක මං ඒකට කැමති වුනේ නෑ.. ඒ නිසයි මං ලංකාවෙන් ආවේ.." හසුන් හැමදාම මගේ පැත්තෙන්මයි හිතුවේ..හැම ප්‍රශ්නයක් ගැනම උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙලා හිටිය හසුන් ඇත්තටම මගේ ජීවිතේට ප්‍රාතිහාර්යයක්..
" ඔයාට පින් හසුන්.. වෙන මනුස්සයෙක් නම් මාව අතෑරලා දාන්නේ කසාද බැඳපු දවසේ.. මට එසා ඔයාට මගේ පිරිසිදු කම පෙන්නන්න බැරි වුනා.. ඒත් ඔයා මාව ආරක්ෂා කලා මිසක් කාටවත් මට ඇඟිල්ල දික් කරන්න ඉඩ තිව්වේ නෑ.. එතකොට මට දරුවෙක් හදන්න බැරි වුනත් ඔයා ඒකටවත් මට වරදක් කිව්වේ නෑ.. අන්තිමට අම්මගෙන්, සමාජයෙන් වෙන ලැජ්ජාව ඒ කතා වලින් බේර ගන්න හරියටම වඳ ගෑණියෙක් කියන නම වදින්න නොදී අද මට දරුවෙක්ගේ අම්මා කෙනෙක් වෙන්න උදව් කරනවා.. ඇත්තටම මං හුගක් පින් කරලා තියෙනවා හසුන්..වෙන මනුස්සයෙක් වුනා නම් මේ වෙද්දි දික්කසාද කරලා.." මං කිව්වේ හසුන්ට තුරුල් වෙලා.. හසුන් ගැන මට දැණුනේ ලොකූ ගෞරවයක්..
" අපි අපිට ආදරෙයි නම් ඕනම ප්‍රශ්නයක් විසඳ ගන්න අපිට පුලුවන් වෙන්න ඕනී.. එක එක ප්‍රශ්න පිට දාලා දික්කසාද කරන්න යන නිසා තමයි ආයුරා කෝට්ස් වල ඩිවෝස් කේස් වැඩි.. මටත් ඒ වගේ මිනිහෙක් වෙන්න ඕන නෑ.. මාව විශ්වාස කරපු,මට ආදරේ කරපු කෙල්ලගේ ආදරය මට ඕන, ඒ විශ්වාසය මං මැරෙනකල්ම රකින්න ඕනි.." හසුන් මගේ හිස සිපගෙන කිව්වා..දවසින් දවස ගෙවෙද්දි මගේ හීනය වෙනුවෙන් නළ දරු උපතකට සූදානම් වුනා.. යශෝ අම්මගෙන් අහිමි වුන ආදරේ පවා මට ලැබුණේ හසුන්ගේ උපේක්ෂා සහගත.සිතුවිලි නිසා.. මාස අටක්ම කුසේ තියාගෙන පණටත් වඩා පරෙස්සමින් තියාගෙන ඉඳපු කළලය දරුවෙක් විදියට බිහි කරේ මගේත් හසුන්ගේත් ජීවිත වලට ආලෝකය එක් කරමින්..
"හිරුදින ප්‍රබෝද" අපේ පුංචි පුතුට ඒ නම දැම්මේ හසුන්.. යශෝ අම්මගේ ආසාව වුන පරම්පරාව අරන් යන්න පුතෙක් බිහි කරපු මට පුදුමාකාර සැහැල්ලුවක් හිතට දැණුනා..
" හසුන්.. මේ ජිවිතේට ඔයා ආවේ නැත්නම් කිසිම අර්ථයක් නැති නිකම්ම නිකම් ශරීර කූඩුවක් විතරයි මං.." පුතුවත් තුරුලට අරගෙන මං හසුන්ට තුරුල වුනේ එහෙම කියමින්..
නිමි..
#සියල්ලම_උපේක්ෂාවෙන්_බලන_පුද්ගලයාගේ_ජීවිතයත්_ඒ_වටා_ඇතිවෙන_බැඳීම්_සහ_ජීවිතද_සැමදා_සතුටින්_පිරෙනු_නොඅනුමානයි...
………………………………………………………………………………………………
කවර් පොටෝ එක Shafna aswan නංගියගෙන්..😘
මං
ShVi DiSsanaYaka💕💕💕💕
