සෝමාරි අවසාන කොටස | Somari 03 Kotasa


සෝමාරි (03)

" ඇති යාංතං ..... "

" මෙච්චර දවසක් මම මේ බයේ හිටියෙ මගේ පන නැහෙන්න කලින් දරු මුනුබුරෙක්ගෙ මූන බලාගන්න බැරිවෙයි කියලා . "

ගෙදරින් හදාගෙන ආපු කොන්ඩ කැව්ම් පෙට්ටිය කුමාරි අතට දුන්නු සිරියාවතී පිල්කඩ උඩම ඇන තියාගත්තෙ ඇඳගෙන සිටි සාරි පොටෙන් මුහුන දිගේ බේරෙන දහඩිය ටික පිහදා ගනිමින්.

" ඔය වතුර ඩිංගක් නවලා ගනින් කුමාරි .
දිව ගිලෙන්න තරම් පිපාසෙ. "

කුමාරි ගෙනවිත් දුන්නු වතුර වීඳුරුව එක හුස්මට බීගෙන ගියපු ඈ කුමාරි දිහා බැලුවෙ බොහොම විමසිලි විදිහට . ඉන්පස්සේ ඈ හැරුනෙ බන්දු දිහාට .

" බන්දු පුතේ .....
දැන් ඉතින් උඹට රක්ෂාවකුත් තියෙන එකේ ඔය කෑම බීම එහෙම ටිකක් වැඩිපුර ගේ ඇතුලෙ ගෙනත් තියාගත්තට වරදක් නෑ .
මේ කාලෙදි කාපු බීපු දෙයක් තමයි ඉතින්. "

සිරියාවතී කිව්වෙ කේඩෑරි වෙච්චි කුමාරිගේ ශරීරය දිහා බලාගෙන .

" උඹලා නොදන්නවා උනාට උඹලට දරු පැටියෙක් ලැබෙන්න කියලා දේවාල කීයකට මම ගිහින් බාරහාර වෙලා ඇද්ද ...
ඒවයෙ අනුහස් තමා.. ඔය .. "

" හා.. හා.. ඔය.... දැන් ඉතින් ඉස්සර වගේ නෙවෙයි....
ටිකක් පරෙස්සමින් වැඩ කරන්න පුරුදු වෙයන්.
සිරියාවතී කෑ ගැහුවෙ ඇගෙ අතේ තිබුනු හිස් වතුර වීඳුරුව රැගෙන අඩියට දෙකට ගෙට දුවපු කුමාරිට.
ගේ ඇතුලට ගියපු කුමාරිට මතක් උනේ දැන් මෙහෙම කතාකලාට ඒදවස්වල බන්දුගෙ අම්මා දරුවෙක් නැහැයි කියලා තමන්ට කරපු වෙනස්කම් ගැන.

" ගුනපාලයා ආපු වෙලාවක ඒකට කියලා මේ අඹගහ කපලා දාන්න ඕන. "

දිනක් මිදුලෙ තිබුනු රටඅඹ ගහ දිහා බලාගෙන සීලවතී කිව්වෙ ඒ ලඟ හිටපු කුමාරිටත් ඇහෙන්නම.

" ඒ මොකෝ අම්මෙ .. මේ ගහ කපලා දාන්නෙ අපරාදෙනෙ .. "

" ගහක් උනත් ගෙඩියක් හදන්න බැරි වඳ ගහක්නම් ඒ ගහෙන් ඇති වැඩක් තියෙනවද බං...
ගෙදරත් එක්ක මුස්පේන්තු වෙනවා මිසක්. "

ඈ ඇනුම්පද කියන්නෙ තමන්ට බැව් තේරුම්ගත් කුමාරිගේ ඇස් දෙකට කඳුලු ඉනුවෙ හිතේ ඇතිවෙච්චි දුකට. ඈ දැන් සෑහෙන දවසක ඉඳන් තමන්ට වෙනස්කම් කරන්නෙ දරුවෙක් නැතිනිසා කියලා කුමාරිටත් නොතේරුනාම නෙවෙයි . එදා ගෙදර ඇවිදිනුත් රෑ වෙනකම්ම කුමාරි කල්පනා කරව්වෙ බන්දුගෙ අම්මා හවස කියපු කතාව ගැන. හැමෝම ඇනුම්පද කියන්නෙ තමන්ට. කෑවද බීවද කියලා බලන්න එකෙක් නෑ. හැමෝටම පේන්නෙ මගෙ වැරදි විතරයි . ඇඳෙන් බිමට බැහැපු කුමාරි බන්දු හොයාගන ගියේ කේන්තියෙන්. ඈ යනකොටත් ඔහු හිටියෙ බූරු ඇඳේ ගොර ඇදඇද නිදාගෙන .

" ඔහොම නිදාගෙන හිටියම සේරම හරියනවද .
එක එකාලගෙන් ඇනුම්පද අහන්න ඕනෙ ඔහේ නෙවෙයි මමනෙ. "

තද නින්දේ හිටපු බන්දු උඩ වීසිවී ගොස් ඇහැරුනේ කුමාරිගේ බෙරිහන් දීමට .

..............

බන්දුත් හවස වැඩට ගියාට පස්සෙ කරන්න වැඩකුත් නැතිව ඔහේ පාරදිහා බලාගෙන ඉඳපු කුමාරිගෙ හිතට දැනුනෙ සාංකාවක්. වෙනදටනං මේ වෙලාවට පොඩි මහත්තයා එන්නෙ බරටම උස්සගෙන . ඒත් දැන් දවස් කීපයක ඉඳන් කුමාරිට දැනුනෙ ඔහු තමන්ව මගහරින්න හදන බවක්. තමන්ට දරුවෙක් ලැබෙන්න ඉන්න කතාව කිව්වත් හරි පොඩි මහත්තයාව ඇහැටවත් දැක්කෙ කුමාරි නෙවෙයි . මේ පැත්තෙ ආවෙ නැතුවට පොඩි මහත්තයාට යන්න තැන්ද නැත්තෙ. මෙලහකටත් ඔය කොහේහරි ගුබ්බෑයමකට රින්ගගෙන ඇති.

" පිරිමි සේරම ඒකයි. "
ඇයට ඇතිඋනේ කලකිරීමක් .

කොහුමෝලෙ කැරකෙන දැති රෝදෙ දිහා පොඩි මහත්තයා බලාගෙන හිටියෙ හිස් බැල්මෙන්.

" ක්‍රාස් ... ක්‍රාස් ..."

කැරකැවෙන රව්මක් රව්මක් ගානේ මලකඩ කාපු රෝදවලින් නැගෙන්නේ මලානික හඬක්.
ග්‍රීස් ටිකක් ගාලා අලුත් වැඩියා කරලා දැම්මනං හොඳයි කියලා ඔහු හිතන් ඉන්නෙ සෑහෙන දවසක ඉඳන් උනත් විටෙක ඔහුට හිතෙන්නෙ මේ හැමදෙයක්ම විකුනලා දාලා ගමේ ගියොත් හොඳයි කියලා. ඊයෙ පේරේදත් ගෙදරින් ලියුම් කඩදහියක් එවලා තිබුනෙ අම්මට අසනීපයි කියලා . දැන් දැන් අම්මත් නිතරම වගේ අසනීප වෙන එකේ ගෙදරින් නිතරම බල කරන්නෙ ලොකු මාමගෙ දුව අනුලව ගෙදර එක්කං එන්න කියලා . පව් . ඒකිත් වෙන දීගයක් යන්නෙනැතුව මං මත්තෙම නැහීගෙන ඉන්නෙ දැන් කොච්චර කාලෙක ඉඳන්ද. ඒත් මැදිවයසත් ආසන්නයේ ඉන්න මට දැන් මොන කසාදද.
කවදාකවත් නැති විදිහට ඔහුට මේ දේවල් මතක්වෙන්න ගත්ක්තෙ කුමාරිට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තම. ඒක අහපු වෙලේ ඉඳන් ඔහුගේ හිත දෙගිඩියාවට පත්උනේ දරුවා කාගෙද කියනවාටත් වඩා මේ දේවල් කොහ්න් කෙලවරක් වෙයිද කියලා කියලා හිතට දැනුනු බයට. කුමාරිගෙයි බන්දුගෙයි පව්ල් ජීවිතේ විනාශවෙනවා දකින්නට පොඩි මහත්තයා කැමති උනේ නෑ. කවදාකහරි මේ දේවල් හන්දා කුමාරිට දරු පැටියෙකුත් එක්ක තනිවෙන්න සිද්ධඋනොත්. ඒ නිසාම අකමැත්තෙන් උනත් ඔහු කල්පනා කලේ කුමාරිව මුනගැහෙන්න යන එක අඩුකලොත් හොඳයි කියලා .

.................

පොඩි මහත්තයා කොහුමෝල විකුනලා දාන්න යනවා කියලා දැනගත්තදා ඉඳන් කුමාරි හිටියෙ විශ්ශෝපයෙන් වගේ. කුමාරිටත් දරුවා ලැබෙන්න ඔන්න මෙන්න. බන්දුගේ රක්ෂාව නැති උනහම කන්නෙ බොන්නෙ කොහොමද . ඇගේ හිත කීරි ගැහිලා ගියේ ඔව්න්ගේ පරන ජීවිතේ මතක්වෙලා . පොඩි මහත්තයා හම්බවෙලා මෝල විකුනන්න එපා කියලා ඉල්ලන්න ඈට හිතුනෙ වරක් දෙවරක් නොවේ. ඒත් එහෙම ඉල්ලන්න තියා ඔහුව දැකපු කාලයක් ඈට මතක නෑ. වෙනදා වගේම දැනුත් පොඩි මහත්තයා කුමාරිලාගෙ ගෙදර ආවා ගියානං ඈ කීයටවත් මෝල විකුනන්න ඉඩදෙන්නේ නෑ. ඒත් මේ හැමදෙයක්ම දීලා ඒවා ආපහු උදුරගන්න හදන්නෙ මොනතරම් නම් කුරිරු විදිහටද.


තවත් දින කීපයකින් පොඩි මුදලාලිට අයත් කොහු මෝල පිහිටි ඉඩම සින්නක්කරවම විකුනලා දැම්මෙ අගනුවර පිහිටි වැවිලි සමාගමකට. එයින් පසු එහි රැකියා කල ගමේ අනික් අයට වගේම බන්දුටද තම රැකියා අහිමිව යද්දී වෙන රැකියාවක් කරන්නට නොදන්නා ඔහුට සිද්ධඋනේ ආපහු ගෙදරට වෙලා ඔහේ බලාගෙන ඉන්න.

හාල් ගෝනියේ තිබුනු හාල්ටික මැනලා බලපු කුමාරිට තේරුනේ තව සුමානෙකට විතර යන්තං පිරිමහගන්න ඒ ටික ඇතිවෙයි කියලා . මේ ටිකත් ඉවර උනහම මොනවා කරන්නද මන්දා. ඈට හීල්ලුනේ කඩේ මුදලාලි ගාවට ගිහින් ණයට බඩු ඉල්ලලා ආපහු පින්සෙන්ඩු වෙනහැටි මතක් උනහම. කලින් දවසක පොඩි මහත්තයා දීපු සල්ලි වලින් සුලු ගානක් කුමාරි වියදම් නොකර හන්ගගෙන තියාගෙන ඉන්නෙ දරුවා හම්බඋනාට පස්සෙ ඕනවෙන හන්දා. දිගු සුසුමක් හෙලූ ඈ අමාරුවෙන් නැගිටගත්තේ කොන්දට අත් දෙකත් තියාගෙනම. හාල් ගෝනිය පැත්තකින් තියලා ආපහු හැරුනු ඈ තුෂ්නිම්භූත උනේ දොර ගාව හිටගෙන ඉන්න පොඩි මහත්තයා දැක්කහම .

" පො.. ඩි.. මහත්තයා ... ? "

ඔහු අසල තිබුනු පුටුවක් ඇද ඉඳගත්තෙ තමන් දිහා එක එල්ලේ බලාගෙන ඉන්න කුමාරිගේ ඇස් දෙක දිහා බලාගෙන ඉන්නට බැරිව.

" කෝ .. බන්දු ... "

ඊට පිලිතුරක් දෙන්නට උත්සාහ නොකල කුමාරි දොර ලඟට ගිහින් උලුවස්සට හේත්තුඋනේ මිදුල දිහා බලාගෙන .

" ඇයි මෝල වික්කෙ... "
ඈ ඇහුවෙ හැඬුම්බර හඬින්.

" මට වෙන කරන්න දෙයක් නෑ බන්..
අපේ අම්මටත් දැන් හොඳටම වයසයි.
නිතර නිතර අසනීපවෙනවා....

ඒ අස්සෙ ගෙදරින් මට කසාදයක් කතාකරලා.
මටත් හැමදාම මේ විදිහට ඉන්න බෑනෙ බන්..
ඒකයි මම මේ හැමදෙයක්ම විකුනලා දාලා ආපහු ගාලු යන්න තීරණය කලේ. "

" මොනව උනත් අන්තිමට අසරණ උනේ මගේ බඩේ ඉන්න දරු පැටියා. "

කම්බුල් දිගේ ගලාගෙන ගියපු කඳුලු බිඳු කීපය පිටිඅල්ලෙන් පිහදාන කුමාරි දිහා පොඩි මහත්තයා බලාගෙන හිටියෙ මහත් ශෝකයෙන් . පුටුවෙන් නැගීසිටි ඔහු කිට්ටුඋනේ කුමාරි ලඟට .

" මේන් මේ සල්ලි ටික තියාගනිං. "

සාක්කුවේ දමාගෙන හිටපු කවරයක් අතට ගත්තු ඔහු එය දිග්කලේ ඈ දිහාට .

" මෙතන් ලක්ෂ දෙකක් තියෙනවා .
මෝල විකුනපු සල්ලි වලින් මම උඹට දෙන්න අයින්කලේ.

මේ සල්ලි වලින් උඹලට පුලුවන් පුන්චි කඩ කෑල්ලක් දාගන්න.
මෙතන හොඳ ඉඩම් කෑල්ල. කඩයක් දාගන්න කියාපු තැන.
කඩේට ඕන කරන බඩු ටිකත් මම අරගෙන දෙන්නං. "

ඔහු කුමාරිගේ දෑත ගෙන මුදල් ටික මිට මොලවද්දී ඈ එය අත් දෙකට ගුලිකරගත්තේ වෙව්ලන හදවතින්.

" දරුවා හම්බඋනහම මට ලියුම් කඩදහියක් ලියල එවාපං. ..
උඹ බයවෙන්න එපා. ඒකගෙ හැම වියදමක්ම මන් බලාගන්නම්. "


............
( වසරකට පසු )

" මට ඔය පාන් රාත්තලක් දීපන් නංගී. "

හැන්දෑ වෙන්න කලින් බැංකුවට දාන්න තිබුනු බිල් වගයක මුදල් ගනිමින් හිටපු කුමාරි ඔලුව උස්සලා බැලුවෙ පාර දිහා.

" පාන්නං උදේ දාපුවා අක්කේ. තව ටිකක් වෙලා ඔහොම ඉන්න පුලුවන්නං පාන් ගෙඩියක් අරගෙනම යන්න ඇහැකි.
පාන් කාරයා දැන් මග එනවත් ඇති මගෙ හිතේ. "

රූපිකා එලියෙ බංකුව උඩ ඉඳගත්තෙ ගෙදර ගියත් කරන්න වැඩකුත් නැතිඑකේ ට්ක වෙලාවක් ඉඳලා හරි පාන් ගෙඩියක් අරගෙනම ගියොත් හොඳයි කියලා .

" කෝ බන් කොල්ලා. "

" ඕන් ඔය බන්දුත් එක්ක කොහේහරි ඇති අක්කෙ..
එයාටත් ආයෙ ඉතින් කොල්ලගෙන් තොර ලෝකයක් තියෙනවා ඇයි.. "

ඒත් එක්කම දරුවත් කරේ තියාගෙන කඩේට ගොඩඋනේ බන්දු.

" ආ ...මේ එන්නෙ කියනකොටම...
අනේ.... ඇරපු අතක් නෑ බන්දු මලයා වාගෙමයි.....
සීදේවි කොලු පැටියා....

බන්දුගෙ කරේ හිටපු දරුවව තම දෑතට ගත් රූපිකා කිව්වෙ මහත් ආදරයෙන් දරුවව තුරුල් කර ගනිමින්.

නිමි.


Comments System WIDGET PACK