සෝමාරි දෙවන කොටස | Somari Dewana Kotasa


සෝමාරි (02)

කොහුමෝලෙ බූරු ඇඳේ හාන්සි වෙලා හිටපු බන්දුගෙ හිත ඇතුලෙ හොල්මන් කරව්වෙ ටිකකට කලින් ඔහු දැකපු සිද්ධිය ගැන. පොඩි මහත්තයත් එක්ක කුමාරිගෙ මොකක් හරි පටලැවිල්ලක් තියෙනවැයි කියලා බන්දුට තේරුම් ගියේ මීට ටික දොහකට කලින්. එදා කුමාරි නාන්න ගිහින් හිටපු වෙලාවක බන්දු ඇඳ උඩට වෙලා ඉඳගෙන හිටියෙ බුලත් විටක් හදහද. අතේ තිබුනු පුවක් ගෙඩිය බිම වැටිලා රෝල්වෙලා රෝල්වෙලා ගිගින් ඇඳයට නැවතුනහම ඒක අහුලගන්න නැව්නු බන්දුට නිකමට වගේ හිතුනේ කුමාරිත් ගෙදර නැතිඑකේ ඇඳයට තිබුනු පෙට්ටගම ඇරලා බලන්න. ඔහුගේ ඇස් උඩගියේ ඒකෙ තිබුනු සෙන්ට් පව්ඩර් බෝතල් ටික දැක්කහම.
ගේ හරියට උයන්නවත් දෙයක් නැතිව නාහෙන් අඬ අඬා හිටපු මේකිට කොයින්ද මෙව්වා. ඔහුගේ හිතේ මතුඋනු සැකයේ වැඩි බර යෙදවුනේ පොඩි මහත්තයා දිහාට. තිබුනු ලෙසටම ආපහු පෙට්ටගම ඇඳ යටින්ම තියාපු බන්දු ඒ ගැන කිසිවක් කුමාරිගෙන් අහන්න නොගිහින් කරබාගත්තේ උඹට හොඳානම් මට මොකෝ යැයි සෝමාරි වූ සිතුවිල්ලෙන්.

එදා බන්දු දොර රෙද්ද අතරින් තමන් දිහා බලාගෙන ඉඳපු බවනම් කුමාරිට ඒකාන්තයෙන්ම විශ්වාසයි . එහෙම දැක්කත් මේ වනතුරු ඔහු තමන්ගෙන් එක වචනයක්වත් නාහපු එක තමයි ඈට තිබුනු ලොකුම ප්‍රහේලිකාව උනේ.

" අනේ හැබෑට මෙහෙමත් මනුස්සයෙක්. මෙච්චර දෙයක් වෙලත් නොදැක්කා වගේ ඉන්න හැටි . වෙන මිනිහෙක්නම් මාව කම්මුතු කරලා මෙලහකටත්. "

...........

දිනෙන් දින කුමාරිලාගෙ තිබුනු අගහිඟකම් මගහැරී අතමිට සරුවෙන්න ගත්තෙ බන්දුගෙ මුර රක්ෂාවෙන් ලැබෙන පඩියෙන් වගේම සුමානෙකට වතාවක් පොඩි මහත්තයාගෙන් කුමාරිට ලැබෙන සන්තෝසම් කාසි වලින්. අතේ මිටේ මුදල් තිබුනත් බන්දුගෙ පඩිය ලැබෙනකම් කුමාරි බලාගෙන හිටියෙ කඩේ ණය ටික ගෙවලා එන්න. ඔය අතරෙ කුමාරි ඉරිදා පොලට ගියපු වෙලාවෙ අරගත්තු රෙදි වලින් ඉරිලා කිලිටිවෙලා තිබුනු පරන ඇඳ ඇතිරිල්ල විසික්කරලා ඇඳට අලුතින් රෙද්දක් එල්ලා කොට්ට උර මහලා දැම්මෙ තව දුරටත් ඒවයින් ප්‍රයෝජනයක් ගන්න බැරි හින්දා.
"බන්දු අහයිද දන්නෑ කොහ්න්ද මෙව්වා ගන්න සල්ලි කියලා . ඇහැව්වොත් කියනවා පඩි හම්බෙනකං නයට ඉල්ලගත්තා කියලා . "
ඈ එහෙම හිතුවත් ඒව ගැන වචනයක් කතා කරව්වෙ බන්දු නෙවෙයි .


කඩේට ගොඩවැදුණු කුමාරි කෙලින්ම බඩු කිරන කොල්ලා ලඟට ගියේ උපැස් යුවලට යටින් තමන් දිහා කන්න වගේ බලාගෙන ඉන්න මුදලාලි දිහා නොබලම.

" මට සාඩින් ටින් දෙකයි , හාල් සේරු දෙකයි. ......... ...... ....... ...... "
කුමාරි බඩු වට්ටෝරුවක්ම කියාගෙන කියාගෙන යද්දී මුදලාලිට පුටුවෙන් නැගිටුනේ ඉබේටම.

" හෝව්ව්... හෝව්..... ඔහොම හිටපන්.
උඹ ඔය බඩු ඉල්ලන්නෙ කාසි ඇන්න ඇවිල්ලද. "
" මන් උඹට කියලා තියෙනවා ණය ගෙවන් නැතිව මේ පැත්ත පලාතෙ එන්න එපා කියලා . "

මුදලාලිගෙ ඇස්ගෙඩි දෙක උඩගියේ කුමාරි දාහෙ කොල දෙක තුන ඇදලා ගත්තහම . "

" නැති බැරි වෙලාවට බැන බැන හරි දුන්නු එකේ කෙලෙහිගුනේ මිසක්...
අපිටත් වෙන කඩේකට යන්න බැරිව එහෙම මේකටම රිංගනවා නෙවෙයි මුදලාලි . "

බඩු ටිකත් කිහිල්ලෙ ගහගත්තු කුමාරි ගස්සගෙන යනකොට මුදලාලි ඒ දිහා බලාගෙන හිටියෙ පුදුමයෙන් වගේ .

" ඈ බන් කොල්ලො.. බන්දුවාට රක්ෂාව හම්බඋනා විතරයි . මේකිගෙ තියෙන ආඩම්බරේ බලාපල්ලකො. "

.............

කිලිටි වෙච්චි ඇඳුම් කඩමලු දෙක තුනකුත් බාල්දියට ඔබාගත්තු කුමාරි උදෙම්ම නාගන්න කියලා ගියේ හැන්දෑ වෙනකොට නාන ළිඳ ගාව සෙනග පිරෙන හින්දා. ළිඳ ගාවට කිට්ටු වෙනකොට ඈ දැක්කෙ දිය නාන්න ඇවිත් ඉන්න කාන්තිවයි අල්ලපු ගමේ ඇසිලින් නැන්දවයි.
මේ වෙලාවට නාන්න ආවෙ අපරාදෙ කියලා ඈට හිතුනෙ ඈත තියාම තමන් දිහා බලාගෙන කුටු කුටු ගාන කාන්තිව දැක්කහම. දැන් ඉතින් මොනවා කරන්නද. ආපහු හැරිලා යන්නත් බැරිඑකේ කුමාරි ළිඳ ගාවට ආවෙ විගහට නාලා යන්නං කියලා හිතාගෙන .

" ඔය එන්නෙ වන වනා..
අනේ හැබෑට ඉන්නෙනං හරියට නිකං දහයට ගනින්න බැරි උපාසිකාව වගේ . "

අපුල්ලමින් හිටපු රෙදි ටිකත් අතෑරලා ඈත පැමිනෙන කුමාරි දිහා බලාගෙන උන්නු කාන්ති ඇසිලින් නැන්දා දිහාට හැරිලා කෙඳිරුවේ කෝපයෙන් . කොහොමත් මේ මෑතක ඉඳන් කුමාරිත් කාන්තිත් ඉන්නෙ හිත හොඳකින් නෙවෙයි . ඒකට හේතුව පොඩි මහත්තයා . පොල් ගහකින් වැටිලා මිනිහා මැරිච්ච දා ඉඳන් කාන්තිගෙ ඕනෑ එපාකම් හොයලා බැලුවෙ පොඩි මහත්තයා . මීට කලින් හැමදාම රෑට කාන්තිව හොයාගෙන පැමිනි ඔහු දැන් මතක තියෙන කාලෙක ඉඳන් ඒ පැත්තෙ නොඑන්නෙ කුමාරි හන්දා බව කාන්ති දන්නවා. ඒ ගැන ඈ හිටියෙ කුමාරිත් එක්ක කේන්තියෙන් .
කාන්ති දිහා නොබලා කරබාගෙනම ළිඳ ලගට පැමිනි කුමාරි ගව්ම ගලවලා දාලා දිය රෙද්ද ඇඟේ පටලවා ගත්තේ ඇසිලින් දිහා බලලා හීන් හිනාවක් පාලා.

" ඈ බන් කුමාරියෝ උඹ මොකද අද උදෙම්ම මේ පැත්තෙ .. "

" හැන්දෑ වෙනකොට බන්දුට වැඩට යන්න කෑම ටික ඔතලා දෙන්න ඕනනෙ ඇසිලින් නැන්දෙ.
දැම්ම නාගත්තෙ නැත්තං ආයෙ ගෙයින් එලියට බහින්න වෙලාවක් හම්බවෙන්නෙ නෑ. "

කුමාරි කිව්වෙ ළිඳෙන් වතුර පනිට්ටුවක් ගෙන ඇඟේ හලාගනිමින්.

" ඔව් ඉතින් බන්දු වැඩට ගියහම තවත් රාජකාරි නැතැයි කරන්න . "

රෙදි ටික ගලේ ගසමින් උන් කාන්ති කියලා දැම්මෙ ඇඟට පතට නොදැනෙන්න.

" මොකද්ද බන් උඹ ඒ කියපු හරුපෙ.
ආපහු කියාපං බලන්න. "

උඩට ගත්තු වතුර පනිට්ටුව අතේ තියාගෙනම කුමාරි කාන්ති දිහා බලාගෙන කීවේ ඈ කියපු කතාවට.

" මම කියව්වෙ මොකද්ද කියලා උඹට ඇහෙන්න ඇතිනෙ.
මිනිහා වැඩට ගියහම පොඩි මහත්තයත් එක්ක නටන නාඩගම් අපි දන්නෙ නැහැයි කියලද උඹේ හිතේ. "

" ඇයි... උඹට ඉරිසියාවද.....
පොඩි මහත්තයා උඹේ ලඟට නොයා මං ගාවට ආවට මම මක් කරන්නද. "

" අපෝ... මට ඇති ඉරිසියාවක්නං නෑ බොල.
මන් කණවැන්දුම් වෙච්චි එකී.
ඒත් මිනිහෙකුත් ඉන්නැද්දි උඹ ඔය කොරන වැඩේ හරිද මං අහන්නෙ.
මට දුක අර අහිංසක බන්දු ගැන."

" ඇයි යකෝ....
බුදියගත්තෙ අපි දෙන්නනං , මගේ මිනිහටත් ඒකෙ වගක් නැත්තං මොකද්ද උඹලට තියෙන රුදාව ...
අනේ මේ උඹ උඹේ වැඩක් බලාගෙන පලයන් කාන්ති යන්න මගෙන් කුණු හරුප අහගන්නෙ නැතිව . "

" මොකද්ද යකෝ තෝ කිව්වෙ "
අතේ තිබුනු රෙදි ටිකත් විසිකරපු කාන්ති කුමාරි වෙත දිවආවේ කේන්තියෙන් දත් විලිස්සගෙන .

" හා ..හා .. ඇති ඇති දැන් ඕක නවත්තපල්ලා.... "

කෙහෙවලු පටලවාගන්න ඔන්න මෙන්න කියා හිටපු කුමාරිත් කාන්තිත් මැද්දට පැනපු ඇසිලින් කෑගැහුවේ දෙන්නම දෙපැත්තට ඇදලා දමමින්.

..............

හැමදාම හවසට කෑමට කලින් පොඩි මහත්තයාගෙන් ලැබෙන පොල් අරක්කු වීඳුරුවෙන් සප්පායම් වෙලා බඩ පිරෙන්න බත් ටික ගිලදාලා කොහුමෝලෙ බූරුඇඳ උඩ බන්දු නිදිසුව විඳිද්දී කුමාරි හැමදාම රෑට පෙම් සුව වින්දේ පොඩි මහත්තයත් එක්ක. රකින්නට තරම් දෙයක් නොමැති කොහුමෝලෙ කටත් ඇරගෙන උදේ වෙනකම් බුදියගන්නා බන්දු ගෙදර යන්නෙ එලිය වැටුනායිනුත් පස්සෙ.
කාලය ටිකෙන් ටික ගතවී යද්දී කුමාරිට දරුවෙක් ලැබෙන්න ගත්තේ ඔය අතර තුර. කුමාරි දරුවෙක් ගැන ආශාවෙන් හිටියෙ සෑහෙන කාලෙක ඉඳන් උනත් හදිස්සියේම මේ සිද්ධ වෙච්චි දෙයින් ඇගේ හිතේ ඇතිඋනේ මහත් කැලඹීමක්. දින දෙක තුනක්ම මේ ගැන කාටවත්ම නොකියා තනියම කල්පනා කරපු ඈ ඒ ගැන මුලින්ම කිව්වෙ පොඩි මහත්තයාට.

මතු සම්බන්ධයි .


Comments System WIDGET PACK