සෝමාරි | Somari
සෝමාරි
ඇඳගෙන සිටි සරමෙන් ඉහේ හිටන් දෙපතුල දක්වා පොරවන් බූරු ඇඳ උඩ ගුලිගැහිලා ඉඳගෙන බන්දු බලාගෙන හිටියෙ වැස්ස දිහා. පෙරේදා හැන්දෑවෙ පටන් ගත්තු වැස්ස තවමත් නවතින පාටක් නැත.
" ඔහොම ගුලිවෙලා නිදාගෙන හිටියම හරියනවද.
ගෙදර හාල් ඇටයක් නෑ.
පොඩ්ඩක් එලියට බැහැලා මොනවහරි වැඩක් පලක් හොයාගන්නවකෝ. "
තැනින් තැන හිල් වෙච්චි පොල්අතු වහලෙන් වැක්කෙරෙන වැහි වතුර එකතු වෙන්නට දාලා තිබුනු කොරහෙ පිරිලා තිබුනු වතුර ටික මිදුලට විසිකරපු කුමාරි ආපහු ගේ ඇතුලට ගියේ කේන්තියෙන් .
ඒකි කියන්නෙත් ඇත්තක් කියලා බන්දුට නොතේරුනාම නොවෙයි . ඒත් එහෙමයි කියලා මන් කොහොමද හත්වලාමෙ මේ දඹ වැස්සෙ ගෙයින් එලියට බහින්නෙ. දොට්ට පිලට යන්න ඇරුනහම තමන් දවස් දෙකකින් ගෙයින් එලියට බැස්සෙ නැහැයි කියලා බන්දුට මතක් උනේ ඒ වෙලාවෙ. ඊටත් ටිකකින් ඔහු දැක්කෙ පල්ලෙහා කොස්ගහේ බැඳලා දාලා හිටපු වැස්සිවත් ඇදගෙන මහ වැස්සෙ තෙමිතෙමී එන කුමාරිව. වැස්සි තෙමෙන හින්දා ගෙයි පිටිපස්සෙ මඩුවෙන් ඒකිව බැඳලා දාන්න කියලා කුමාරි කියන්නෙ ඊයෙ හවස ඉඳලා . පස්සෙ කරන්නම් තව ටිකකින් කරන්නම් කියකිය ඉඳලා අනේ හැබෑටම ඒකත් අමතකවෙලා ගිය හැටියක් . දැන් ඉතින් ඒකි ආවහම හොඳවැයින් දෙකක් අහගන්න තමයි වෙන්නෙ. බිම තිබුනු කුඩය ඉහලා ගත් බන්දු පොද වැස්සෙම එලියට බැස්සෙ ටික වෙලාවක් යනකම් කුමාරිගෙන් වහං වෙලා ඉන්න එක හොඳයි කියලා හිතුනු හන්දා .
..............
වැස්සිව මඩුවෙ ගැටගහලා තෙමිච්ච කොන්ඩෙත් පිහිදදා ගෙට ආපු කුමාරි බැලුවෙ බන්දු කොහෙද කියලා .
" අනේ ඇත්තට මෙහෙමත් මනුස්සයෙක්"
කලකිරුනු හඬින් ඈ මිමිනුවේ ඈත කඩුල්ල පැන අලස ගමනින් ඇවිදන් යන බන්දු දිහා බලාගෙන .
" අනේ අපොයි මටත් වෙච්චි දෙයක් . "
කම්බුලේ අතත් තියාගෙන ඈ කල්පනා කලේ ඒ දවස්වල කොල්ලො කී දෙනෙක් නම් තමන්ගෙ පස්සෙන් ආවද කියලා . ඒ එකකටවත් හිත නොගිහින් අන්තිමට මේ මිනිහටම හිත ගියපු හැටියක්. තමන්ටත් වඩා මේ මගුල කරලා දෙන්න අපෙ අම්මලට උනන්දුව තිබුනෙ ඒ දවස්සවල පරම්පරාවෙන් බන්දුට උරුම වෙලා තිබුනු දේපළ වල තන්හාවට . ඒ කාලෙ ඉඳන්ම රක්ෂාවක් නොකර අර ඉඩ කඩම් විකුනගෙන නිකං කකා බිබී හිටියා මිසක් අතක් පයක් හොලවලා වැඩක් පලක් කරපු එකක් යැ. හැමදේම නැති නැත්තටම නැතිවෙලා දැන් ඉතිරිවෙලා තියෙන්නෙ මේ ගේ කෑල්ලයි. අඳේට දීලා තියෙන බුසල් දෙකේ කුඹුරු කෑල්ලයි විතරයි . තව ටික දොහක් මෙහෙම ගියොත්නං මේටිකත් විකුනලා දාලා පාරට බහින්න තමයි සිද්ධ වෙන්නෙ.
කුමාරිගේ දැහැන බිඳුනෙ පොඩි මහත්තයගෙ මොටෝ බයිසිකලය වත්තට ඇතුල් වෙනවා දැක්කහම. ඒක දැකලා ගැස්සිලා ගියපු ඈ එහෙන් මෙහෙන් ගව්ම හදහද අනික් අතින් කොන්ඩය හදන්නට ගත්තෙ මොන එහෙකටද මන්දා. බිය සතුට කුතුහලය එකට මුසුවූ මොකද්දෝ මහ අමුතු හැඟීමකින් ඇගේ හිත ගැහෙන්න ගත්තෙ දියෙන් ගොඩදාපු මාලුවෙක් වගේ.
ඒ වෙනකොට වැස්ස චුට්ටක් තුරුල්වෙලා තිබුනත් යන්තමින් වැටුනු වැහිපොද අතරින් බයිසිකලයෙන් බැසගත් පොඩි මහත්තයා ගේ ඇතුලට ගොඩඋනේ කුමාරිගෙන් අවසර ගන්නෙත් නැතුවම .
" මම මේ ලඟකට ආපු ගමන්. උඹ දොරකඩ ඉන්නවා දැකලා මට නිකමට හිතුනා ගෙට ගොඩවෙලා ගියොත් හොඳයි කියලා . "
බාගෙට තෙමුනු කමිසෙ උඩට වැටිලා තිබුනු වැහිබින්දු පිහිදමමින් පොඩි මහත්තයා කිව්වෙ කුමාරි දිහා ඇස් කොනෙන් බලබල .
මේ ගමේ බොහොමයක් ගෙවල් වලට පොඩි මහත්තයා රිංගන්නෙ අවසර අරගෙන නොවෙයි කියලා කුමාරිත් නොදන්නවාම නෙවෙයි .
" කෝ බන් බන්දු "
" මේ දැන් හිටියා . පාර පැත්තට යන්න ඇති මයෙ හිතේ. "
කුමාරි බිම බලාගත්තේ ඔහුගෙ තියුණු ඇස් දිහා එක එල්ලෙ බලාගෙන ඉන්නට බැරිව. පොඩි මහත්තයාට තියෙන්නෙ මහ කුපාඩි ඇස් දෙකක් . ඔහුගේ මුහුන බලන හැම විටකම ඈට හිතෙන්නෙ එහෙම .
" පොඩි මහත්තයා ...ඉඳගත්තනං ඔය කොහෙන් හරි. "
ඔහුගේ ඇස්දෙක මග හරිමින් කුමාරි වටපිට බලන්නට ගත්තෙ ඔහුට ඉඳගන්න දෙන්නෙ කොහෙද කියලා . ගේ හරියටම තිබුනෙ එකම එක පුටුවයි. ඒකෙත් කකුලක් කැඩිලා ඇන මුරිච්චි දාලා තිබුනෙ. පොඩි මහත්තයා ඒකෙ ඉඳගත්තොත්නම් පුටුවත් කඩාගෙන බිම ඇද වැටෙනවා සිකුරුයි.
" ඕනැන්නෑ බන්. මට ඔන්න ඔය වතුර වීඳුරුවක් වක්කරලා ගනින් බොන්න . "
" පුදුම වැස්සක්නෙ බන් වහින්නෙ . දැන් කී දොහක්ද . "
" ඒකනං එහෙම තමයි පොඩි මහත්තයෝ . ඒත් ඉතින් අපිට වගේයෑ මහත්තයලට . වැස්සත් එකයි පෑව්වත් එකයි. "
" අර මොකෝ බන් එහෙම කියන්නෙ. "
" නෑ නෑ මුකුත් නෑ "
කුමාරි කියන්නට ගියපු වචනටික ගිලගත්තේ තමන්ගෙ තියෙන නැතිබැරිකම් පිට මිනිහෙක් එක්ක කියන්න යන්නෙ මොකටද කියලා .
වතුර වීඳුරුවක් ගන්න කුස්සියට ගියපු කුමාරි පිටුපසින් වැදුනු පොඩි මහත්තයා බැලුවෙ කුස්සියේ ලිප දිහා. ඒ අසල කොරහින් වසා දමා තිබුනු නෑඹිලිය ඇර බැලූ ඔහුට හීල්ලුනේ ඊයෙ රෑ තම්බපු මයියොක්කා කෑලිදෙක තුන දැකලා.
" මේවද බන් උඹලා අද උදේට කෑවෙ. "
හදවතට පිහි තුඩෙන් අනිනවාක් වගේ ඔහුගෙ ඒ වචනවලට උත්තරයක් දෙන්නට උත්සාහ නොගත් කුමාරි වක්කරපු වතුර කෝප්පය ඔහු අත තැබුවේ ලැජ්ජාවෙන් වගේ බිම බලාගෙන . ඈට ඇතිඋනේ බන්දු ගැන කෝපයක්. ඒකා හරියට හිටියනං පිට මිනිස්සු ඉස්සරහ මෙහෙම අසරණ වෙන්න ඕනෙ නැහැනෙ.
ඒත් ඉතින් පොඩි මහත්තයා මොනවා කරන්නද අපේ මිනිහගෙ තියෙන ආලපාලුවට.
" මේ බලපං කුමාරි මන් උඹට කී සැරයක් කියලා තියෙනවද මොනවහරි ඕනෙනං මගෙන් ඉල්ලගන්න කියලා.
කොයි ඉතින් උඹලගෙත් තියෙන අහංකාර කමනෙ "
වතුර වීඳුරුවත් අතේ තියාගෙනම කුමාරිගෙ ඇඟේ ගෑවි නොගෑවෙන තරමට ලංවෙලා පොඩි මහත්තයා හීන් හඬින් එහෙම කියනකොට කුමාරිගෙ හිත තරමක් නොසන්සුන් වෙලා ගියේ කසාද බැන්දට පස්සෙ බන්දු ඇරුනහම වෙනත් පිරිමියෙකුට කවදාවත් මේ තරමට ලන්නොවිච්ච හන්දා වෙන්නට ඇති. ඔහුගේ හුස්ම වැටෙන හඬ ඇසෙන නෑසෙන තරමටම ලංවෙලා හිටියත් කුමාරිට එතනින් ඈත් වෙන්න නොහිතුනේ මොන එහෙකටද මන්දා.
" බන්දුට කියාපං හෙට දිහාට කොහුමෝල පැත්තෙ ඇවිත් යන්නෙයි කියලා.
මං ඒකට මෝලෙ මොකක් හරි රක්ෂාවක් ඇන්න දෙන්නං. "
දීප්තිමත් දෙනෙතින් ඈ පොඩි මහත්තයගේ මුහුන දිහා බැලුවෙ ඒ වෙලාවෙ.
" අනේ .. ඒකනං කොච්චර එකක්ද. "
...........
පොඩි මහත්තයා ගිය පසු පිල්කඩ උඩටවෙලා කුමාරි ඇනබාගෙන කල්පනා කරන්නට ගත්තෙ ඔහු ගැන. දැන් ටික දොහක ඉඳන් පොඩි මහත්තයා තමන් දිහා උනන්දු වෙනබව කුමාරිට තේරිලා තිබුනෙ . මැදිවියේ මුල් සමය ගතකරමින් සිටින පොඩි මහත්තයා ගැන ඒ දවස්වල ගමේ ගොඩේ පැතිරුනු කටකතානම් ඒ තරම් හොඳ දේවල් නෙවෙයි . ඒ හින්දම කුමාරිට ඒ දවස්වල ඔහුගැන තිබුනෙ පිලිකුලක් . තවමත් කසාදයක් කර නොගත්තට මොකද ඒකෙ අඩුවක් පාඩුවක් ඔහුට දැනුනෙ නැත්තෙ ගමේ ගැහැනු දෙතුන් දෙනෙක්ම ඔහුගේ මනමාල හිනාවට දපනෙ වැටිලා හිටපු හන්දා. මීට කාලෙකට කලින් ඉතිරි කර ගත්තු සල්ලි ටිකක් දාලා ගමේ කෙලවරේ ඔහු කුඩාවට ආරම්භ කරපු කොහු මෝල අද වනවිට ගමේ දහ පහලොස් දෙනෙකුටම රක්ෂා දෙන තරමට දියුනුකර ගන්නට පුලුවන් උනේ ඔහුගෙ උත්සාහයෙන් .
කුමාරි ගමට ඇවිල්ලා අව්රුද්දකට වැඩි කාලයක් උනත් පොඩි මහත්තයා එක්ක වචනයක් දොඩන්න අරන් තව ඕනෙනම් සුමානෙකට දෙකකට වැඩිය නැතිව ඇති. එදා ගෙදර උයන්න කිසිම දෙයක් තිබුනෙ නෑ. කලින් නයට ගත්තු බඩුවල සල්ලි දීපු නැති හන්දා කඩේ මුදලාලි පේරේදා හවස බඩු දුන්නෙ සල්ලි ගෙවන් නැතිව ආයෙ මේ පැත්ත පලාතෙ එන්න එපා කියලා . වෙන කරන්නම දෙයක් නැති තැන කුමාරි කඩේට ගියේ ඕන දෙයක් වෙද්දෙන් කියලා . ඈට ආපු මෝඩකම කියලා හිතුනෙ පොඩි මහත්තයා කඩේ ගාව බංකුවේ ඉඳගෙන ඉන්නවා දැක්කහම.
දැන් කීප දවසක ඉඳලා ඔහු තමන් දිහා මහ අමුතු විදිහකට බලනහැටි ඈ දෙතුන් විටක්ම දැකලා තියෙනවා.
" දැන් මොකද කරන්නෙ . ආපහු හැරෙන්නත් බෑ.
මුදලාලි බඩු දෙන්න බෑ කිව්වොත් වස ලැජ්ජාවක් තමයි වෙන්නෙ. "
අහස පොලව ගැටලන්නට වගේ හදමින් හිටි ගාන පැත්තකට කර උපැස් යුවලට යටින් බලපු මුදලාලිගෙ මුහුන ඇඹුල් උනේ කුමාරි දැක්කහම.
" මුදලාලි .. මට මේ මේ .. හාල් සේරු දෙකකුයි සාඩින් ටින් එකකුයි දෙන්නකෝ. "
කුමාරි හඬ බාලකරලා කතා කරව්වෙ එලියෙ ඉන්න පොඩි මහත්තයට ඇහෙයි කියලා ලැජ්ජාවට.
" කාසි තියෙනවද "
" ලබන සුමානෙ අපේ කුඹුරු සල්ලි හම්බවෙනවනෙ මුදලාලි . එතකොට මන් සේරම සල්ලි ටික ගෙවන්නං එකසැරේ. "
අතේ තිබුනු පොතත් පැත්තකට වීසිකරපු මුදලාලි නැගිට්ටේ කෝපයෙන් වගේ.
" ඈ බන්.. ඔයහැටි නයට බඩු දෙන්න උඹලා හිතුවෙ මේක දන්සැලක් කියලද ."
" කලින් ගත්තු බඩුවල කාසි ගෙනත් දීලා හිටපං. ඊටපස්සෙ ඇන්න පලයන් ඕන දෙයක්. "
කෝපයට පත් මුදලාලි මහ හයියෙන් බෙරිහන් දෙද්දි ලැජ්ජාවෙන් රතුඋනු කුමාරි කඩෙන් එලියට පැනගත්තේ අඩියට දෙකට. ඇගේ ඇස් දෙකට කඳුලු පිරුනේ දුකටත් වේදනාවටත් වඩා ලැජ්ජාවට. බිම බලාගෙනම කඩෙන් එලියට බැහැපු ඈ යන්තමට දැක්කෙ තමන් දිහා බලාගෙන ඉන්න පොඩි මහත්තයව.
කුමාරි එදා ගෙදර එනකොටත් බන්දු බූරු ඇඳේ ගොරව ගොරව නිදි. අතේ තිබුනු මල්ලෙන් බන්දුට දමලා ගහපු ඈ මහ හයියෙන් බැන වදිද්දී හැමදාම කරනවා වගේ ඔහු එතනින් හීන් සීරුවේ මාරුවෙලා ගියේ කුමාරිගේ කේන්තිය නිවෙනකම් ඈව මගහැර සිටීමේ ගැලවිජ්ජාව එදත් ඒ ලෙසටම අනුගමනය කරමිනි .
මේ හැම දෙයක්ම දමලා ගහලා හිස හැරුනු අතක යන්නට ඇයට හිතුනේ වරක් දෙවරක් නොවේ. ඒත් ඈ කොහේ කියලා යන්නද. මල්ලි කසාද බැදලා ගෑනියෙක් ගෙනාවෙ මේ ඊයෙ පෙරේදා . අම්මයි තාත්තයි ඉන්නෙත් එයා ගාව. ආපහු ගෙදර ගිහින් එයාලට බරක් වෙන්නෙ කොහොමද . නොකා නොබී හරි ඉඳලා මේකෙම වැටිලා මැරෙනවා හැරෙන්න දැන් වෙන විකල්පයක් නොමැති බව දන්නා ඈ හිත හදාගත්තේ එන විදිහකට මුහුන දෙන්න.
එදාම හවස පොඩි මහත්තයාගෙ මෝලෙ වැඩ කරන කොල්ලෙක් කුමාරිලාගෙ ගෙදර ආවෙ ෂොපින් උර දෙක තුනක බඩු මල්ලකුත් උස්සගෙන. කිරිපිටි , සීනි, බිස්කට් , හාල් .
" පොඩි මහත්තයා දෙන්න කිව්වා. "
...........
" ආ බන්දු.. උඹ ආවද "
අඹරපු කොහුලනු මිටියක් අතට ගෙන පරීක්ෂා කරකර හිටපු පොඩි මහත්තයා බැලුවෙ බන්දුගෙ මුහුන දිහා.
" උඹ කැමතිද මෝලෙ වැඩ කරන්න "
බුලත් කහට පිරුනු දත් පෙල පේන්නට මඳක් විරිත්තපු බන්දු ඔලුව කසන්නට ගත්තෙ මහ බයාදු විදිහට . පොඩි මහත්තයා කල්පනා කරව්වෙ බන්දුට මොකද්ද දෙන්නෙ කියලා . මේකෙ වැඩකරන පිරිමි වලට බැහැලා පල්වෙන්න දාලා තියෙන පොල් ලෙලි තලලා ගොඩට දාද්දි ගැහැනු කරන්නෙ ඒ තලපු පොල්ලෙලිවල කොහු අඹරලා ලණු හදන එක. "
මේකාට කරන්න පුලුවන් වෙයිද ඕවා. "
පොඩි මහත්තයට මතක් උනේ කුමාරි කියපු කතාව .
" අනේ පොඩි මහත්තයෝ අපේ එකාට ඔය ටිකක් ලේසි පහසු වැඩක් හොයලා දුන්නොත්නං පින්සිද්ද වෙනවා.
නැත්තං ඕකත් දමලා ගහලා එයි එන්න ගෙදර . "
" පිංබත් ගිලගිල දවස පුරාම බුදියගත්තා මිසක් අතක් පයක් හොලවලා වැඩක් පලක් කරපු එකක් යෑ. "
දැන් දැන් රෑට මෝලෙ බඩු අන්තරස්දාන වෙන්න පටන්ගෙන තියෙන හන්දා පොඩි මහත්තයා හිතාගෙන හිටියෙ මෝලට මුර කාරයෙක් දාන්න. එහෙව් එකේ ඔහු කල්පනා කලේ බන්දුට ඒ වැඩේ පවරන්න.
" ඈ බන්. බන්දු මන් හිතාගෙන ඉන්නෙ මෝලෙ ආරක්ෂාවට මුරකාරයෙක් දාන්න. උඹට පුලුවන්ද රෑට මෝලෙ නැවතිලා ඒ වැඩේ කරන්න. "
..........
ගෙදරින් අරන් යන බත් එක කාලා යස අගේට නිදාගන්නවා ඇරෙන්න වෙන කරන්න වැඩක් නොතිබුනු හන්දා බන්දු අලුත් රක්ෂාවට යන්න ගත්තෙ බොහොම මනාපෙන්. ඒ ගැන කාටත් වඩා සතුටට පත් කුමාරි උදේ හවා පොඩි මහත්තයාට පින් දුන්නෙ මේ කරපු උපකාරයට.
රෑ බෝවීගෙන එනකොටම පුරුදු පරිදි සුදාගෙ කසිප්පු තිප්පොලට ගොඩ වදින පොඩි මහත්තයා ඊලඟට සැරසෙන්නේ බඩේ ගින්න කෙසේ වෙතත් කයේ ගින්න නිවාගන්න . සුදාගෙ වාඩියෙන් එලියට ඇවිත් ඔහු මුලින්ම ගියේ මෝලට. මෝලෙ හිටපු බන්දු එක්කත් ටිකක් වේලා කතා කරකර හිටපු ඔහු ආපහු නැගුනෙ මොටෝ බයිසිකලයට. වෙනදා සුමනාගෙ , කාන්තිගෙ එහෙම නැත්තං වසන්තිගෙ ගෙවල් දිහාට හැරෙන ඔහුගේ මොටෝ බයිසිකලය අද හැරුනෙ කුමාරිගෙ ගෙවල් දිහාට . හාත් පසම ගන අඳුරෙන් වැසීගොස් තිබියදී කුමාරි කුප්පි ලාම්පුව අරන් දොරකඩට ආවෙ මොටෝ බයිසිකල් හඬ ඇහිලා කව්ද කියලා බලන්න.
" පොඩි මහත්තයා ....
මොකෝ මේ වෙලාවෙ . "
කුමාරි පුදුමයෙන් වගේ බලාගෙන හිටියෙ අවේලාවේ ගෙට ගොඩඋනු පොඩි මහත්තයා දැකලා.
" මුකුත් නෑ බන් .. නිකං ආවා.. "
" කෝ බන්දු වැඩට ගියාද . "
බන්දු වැඩට ගොස් ඇතිබව ඔහු නිච්චියටම දැනගෙන උන්නත් වචන පැටලි පැටලි ඔහු එහෙම ඇහුවෙ වෙන කියන්නට දෙයක් මතකෙට ආපු නැති හින්දා. මොන හේතුවක්ද මන්දා පොඩි මහත්තයා හිටියෙ හොඳටම නොසන්සුන් වෙලා. ගමේ වෙනත් ගෑනු ඉස්සරහ ඔහුට මේ විදිහට වචන පැටලිලා නෑ කවදාවත් . ඔහුගේ මේ වෙනස කුමාරිටත් නොතේරුනා නොවෙයි. පොඩි මහත්තයා ගෙට ගොඩඋනු ගමන් නහයට දැනුනු අරක්කු ගඳට කුමාරිට තේරුනා ඔහු ඉන්නෙ බීලා කියලා . ඈ ගිහින් කුප්පි ලාම්පුව එලියට අල්ලලා බැලුවෙ කව්රුවත් බලාගෙන ඉන්නවද කියලා .
" මොනවද උඹ බැලුවෙ "
ඈ ආපහු එනතෙක් බලාගෙන හිටපු පොඩි මහත්තයා ඇහුවෙ ඈට හොඳටම කිට්ටු වෙලා. මොකද්දෝ මහ අමුතු හැඟීමක් එක්ක කුමාරිගේ මුලු ගතම වේගයෙන් ගැහෙනට ගද්දී ඈ හිටි තැනම රැඳී හිටියේ බන්දුගේ අහලකින්වත් තැබිය නොහැකි මේ දේහදාරී මිනිසාගෙන් ඉවතට යන්නට තිබුනු ලෝබ කමට. ඇගේ හද ගැහෙන රිද්මය පවා ඔහුට හොඳටම දැනෙන තරමට ඔව්න් සිටියේ එකිනෙකාට ලංවෙලා . වෙව්ලන දෑතින් කුමාරිගේ එක් අතක් හීනියට අල්ලාගත් ඔහු බැලුවෙ ඇගෙ මුහුන දිහා . ඇගෙන් විරුද්ධත්වයක් නොමැති කල ඔහු තව තවත් දිරි අරගෙන කිට්ටු උනේ ඈ වෙතටම. ඔහු ඉදිරියට එත්ම ඒ සමගම පසු පසින් පසු පසට පාද තැබූ කුමාරි නතර උනේ වරිච්චි බිත්තියට හේත්තුවෙලා.
ඈ වෙතට ලංවූ පොඩි මහත්තයා බියපත් දෑසින් බිම බලාගෙන සිටිනා එම ගැහැනියව තම පපුවට තුරුලුකර ගත්තේ අසීමිත සෙනෙහසකින්.
තත්පර කිහිපයක් එලෙසම හිටි ඔහු ඇගේ නිකට ඔසවා හිමි හිමීට ඇගේ නා දලුවන් දෙතොල් අතරට බරඌයේ හිරිමල් ගැටවරයෙක් කුලුඳුලේ තම පෙම්වතියව සිපගන්නා සොඳුරු හැඟීමෙන්. සුරාමතෙනුත් නුරා මතිනුත් තෙමීගිය ඔහුගේ දෑත ඇගේ ගතපුරා දැවටීයද්දී ඈ ඇදගෙන හිටපු මල් මල් චීත්ත ගව්මේ ගව්ම් කර " බරාස් " ගා ඉරී ගියේ ඔහුගෙ තිබුනු කලබලයටද මන්දා. කුමාරි සැනින් බිත්තියට හේත්තුවෙලා ඉරුනු ගව්මට නිරාවරණය උනු ලය දෑතින් වසාගත්තේ මහත් ලැජ්ජාවෙන් . සායම් පවා පිච්චී ගිය දිරාපත් චීත්ත ගව්ම දුටු ඔහු කුමාරි දිහා බැලුවේ සමාව අයදින්නාක් මෙන් මහත් කනගාටුවෙන්.
............
සෑහෙන වෙලාවක් තම සිරුරට තුරුල්වෙලා හිටපු කුමාරිව පසෙකට තල්ලුකර දමා පොඩි මහත්තයා ඇඳෙන් නැගිට්ටෙ ආපහු ගෙදර යන්න. පසෙකට වීසිකර තිබුනු සරමත් කමිසයත් ඇඟලාගත් ඔහු කමිස සාක්කුවට අතදාලා ඇදලා ගත්තෙ අලුත්ම දාහෙ කොල දෙකක්.
" ආ.. මේක ගනින් "
" මට එපා "
අහක බලාගෙනම ඈ කිව්වෙ තරහින් වගේ.
" මට සල්ලි ඕනෙ නෑ.
කවදාවත් නොලබපු සතුටක් මට අද ඔයයිගෙන් ලැබුනා.
මට ඒ ඇති "
" අපරාදෙ .. මන් අතින් උඹේ ගව්මත් ඉරුනනේ.
මේ සල්ලි වලින් අලුත් ගව්ම් කෑල්ලක් ගනින්. "
බලහත්කාරයෙනම කාසි කොල දෙක කුමාරිගෙ මිට මොලවපු ඔහු මෝටර් බයිසිකලයෙ නැගුනේ මන් ගෙහුන් එන්නම් කුමාරි කියමින්.
................
බන්දු පේන්නට නොසිටියෙන් ආපහු ගේ ඇතුලට ගියපු කුමාරි ඇඳයට තිබුනු පෙට්ටගම ඇර එයින් එලියට ගත්තෙ පොඩි මහත්තයා ඊයෙ ගෙනත් දුන්නු තෑගි පාර්සලය. ඊයෙ රාත්‍රියේ ගෙනත් දුන්නට මොකද ඒකෙ මොනවද තියෙන්නෙ කියලවත් ඈට බලන්න බැරිඋනේ උදේ පාන්දරම බන්දු ගෙදර ආපු නිසා. ඈ මල්ල දිගහැර බැලුවා. ඈට ආශාවෙ බැරිව ගියේ අලුත්ම අලුත් ගවොම් රෙද්දයි සෙන්ට් පව්ඩර් බෝතල් ටිකයි දැක්කම.
බන්දු හිටියට මොකද සිංහල අව්රුද්දට ඇරෙන්න ආශාවට කියලා ඇඳුමක් අරගෙන දීල තියෙනවද. කුඹුරු සල්ලි ලැබෙනකං බලාගෙන ඉඳලා නාහෙන් අඬලා අඬල තමයි ඒකත් අරං දෙන්නෙ. ලෝබ කමක් නැතිව අත දිගහැරලා සල්ලි වියදම් කරන පොඩි මහත්තයා ගැන ඈට ඇතිඋනේ පැහැදීමක්.
මල්ලෙ තිබුනු දේවල් ආපහු ඒ විදිහටම පෙට්ටගමේ තබාපු කුමාරි ඒක ඇඳ යටින් ඒක තියව්වෙ බොහොම පරිස්සමට.
කුමාරි ඔතලා දුන්නු බත් එක උගුරට දෙකට ගිලලා දාපු බන්දු පනදාගෙන හෙව්වෙ බුලත් විට මල්ල කොහෙද කියලා . බත් කාලා වතුර ටික බොනවා වගේ කවදාවත් විට මල්ල අමතක වෙන්නෙ නැති බන්දුගෙ දෙලෝ රත්උනේ විට මල්ල ගේන්න අමතක වෙලා කියලා දැනුනහම. ඉවසගෙන ඉන්න බැරිම තැන බන්දු කල්පනා කලේ ගෙදර ගිහින් විට මල්ල අරගෙන ආවොත් හොඳයි කියලා . වට පිටාවට විදුලි පන්දම අල්ලලා බලපු ඔහු ගෙවල් පැත්තට යන්න පිටත් උනේ පුලුවන් ඉක්මනට ආපහු එන්න කියලා හිතාගෙන.
ගෙදර බාගෙට වහලා තිබුනු කඩුල්ල පැනපු බන්දු කුතුහලයෙන් බලාගෙන හිටියෙ ගේ ඉස්සරහ නවත්තලා තිබුනු මොටෝ බයිසිකලය දිහා. ඒ පොඩි මහත්තයාගේ බයිසිකලය බැව් හඳුනාගන්නට ඔහුට අමාරු නොව්නේ ඒ තරමටම ඔහුට ඒ බයිසිකලය හුරු හින්දා . කරබාගෙනම ගේ ඇතුලට ඇවිත් දොර රෙද්ද මෑත්කරලා කාඹරය ඇතුලට එබුනු බන්දු දැක්කෙ පොඩි මහත්තයාට තුරුල් වෙලා නිදාගෙන ඉන්න කුමාරිව. තත්පර කිහිපයක් ඒ දෙස බලාගෙන ඉඳපු ආපහු හැරී ගියේ බුලත් මල්ල හොයාගන .
පොඩි මහත්තයාගෙ උනුහුම විඳිමින් සිටි කුමාරි ගැස්සිලා ගියේ යම්තමින් වගේ දොර රෙද්ද ගාවින් මෑත්වෙන කාගෙදෝ ජායාවක් දැකලා. ඔහුවත් පසෙකට තල්ලුකර දමා බිම වැටී තිබුනු ගව්මත් පටලවාගෙන කාඹරෙන් එලියට එබුනු ඈ දැක්කෙ බුලත් මල්ල දිගහැර විටක් ඔතන බන්දුව.
" බ..න්..දු "
ඔහු යම්තමින් හිස ඔසවා ඈ දිහා බැලුවා .
" බුලත් මල්ල අමතක උනා. ඒක ඇන්න යන්න ආවා. "
එහෙම කියපු බන්දු එලියට බැහැලා ආපහු කලුවරේ නොපෙනී යද්දී ඈ අසලට කිට්ටු කලේ පොඩි මහත්තයා .
" අපෙ අප්පා...
හොඳ වෙලාවට ඒකා අපිව දැක්කෙ නැත්තෙ . තව ඩින්ගෙන් සේරම කම්මුතුයි .
නේද බං . "
ඔහු හෙලුවෙ සැනසුම් සුසුමක් .
" හ්ම්ම් "
කුමාරි ඈත කලුවර දිහා බලාගෙන කල්පනා කලේ මීට මොහොතකට කලින් දොර රෙද්ද අසලින් තමා දැකපු ජායාව ගැන .
මතු සම්බන්ධයි
