සොදුරු අතීතයෙ නිර්මල පැතුමයි ණුඹ | Soduru Athithaye Nirmala Pathumayi Nuba
කර්තෘ අයිතිය සුරකින්න
🍀🍀🍀🍀🍀🍀
යාළුවනේ මුලින්ම කියන්න ඕනි මේ කතාව මම මුලින්ම ලියපු කතාව. ඒ වගේම අවසානය දක්වා කියවන්න කියලා ඉල්ලා සිටිනව. පුංචි අභියෝගයක් කරන්න කැමතී. පුළුවන්නම් අඩන්නෙ නැතුව කියවන්න.
🍀🍀🍀🍀🍀🍀
අම්මා අදවගේ දවසක් උදාකරගන්න
අපි කොච්චර ගේමක් දුන්නද නේද? නැත්නම් හැමදාමවගේ හැමෝම තම තමන්ගෙ වැඩ. අයියයි තාත්තයි ඔෆිස්, මම ඉස්කෝලෙ යනව අම්ම බත් තම්බනවා.
හරි ලමයො දැන් ට්‍රිප් එකක් ආවනෙ. දැන් විනෝද වෙන්න.
විනෝදවෙන්න. හපෝ නුවරඑලියෙවත් ගියානම් හරි. මේ මෝඩය අපිව අනුරාධපුරේ අරන් ආවනේ. ආපු වෙලාවෙ ඉදන් වැදගෙන ඉන්න තියෙන්නෙ.
චූටි අපි වන්දනාගමනක් යන්නෙ. කට වරද්දන්න එපා.
අම්මාගේ වචනයෙන්ම නංගිගෙ කට වැහුන.
මොකද තමුසෙ බලන්නෙ බස්සෝ.ඉස්සරහ බලගෙන වාහනේ එලවනව.
අම්මයි දුවයි දෙන්නම එකයි නේද අප්පචිචි.
ඒකනෙ පුතේ. දෙන්නට දෙන්න ඇතුවත් බෑ නැතුවත් බෑ.
මම පසන් සේනානායක. ව්‍යාපාරික පියාගෙ එකම පුතා. ව්‍යාපාරවලට හිරවෙලාම හිටපු අපිට මානසික සහනයක් ලැබෙන්න නිසයි ට්‍රිප් එකක් එන්න හිතුවෙ. ඒකට මගේ කටකාර නංගිගෙ පෙරෙත්තත් බලපෑව.
එයා නුවරඑලියෙ යමු කිව්වට මටනම් ඕනිඋනේ අනුරාධපුරේ යන්න. මොකද මම ආසයි අපේ රටේ ආගමික ස්ථාන ගැන අද්‍යනය කරන්න. ඉතිහාසය ගැන මට ලොකු උනන්දුවක් තිබ්බෙ.
ගිය ආත්මෙ මැරිච්ච රජෙක්ද කොහෙද අම්මේ.
මෝඩි යනව යන්න. මම තරහෙ
න් එහෙම කිව්වත්. ගියආත්මෙ කියන වචනෙ ඇහෙද්දි අමුතු හැගීමක් දැනෙනව.
පැය ගානක් වාහනේ පදවපු හින්ද ගොඩක් මහන්සියි. පොඩි විවේකයක් ගන්නත් එක්ක පුංචි වැවක් ලග වාහනේ නතරකලේ. වැව් තාවුල්ල දිගේ ඇවිදන් ගිහින් වැව්ට බැහැල මූණ කට සෝදන් වැවදිහා බලද්දි එයාව දැක්කෙ.
සුදු නෙළුම් පොකුරක් අතේ දරන් ඔරුවෙ නැගල එන ඔයාව දැක්කම මට දැනුනෙ හුරුපුරුදු බවක්. සත්තයි මගෙ හිත මොහොතකට ගල් උනා.
සුන්දර ගැමි යුවතියන් ගැන අහල තිබුනට එහෙම අය ඇත්තටම ඉන්නව කියල අද තමයි දන්නෙ. ඉනෙන් පහලට වඩා දිග කඩාහැලෙන කොන්ඩෙ, මල්p ඉහිරුණු රතු ගවුම, තලෙලු සම එයාගෙ ලස්සන තවත් වැඩිකලා.මගේ හිතේ අමුතු හැගීමක් දැනෙමින් තිබ්බ.
ඔරුවෙන් බැහැල ඉක්මන් ගමනින් යන එයා ලගට ගියේ ටිකක් කතා කරන්න හිතන්. මගෙ දිහා සැක සහිත බැල්මක් හෙලපු එයා නතර උනා.
නංගී මටත් මල් ටිකක් දෙනවද. මම සල්ලි දෙන්නම්.
මේ මල් විකුණන්න නෙවෙයි මහත්තය. ගෙදර පූජා කරන්න. කමක් නෑ මහත්තත් ටිකක් ගන්න. සල්ලි එපා. හීනි හඩින් කියපු ඇය මල් ටිකක් මගේ අතට දුන්නා.
මල්ටික ගන්න ගමන් හෙමින්l සීරුවේ එයාගෙ අත ඇල්ලුවෙ වැරදි අදහසකින් නෙවෙයි. ඒත් ඒ ස්පර්ෂයත් එක්ක විදුලි සැරයක් වැදුනා වගේ වේදනාවක් එක්ක තදබල හිසරදයක් දැනෙන්න ගත්ත. ඇයටත් ඒ අපහසුතාවයම දැනුන කියල තේරුනේ හිසට අත තියාගද්දී. සිද්ද උනු ඒ හැමදේම පෙනුණේ හරියට චිත්‍රපටයක් වගේ. අපේ ගිය ආත්මෙ ඒ තරම් වේදනාත්මකද.
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀l
අප්පුහාමි වෙද පරම්පරාවෙන් පැවතගෙන ආපු මමත් අප්පච්චිත් ගමේ ජීවත් උනේ ගොඩක් නම්බුකාර විදිහට. නමුත් මිනිස්සු අපිට ගරුකලේ බයට නෙවෙයි. අප්පච්චි ගාව තිබ්බ මනුස්සකමට.
අප්පච්චිට උන්දැගෙ සිංහල වෙද සාස්තරෙයි, මන්තර ගුරුකමෙනුයි ඕනෑම අමාරු ලෙඩෙක් සුවපත් කරන්න තිබ්බෙ පුදුම හැකියාවක්. ජීවිත කාලයටම තුන් හතර දෙනෙක් හැරෙන්නට උන්දැ ඉහේ කෙස්ගානට රෝගීන් සුවපත් කලේ මුදල්, තෑගිබෝග බලාපොරොත්තුවෙන් නෙවෙයි.
මමත් ඒ කාලෙ වෙද්දි අප්පච්චිගෙ සාස්තරේ ඉගෙනගන්න ගමන් හිටියෙ. මගේ නම උපුල් උනත් ගමේ හැමෝම කතාකලේ පොඩි මහත්තය කියලා. ඒත් මම අප්පච්චිට වඩා වෙනස් චරිතයක්. මට උපතින්ම පිහිටල තිබ්බ කුකුළු කේන්තිය නිසා ගමේ උන් එක්ක රණ්ඩු සරුවල් උන වාර අනන්තයි. ඒ හැම වතාවෙම මට ජය ලැබුනෙ ගමේ උන් අප්පච්චිට තියන ගරුත්වයට මිසක් මට තිබුන බයට නෙවෙයි.
කිසිම අරමුණක් නැතිව ගෙවෙන මගේ ජීවිතේට උබ ආවෙ හරි පුදුම විදිහට සුදුනෝනෙ. අප්සරා කිව්වොත් මුලු ගමම දන්නා උඹ මුළු ගමටම හිටිය ලස්සනම කෙල්ල කියන්න පුලුවන්.
උඹේ ලස්සනට වහ වැටුනත් උබට ලංවෙන්න ගමේ කොල්ලො කුරුට්ටො බයවුනේ උපතින්ම පිහිටල තිබ්බ සැර කට නිසයි. සත්‍තකින්ම උබ තරම් සැර කෙල්ලෙක් මම ජීවිතේට දැකල නෑ.
ගොඩක් ආදරකතා බැල්මකින්, හිතවත්කමකින් වගේම සිපගැනීමකින් ආරම්භ උනත් අපේ ආදරය පටන්ගත්තෙ වෛරයකින්.
වෙනද වගේම ඇළට නාන්න යද්දි උඹ මල්ලිත් එක්ක ඇවිත් රෙදි හෝදනව.
ආ.... අප්සරා රෙදි හෝදනව වගේ.
ඔව්
මගෙ සරමත් හෝදල දෙන්න බැරිද කෙල්ලෙ.
මම කියපු දේ නෑහුනා වගේ උඹ උඹේ වැඩ. ඒ අතර මල්ලිත් එක්ක මොනවාදෝ රහසින් කියල මට සරදමට හිනාඋනා.
කියන දෙයක් ඇහෙන්න කියපන්. කුටු කුටු ගාන්නෙ නැතුව.
ඒව ගෑනුන්ගෙ කතා.
එතකොට උඹේ මල්ලි ගෑණු නැකතකින් ඉපදිච්ච එකෙක්ද.
මේ පොඩි මහත්තය ඇළට ආවනම් නාගෙන යන්න. ගෑණුන්ගෙ කතාවලට හොට දාන්නෙ නැතුව.
අප්සරා උඹ ඕනවට වැඩියි. දැනගනින් මම දිසානායක මහත්තයගෙ පුතා.
අප්පේ දන්නව දන්නව ඒකයි මටත් තියන සැකේ. උන්දැගෙම පුතාද කියලා. කවුද දන්නෙ ලමය මාරු වුනාද කියලා.
මගෙ යකා අවුස්සන්න එපා උඹ.
මේ උපුල් මම ගමේ අනිත් උන් වගේ ඔහේට බයනෑ. අනික එක එකාගෙ සරම් හෝදන්න මම ආවෙ නෑ.
මම තිගැස්සුනේ පලවෙනි වතාවට ගමේ එකෙක් මට නම කියල කතා කරපු නිසයි. මගේ කේන්තිය ඇවිස්සෙන්න වැඩිවෙලාවක් ගියේ නෑ.
වතුරට පැනපු ගමන් දිය දෝතක් අරන් උඹව තෙමෙන්න ගැහුවෙ හිතේ තරහට. නමුත් උඹෙන් ඒකට ලැබුණෙ නොහිතපු ප්‍රතිචාරයක්. උඹ බාල්දියේ තිබුන සබන් වතුර ටිකෙන් ගැහුවෙ මාව සබන් පෙණවලින් නාවමින්. එතැනින් නොනැවතුන උඹ හඩනගා හිනාඋනා.
මගේ කේන්තියේ රතු කට්ට පනින්න වැඩිවෙලා ගියේ නෑ. එක පිම්මෙන් ගොඩ ආපු මම වැලි අහුරක් අරන් එතෙක් ඉගෙනගෙන තිබුනු බල්ගතුම මන්ත්‍රයක් මතුරලා උඹ දිහාට ඉස්සෙ ඉගෙනගත්තු සාස්තරේ සත්ත බලන්නත් එක්ක. උඹ ඒ බන්දනේට අහුවුනා.
හෙමින් සීරුවේ වතුරට බැහැල කරවටක් වතුරේ නතර උනු උඹ නොකඩවා දිය යට යනව උඩ එනව. මට දැනුනේ ලොකු ආඩම්බරයක්. බයෙන් බලන් ඉන්න උඹේ මල්ලිට සරදම් හිනාවක් පානගමන් මම ගෙදර එන්න පිටත් උනා.
ගෙට ගොඩවෙනවාත් එක්කම අප්පච්ච් මගේ බෙල්ලෙන් අල්ලගත්තා.
අප්පච්චී ඇ...යි...මේ.
තෝ මට අප්පච්චි කියන්න එපා කාලකණ්නියා. තෝ හිතනවද ඒ කලේ හරිවැඩක් කියල. ඒ කෙල්ලෙක් බොල. උඹ ඒකිගෙ නම්බුව කෑව. මුලු ගමම එතනලු. ඒකි කොහොමද ගමට මුහුණදෙන්නෙ.
ඒකි කිව්ව මම අප්පච්චිගෙ ලමයෙක් නෙවෙයි කියල. ඒකයි මම එහෙ...ම
දැන් මටත් සැකයි ඒක. අපේ එකෙක්නම් මේ වගේ අපේ නම්බුව නැති වෙන වැඩ කරන්නෑ. මම සාස්තරේ උගන්නද්දිම කියල තියනවා මේව තියෙන්නෙ කරන්නම නෙවෙයි දැනගන්න. ඉවසීම නැති එවුන්ට මේව යාදෙන්නෑ. උඹට දඩුවමක් දෙන්න ඕනි. පුතා උනත්.
අනේ අප්පච්චි මට සමාවෙන්න.
අතට යමක් මතුරපු අප්පච්චි මට වේගවත් කම්මුල් පාරක් ගැහුවෙ අතපය වාරුනැතිව ඇදවට්ටමින්. ඒ මොහොතේ ඉදන් මම අතපය වකුටු උන කොරෙක් උනා.
සියදෝරිස් අන්න අරූව කාමරේට ගිහින් දාපන්. මිනිස්සුන්ට වින කරනවනම් ඕක කොරෙක් විදිහටම හිටපුදෙන්. මම යනව අර කෙලීව බලන්න.
හොදමයි අපේ මහත්තය.
ඒ මොහොතෙ පටන් මට පසුතැවීමක් දැනෙන්නට උනා. මං කලේ බරපතල වරදක්. කාමරේ ඇදමත වැටිල හිටියත් මගෙ හිත තිබුනෙම අප්සරා ලග. උඹට කරදරයක් වෙන්න එපා කියල ම දස අහස්වාරයක් ප්‍රාර්ථනා කලා.
හවස අප්පච්චිගෙ කතාවෙන් තේරුනා උඹට සහලෝල උණලු. නැතිවෙයිද පැය හතරකටත් වඩා වතුරෙනේ. මට උඹෙන් සමාවගන්න ඕනිඋනත් දැන් මම කොරෙක් වෙලා. ලැබුණු දඩුවම සතුටින් වින්දෙ මට මෙහෙම වෙලා මදි කියල හිතලා.
හරියටම දවස් පහක් මම එහෙම හිටිය වැඩට ඉන්න සියදෝරිස් කැව්ව පෙව්ව. අප්පච්චිනම් ඇහැක් ඇරල බැලුවෙ නෑ. පස්වෙනි දවසෙ හවස උඹ ආව උඹලෑ අප්පච්චි එක්ක අපේ ගෙදරට. උඹට මේක ආරන්චි වෙලාවගේ.
කෙල්ලෙ දැන් සනීපද උඹට.
ඔව් මහත්තය.
මට උඹලෑ මූණ බලන්නත් ලැජ්ජයි. මට සමාවෙයල්ල. අපේ එකා කරපු අසමජ්ජාති වැඩේ නිසා උඹට ලැජ්ජ වෙන්න උනාට.
අනේ ඒකට කමක් නෑ මහත්තයෝ. මිනිස්සුන්ගෙ අතින්නෙ වැරදි වෙන්නෙ.
ගමේ එවුන් උඹට මොනාහරි කීවොත් මටකියපන් කෙල්ලේ.
අපේ මහත්තය මේ.... පොඩි මහත්තය. බොහෝ වේලාවක් ගතඋනාට පස්සෙ උඹ හඩ අවදිකලා.
මතක්කරන්න එපා. ඌට මම මතක හිටින්න දඩුවමක් දීල තියෙන්නෙ. ඔය දපල ඉන්නෙ.
ආරංචි උනා. මේ මට පොඩ්ඩක් බලන්න.
හ්ම් ආවනං. ඕන් ඉන්නෙ.
අතපය වාරුනැතිව වකුටුවෙලා ඉන්න මංදිහා උඹ බලන්න ඕනි වෛරයකින්, සරදමකින් උනත් උඹේ මූණෙ තිබ්බෙ දුකක් වගේම අනුකම්පාවක්.
උඹේ ඇස්වලට කදුළු පිරෙන්න වැඩිවෙලා ගියේ නෑ. ඒ මොහොතෙම උඹ අප්පච්චිගෙ දෙපාමුල වැදවැටුනෙ මං වෙනුවෙන්.
අනේ, ලොකු මහත්තයෝ දැන් ඇති. පව්. උපුල් මහත්තයට සමාව දෙන්න. මගෙත් වරද. මමත් ඕනිවට වඩා කියෙව්ව.අනේ සමාවදෙන්න ලොකු මහත්තයෝ.
හ්ම් නැගිටපන් කෙල්ලෙ. උඹ කියනවට කරනව මිසක් මම මූව හොද කරන්නෑ. මම හවහට හොද කරන්නම්.
මට උඹ ගැන ඇතිවුනේ ලොකු ගරුත්වයක් අප්සරා.මම උඹට මෙච්චර අවනම්බුවක් කරලත් උඹ මට අනුකම්පා කරනව. මට මංගැනම ඇතිවුනේ ලැජ්ජාවක්.
මට උඹගැන අමුතු හැගීමක් දැනෙන්න ගත්ත අප්සරා. සමහරවිට ඒ ආදරේ වෙන්න ඇති. එදා හවස් ජාමෙ වෙද්දි අප්පච්චි මාව සනීපකලත් වචනයක්වත් කතා කලේ නෑ.
මේ සිදුවීමෙන් පස්සෙ මම ගොඩක් තැන්පත් චරිතයක් බවට පත්උනා. අරමුණක් නැතිව ජීවත් උන මට ජීවත්වෙන්න අරමුණක් ලැබුනා. ඔව් ඒ උඹ නිසයි අප්සරා. මම උඹේ ගෙදර ගියේ මගෙන් උන වැරැද්දට සමාවගන්න හිතන්ද, නැත්නම් වෙන හේතුවකටද කියන්න මට තේරෙන්නෑ.
උඹලෑ අප්පච්චි අම්මයි අපිට තනිවෙන්න දීල පැත්තකට ගියා. එදා කටකාර උඹත්, මමත් ගොළුවෙලා හිටියෙ. අන්තිමට බොහොම ආයාසයකින් වචනයක් පිටකලා.
ම...මට... ස....මා..වෙන්න අප්සරා. ආපහු ජීවිතේට මගෙන් මෙහෙම දෙයක් වෙන්නෑ සත්තයි.
මටත් සමාවෙන්න උපුල් මහත්තය. මගෙත් කට හොදනෑනෙ. මමත් ඕනවටවඩා කියෙව්ව. ඒක දැන් අමතක කරන්න.
අප්සරා, ඇයි අප්පච්චිට මාව සනීපකරන්න කියල බැගෑපත්උනේ. ඇයි මට අනුකම්පා කලේ.
හ්ම්.... උපුල් මහත්තය එහෙම ඉන්නකොට මට දුක හිතුන. මට... මේ.... තේ ටිකක් බීල ඉමු.
මම ආවෙ තේ බොන්න නෙවෙයි. උඹත් එක්ක කතාකරන්න. මගඇරල යන හදන අප්සරාව නවත්වමින් මම කිව්වා.
මම දන්නෑ උපුල් මහත්තය. මට දුක හිතුන එච්චරයි.
මගේ හිතේ පැහැදීමක් ඇතිඋනා අප්සරා.
මම කියපු දේ නෑහුනාවගේ උඹ ගෙට දිව්ව.
එදා මම හවස් වරුවම ගෙව්වෙ අප්සරා එක්ක. අපි ගොඩක් දේවල් කතා කලා. අදුර වැටීගෙන එද්දි මම උඹලෑ ගෙදරින් පිටත් උනේ උඹේ හිතත් හොරාගෙන. සත්තයි ඒ වෙනකොටත් අපි අතරෙ නිර්නාමික ආදරයක් ගොඩනැගිල තිබ්බ.
එදා පටන් මම උඹ යන එන මග තනි රැක්ක. උඹත් ඒකට ආසා කලබව පෙනුනෙ මාව දකිද්දිම මූණට එන හිනාවෙන්. නිතර දෙවේලේ මම උඹලෑ ගෙදර යන එනකොට උඹලෑ පවුලෙ උදවියටත් මේ ගැන ඉව නොවැටුනා කිව්වොත් ඒක බොරුවක්.
කාලය ගෙවෙද්දි අපි ආදරවන්තයො උනේ දෙපාර්ශවයෙම කැමැත්ත ඇතිව. අපේ ආදරේ දවසින් දවස වැඩිඋනා මිසක් අඩුඋනේ නෑ. ගමේ සුන්දර තැන් අපේ ආදරේට සාක්ෂි කිව්ව. අනුරාගී නොවූ සිපගැනීමකින් පමනක් අපි තෘප්තිමත් උනා.
ඉර බැහැගෙන යන වෙලාවට වැව් තාවුල්ලෙ ගලක් උඩ වාඩිවෙලා මගේ උරහිසට බරවෙන උඹ අතෝරක් නැතිව කියවන කියවිල්ල අහන්න මම ගොඩක් ආසකලා.
මට විශ්වාසයි අපි ගමේ හිටපු ආදරණීයම පෙම්වතුන් යුවල. මම උඹට මොනතරම් ආදරේ කලාද කියනවනම් වෙන පිරිමියෙක් උඹ දිහා බලනකොටත් මට ඇතිවුනේ ලොකු කේන්තියක්. ඒ තරමටම මම උඹව පරිස්සම් කලා.
නමුත් කාලය ගෙවෙද්දි අප්පච්චි අපේ සම්බන්දෙට තදින් විරුද්ධ උනා. අප්පච්චිගෙන් හේතුව හාර හාර ඇහුවත් උන්දැ කටක් හෙල්ලුවෙ නෑ. නමුත් දවසක් අප්පච්චිට ඇත්ත නොකිය ඉන්න බැරිඋනා.
කියන්නම් පුතේ.
මම ලගකදි තමයි උඹලෑ කේන්දර බැලුවෙ. පොරොන්දම් ගැලපුනත් අප්සරා කෙලීගෙ කේන්දරේ කසාදෙට මාරකයක් තියනව. ඒත් උඹල දෙන්න ආදරෙන් ඉන්නව දකිද්දි මට මේක කියන්න හිත දුන්නෙ නෑ. අපි ඇත්තට මුහුනදෙන්න ඕනි පුතේ. උඹට අප්සරා කෙල්ලව...
ඉතිරිටික කියන්න කලින් මම නැගිට්ටෙ පුටවත් පෙරලගෙන.p
මයෙ අප්පච්චි මට ඒක කරන්න කියන්න එපා.ඊටවඩා හොදයි මාව මරල දාන්න. අප්සරා මගේ පණටික අප්පච්චි. මම අප්පච්චි කියන ඕනි දෙයක් කරන්නම්. මට බෑ..බෑ...බෑ.. අප්පච්චි.
අප්පච්චි මගේ දිහා දුකෙන් බලන් ඉන්නවා. උන්දැත් අසරණයි. බයිසිකලේට නැගපු මම නතරවුනේ වැවලග. බිම ඉදගෙන හිතේ දුක නැතිවෙනකම් ඇඩුව.
එකපාරටම යමෙක් උරහිසට බරවෙනව දැනෙද්දි මම හැරිල බැලුවෙ. මගේ ඇස්වල කදුළු දැකපු අප්සරාගෙ මූණත් වෙනස්උනා. උඹ හාර හාරා අහද්දී මට ඇත්ත නොකියා ඉන්න බැරිඋනා.
මට ඒකනම් කරන්න කියන්න එපා රත්තරනේ. මාව මැරෙයි. එහෙම කියලා උඹ මට තුරුල් උනේ ඉකිගහනගමන්.
මටත් ඒක කරන්න බෑ සුදුනෝනේ. ඔයාගෙන් තොර මට ජීවිතයක් නෑ.
ඇයි අපිටම මෙහෙම වෙන්නෙ. මේකට විකල්පයක් නැද්ද මහත්තයෝ.
මම දන්නෑ සුදුනෝනෙ. ඒත් මම පොරොන්දු වෙනව මොනදේ උනත් කවුරු විරුද්ධ උනත් අපි වෙන්වෙන්නෙ නෑ. අපිට ඒ විදිහට ජීවත්වෙන්න තියෙන්නෙ ටිකකාලයක් නම් අපි ඒ කාලෙ හරි සතුටුන් ඉමු.
එදා අපි තුරුල්වෙලා ඇඩුව. කාලය ගෙවුන දැනුන්නෑ. අදුර වැටීගෙන මම උඹව ගෙදරට ඇරලන්න හැදුවත් උඹ කීවෙ එපා කියලා. අඩල අඩල හෙම්බත්වෙලා ඉන්න උඹව තනියම යවන්න මට හිත දුන්නේ නෑ. ගේ ලගටම ඇවිල්ලත් උඹෙන් සද්දයක් නෑ.
සුදුනෝනෙ.
හ්ම්.
මම තවම අර සබන් ජාතිය හොයනව.
මොන.
එදා මට ඇළේදි ගහපු සබන් වතුර. ඒව හරි සුවදයි. කොච්චර නෑවත් යන්නෑ ඒ සුවද. ඒකටනෙ මම අහුවුනේ. මටත් ගුරුකමක් කරලද කොහෙද ගහල තියෙන්නෙ. නැත්නම් මෙහෙම හූනියම් පෙට්ටියකට හිත යයිද.
ඒක අහපු වෙලේ ඉදන් උඹ හිනාවුනනෙ හරියට පුංචි එකෙක් වගේ.
ඔන්න ලගටම ආව යන එකයි ඇත්තෙ කුමාරිහාමි.
මගේ නලලට උණුසුම් හාදුවක් දීපු උඹ මං දිහා හෙලුවෙ ආදරණීය බැල්මක්.
ඒ ආදරේට මහත්තයෝ. එතකොට මේ හූනියම් පෙට්ටිය කිව්වට.
මට යන්තම් රිදෙන්න පාරක් ගහපු උඹ ගෙදරට දිව්වේ හරියට දගකාර පුංචි කෙල්ලෙක් වගේ.
කාලය ගෙවුනෙ මගෙත් අප්සරාගෙත් සම්බන්දයට දෙපාර්ශවයෙම විරුද්ධතා එල්ලවෙමින්. නමුත් උඹවත් මමවත් වෙන්කරන්න ඒ අයට බැරිඋනා. අපිව වෙන්කරන්න බැරිමතැන ආපහු වතාවක් කැමැත්ත දෙන්න උන්දැල තීරණය කලා.
මහ ලොකු මගුලක් නොගත්තෙ මේ කරන දේ අවදානම නිසා කියලයි අප්පච්චි කීවෙ.
ජයටම මගුල් කාල මිසක උඹ මේ විදිහට කසාදයක් බන්දන්න හිතුවෙ නෑ. ඒත් මේ කසාදෙ බරපතලකම තේරෙද්දි කොහොමද සතුටින් මගුලක් කන්නෙ.
මට මගුලක් කන්න ඕන්නෑ අප්පච්චි. මට ඕනි අප්සරා මගේ ලගට ගන්න විතරයි.
මොනව උනත් මම ජීවතුන් අතර ඉන්නකල් උඹලට හානියක් වෙන්න දෙන්නෑ. අප්පච්චි කිව්වෙ එච්චරයි.
එදා ඉදන් උඹ රෑට මගේ යහනෙ තනි රැක්ක. උඹ මාව බලාගත්තෙ පුංචි දරුවෙක් වගේ. බිරිදක් විදිහට ඉෂ්ට වෙන්න ඕනි හැම යුතුකමක්ම ඉටුකලා.
අම්මගෙන් පස්සෙ ගෑණු පරානයක් කියල ගෙදරට ආවෙ උඹ. සත්තයි උඹ අපේ ගෙදරම සුවදවත් කලා, පිලිවෙල කලා. දවසින් දවස අපේ ආදරේ වැඩිවුණා මිසක් අඩුවුණේ නෑ.
විවාහවෙලා මාස දෙක තුනක් ගියත් අපිට කිසිම කරදරයක් උනේ නෑ. සමහරවිට අපේ ආදරේ මාරකයත් පරද්දන්න ඇති. හැමදාම බුදු පහන තියලා කිව්වෙ අපේ සතුට නැතිවෙන්න එපා කියලයි.
අවුරුද්දක් ගතවෙද්දි යන එන උදවියත්, වෙදකම් කරගන්න එන උදවියත් ඇහුවෙ අප්සරාගෙන් වාසියක් නැද්ද කියල. ඔව් දරුවෙක් ගැන ආසාව අපිටත් දැනිල තිබ්බෙ. හැමදාම මේ කාරනේදි අප්පච්චි කිව්වෙ දරුවො දැන්ම මොකටද කියලයි. ඒ කතාව හැමදාම මගෙ හිත රිද්දුව.
තවත් සුලු කාලයක් ගෙවෙද්දි ඒ සුබ ආරංචිය අපි දැනගත්තෙ. ඔව් උඹ අම්ම කෙනෙක් වෙලා. මම එදා තරම් සතුටු උන වෙන දවසක් නැති තරම්. උඹව බදාගෙන සියවතාවකට වඩා ඉඹින්න ඇති.
හැමෝම සතුටු උන මේ ආරංචිය අහද්දි අප්පචි ගොඩක් කලබල උනා. අප්පච්චි මගෙන් මොනවහරි දෙයක් හංගන බව තේරුනත් ඒ ගැන අහන්න මට උවමනාවක් තිබ්බෙ නෑ. ඇත්ත අප්පච්චි මට හැමදේම තේරුනේ පස්සෙ.
එදා ඉදන් අපි කාලය ගෙව්වෙ වෙනදටත් වඩා සතුටින්. ඒත් ඒ සතුට වැඩිකල් තිබ්බෙ නෑ. දරුව ලැබෙන්න ඇවිත් මාසයක් විතර යද්දි උඹ හුගක් දුර්වල වෙන්න ගත්ත. ඒ තරම් දක්ෂ වෙදෙක් උනත් අප්පච්චිගෙ බෙහෙත් අප්සරාව සුවකරන්න ප්‍රමාණවත්වුනේ නෑ.
දන්න හැම වෙදකමම කලත් උඹව ගොඩගන්න බැරිවෙනකොට මට දැනුනෙ ලොකු අසරණකමක් සුදුනෝනෙ. වෙදාගෙ බිරිඳව සනීප කරගන්න බැරිනම් ඒ සාස්තරෙන් ඇති වැඩේ මොකක්ද?
ඉස්පිරිතාලෙ දොස්තර මහත්තුරු කීවෙත් ලොකු අසනීපයක් නෑ ඔය තත්වෙ ඉන්නකොට ඔහොම වෙනව කියලයි. මගේ හිත රිදෙයි කියන බයට උඹ සාමාන්‍ය විදිහට ඉන්න හැදුවත් උඹේ හුස්මත් අදුරන මට බොරු කරන්න උඹට බෑ සුදුනෝනෙ. උඹ ගතින් පීඩා විදිද්දි මම හිතින් පීඩා වින්ද.
හරියටම මාස තුනක් වෙද්දි දවසක් උදේ උඹ ඇදේ වැතිරිලා හිටියෙ කිසිම හැලහොල්මනක් නැතිව. කතාකලත් කිසිම සද්දයක් නෑ. ජීවිතේ පලවෙනි වතාවට එදා උඹත් අසරණ වුනා අප්පච්චී.
ඉස්පිරිතාලෙට ගෙනියමු පුතේ. අප්පච්චි කිව්වෙ එච්චරයි.
තවදුරටත් බලන් ඉන්නෙ නැතුව උඹව ඉස්පිරිතාලෙට අරන් ගියේ උන්දැලගෙන්වත් උඹට පිලිසරණක් වෙයි කියල හිතල.
දොස්තර මහත්තුරුන්ගෙ මූණෙන් පෙනුනා. උඹේ තත්වෙ එච්චර හොදනැතිවග. හනිකට උඹව යන්තරේකට සම්බන්ද කලේ මගේ ඇග සීතල කරමින්. කවුරුවත් කිසිම දෙයක් කිව්වෙ නෑ.
හැමදේම මෙහෙම සිද්දවෙද්දි මට තේරුම් ගියා උඹට තියෙන්නෙ ගතේ අසනීපයක් නොවන වග. අප්පච්ච් හංගන දේ මේකට සම්බන්ද දෙයක් වෙන්න ඇති. එදා මම ගෙදර ආවෙ අප්පච්චිගෙන් මේදේ ගැන අහන්න හිතාගෙන.
අප්පච්චි මට ඇත්ත කියන්න. මොකද්ද මගෙ සුදුනෝනෙට වෙලා තියෙන්නෙ.
මම දන්නෑ පුතේ.
අනේ බොරු කියන්න එපා අප්පච්චි. මට ඇත්ත කියන්න.
අප්පච්චිගෙ මූණෙ තිබුනෙ වරදකාරී හැගීමක්. ඒත් උන්දැ එක වචනයක් කතාකලේ නෑ. බැරිම තැන මම කෑ ගහල ඇඩුව. ඒත් උඹ ඒ විදිහමයි අප්පච්චි.
හවස සුදුනෝනෙ බලන්න ගියත් උඹ නෑ මම දිහා ඇහැක් ඇරලවත් බැලුවෙ. සීල් තිබ්බ වීදුරු කාමරේක උඹයි අපේ දරුවයි ජීවිතයත් මරණයත් අතර සටනක. හැමදාකම උඹව බලන්න ගියත් උඹේ තත්වෙ නරක අතට හැරෙනව කියල විතරයි මට පෙනුනෙ.
ඉවසන් ඉන්න බැරිමතැන පෙට්ටගමේ තියන වෙද පොත් ටික ඇවිස්සුවෙ මගහැරුනු පොතකවත් උඹේ ලෙඩේට ප්‍රතිකර්මයක් තියෙනවද බලන්න. ඒ එක පොතකවත් උඹට ගැලපෙන ප්‍රතිකර්මයක් තිබුන්නෑ සුදුනෝනෙ.
හැමදේම දරාගන්න බැරිතැන අප්පච්චි ලගට ගිහින් උන්දැගෙ දෙපාමුල වැද වැටිල ඇඩුවෙ එදා උඹ මන් වෙනුවෙන් ඇඩුව වගේ.
මාව මැරෙයි අප්පච්චි. මට ඇත්ත කියන්න. අප්පච්චි දන්න දේ කියන්න. නොකිව්වොත් ඔළුව හැරුන අතේ යනව මම අප්පච්චි. මේ හැමදේම වෙන්නෙ අර මාරකේ නිසාද. මට කියන්න මයෙ අප්පච්චි. තවත් මට මේක දරාගෙන ඉන්න බෑ.
මගේ වේදනාව තවත් උඹට බලන් ඉන්න බැරිඋනා අප්පච්චි.
කියන්නම් පුතේ. හැමදේම කියන්නම්. අප්සරා කෙල්ලගෙ මාරකේ බලපාන්නෙ තුන්වෙන්නෙක් ආවම. කේන්දරේ අනුව උඹල දෙන්නෙක්ට විතරයි එකට ජීවත් වෙන්න වාසනාව තියෙන්නෙ. දරුව උපදින්නෙ අප්සරා දැරිවිවත්.... අප්පච්චි එතනින් කතාව නැවත්තුව. ඒත් දැන් දැන් බලද්දි දරුව උපදිනකන්වත්... අප්පච්චි ඉකි ගහන්න උනා.
මේ හේතුව නිසයි මම උඹලගෙ සම්බන්දෙට විරුද්ද උනේ. ඒත් තේරුනා උඹලව වෙන් කරන එක ඊට වඩා පාපයක් කියලා. මේ ටික කාලෙ හරි සතුටින් ඉදීවි කියලයි මම කැමැත්ත දුන්නෙ පුතේ. මට සමාවෙන්න පුතේ.
ඒත් විසදුමක් තියෙන්න ඕනි අප්පච්චි.
තියනව පුතේ ඒත් මට උඹට ඒ දේ කරන්න දෙන්න බෑ. මට උඹව නැති කරගන්න බෑ.
අනේ අප්පච්චි මට කියන්න මොකක්ද ඒ විසදුම. මම මොනවද කරන්න ඕනි. දෙයියනේ එතන ජීවිත දෙකක් අප්පච්චි. සුදුනෝනෙටයි මගෙ දරුවටයි කරදරයක් උනොත් මට ජීවත්වෙලා වැඩක් නෑ මයෙ අප්පච්චි.
ඇස්වල කදුළු පුරවන් මගෙ දිහා බලන් හිටපු අප්පච්චි ගෙට ගිහින් ගෙනාවෙ පුස්කොල පොතක්. උන්දැ ඒක මගේ අතින් තියල යන්න ගියා. අතරින් පතර නොතේරුනත් මට පැහැදිලි කරල තිබුන දේවල් තේරුම් ගන්න බැරිඋනෙ නෑ. සත්තයි උඹ කොහොමද අප්පච්චි ඒ දේ කරන්න ඉඩදෙන්නෙ.
අප්පච්චි කියපු දේවල් වගේම මාරකේ ඉන්න මෙවැනි අඹුවක් බේරගන්න කරන්න ඕනි ගුරුකමක් ගැනත් සදහන්වෙලා තිබ්බ. ඒත් ගුරුකමෙන් පස්සෙ අඹුව බේරුනත් සැමියා නසින බව කියවුනේ.
මට බයක් දැනුන්නෑ සුදුනෝනෙ. දැනුනෙ සතුටක්. උඹල දෙන්න වෙනුවෙන් මගේ ජීවිතේ පූජකරන්න මම හිතාගත්ත.
අප්පච්චී මම මේක කරන්න දෙන්න. මට සුදුනෝනෙ මැරෙනව බලන් ඉන්න බෑ.
ආදරෙන් මගෙ ඔලුව අතගාපු අප්පච්චී වචනයක්වත් නොකියා ගෙයින් එලියට බැහැල ගියා.
හවස් ජාමෙ අප්පච්චි ආවෙ අඩුම කුඩුම ගොඩක් අරන්. මට පුදුම හිතුන අප්පච්චි උඹ හිටියෙ හිත ගල් කරගෙන. මම මැරෙන බව දැන දැන උඹ කොහොමද ඒකට උදව් කරන්නෙ. ඒත් අවසාන වතාවට හිත වෙනස් කරගනින් කිව්වත් මම නෑහුන ගානට හිටියා.
අදුර වැටෙද්දි වත්ත පහල වන රොදට අඩුම කුඩුම ගෙනිච්ච අපි කාරිය පටන්ගත්ත. හෝරා කීපයක් ජීවම් කරපු අප්පච්චී මාට ලගට අඩගහලා කිනිස්සෙන් මගේ ඇගිල්ල සිදුරුකලා.
මේකෙන් ලේ බිංදු හතක් පානට දාපන් මයෙ පුතේ.
මම ඒ විදිහටම කලා. දැන් මම දන්නව මගේ ජීවිතේ රැදිල තියන කාලය. දවස් හතක් මට තියනව උඹ වෙනුවෙන් ජීවත්වෙන්න සුදුනෝනෙ.
වෙනදට ගුරුකමක් සාර්ථකව අවසන්කරල සතුටින් නැගිටින අප්පච්චි අද නැගිට්ටෙ ඇස්වල කදුළු පුරෝගෙන.
ඒ මොහොතේ ඉදල මට තදබල හිසේ කැක්කුමක් දැනෙන්න ගත්ත. අප්පච්චිගෙ වාරුවෙන් ගෙට ගොඩඋන මම කෙලින්ම ගියේ ඇදට.කියාගන්න බැරිතරම් වේදනාවක් ගතට දැනෙමින් තිබුනත් හිත ගොඩක් සතුටින් තිබ්බෙ.
එදා ඉදන් හැමදාම මම උඹව බලන්න ඉස්පිලිතාලෙට ආව. ඒ හැම දවසකම කලින් දවසට වඩා උඹෙන් සුවයක් දැක්ක. මම හිටියෙ ගොඩක් සතුටින්. දවසින් දවස මම මාරයට ලංවෙද්දි උඹ මාරයගෙන් ඈත්උනා.
දවසින් දවස ගෙවිල මගේ ඉරණමේ හයවෙනි දවසෙ උඹ සාමාන්‍ය වාට්ටුවට දාල තිබ්බ. උඹට ලංවෙලා බැලුවත් හොදටම නින්දගිහින් නිසා මම නිස්සද්දව ආව.
දැන් දැන් මගේ පෙනුමත් වැරහිලා ගිහින්. නැතිවෙයිද මේ දවස් කීපෙට සරීරෙ ලේ වලින් බාගයක්ම මල මුත්‍රා එක්ක පිටවෙලා යන්න ඇති. සත්තයි සුදුනෝනෙ උඹේ මූණ දකින්න තියන ආසාවට මේ දින කීපෙ ඉවසුවා මිසක් මේ වේදනාවට දිවිනහගන්න හිතුන වාර අනන්තයි.
හත්වෙනි දවසෙ අපි උඹව බලන්න ගියේ හොදටම සුවයි කියල දැනගෙන. ඔව් උඹ ඉස්සර හිටපු අප්සරාමයි. ඒ දගකාර පෙණුම උඹට ආපහු ලැබිල.
මාව දැකපු හැටියෙම උඹ තිගැස්සුනා කිව්වොත් හරි. උඹට තියා මට මාවවත් අදුරන්න බැරි තරමට වෙනස් වෙලා.
හාර හාර උඹ විස්තර අහද්දි. රටේ නැති බොරු ගොන්නක් කිව්වෙ.උඹේ හිත හදන්න. හිත සිය දහස්වර හඩාවැටෙද්දි මම උඹව තදින් වැලළදගත්ත.
මට අමුත්තක් දැනෙනව මහත්තයෝ.
මොකද්ද සුදුනෝනෙ.
මේක අපේ අන්තිම........
මොනවද මේ කියවන විකාර. හෙට සුදුනෝනෙට ටිකට් කපනවලු. මම හෙට එන්නම්.
ව්‍යාජ හිනාවක් මවාගන්න ගමන් මම අප්සරාගෙ කන මිරිකුවෙ ආදරෙන්.
අපේ අන්‍තිම වැළදගැනීමට තව කාලය ගන්න ඕනි උනත් උඹට සැක හිතෙයි කියන බයට උඹෙන් ඈත් උනේ උඹ ආසම කරන හාදුව නලල මත තියල.
වාට්ටුවේ දොරකඩ ලගට ගිහින් අවසාන වතාවට උඹදිහා බැලුවෙ ඇහෙන් කදුළු වැටෙද්දි. උඹ සැහැල්ලුවෙන් මගෙ දිහා බලන් ඉන්නව. එදා මම ගෙදර ආවෙ අඩ අඩ.
අප්පච්චිගෙයි සියදෝරිස්ගෙයි වාරුවෙන් එදා මම ගම පුරාම ඇවිද්ද. අද මම ගම දකින අන්තිම දවස.
උඹෙයි මගෙයි ආදරේ පටන්ගත්ත ඇළ පාරේ ඉදන් විවාහෙ වෙනකම් අපි පෙම් කරපු හැම තැනකම මොහොතක් නැවතිලා හිටිය. ඒ හැම තැනකම අපේ ආදරේ පිරිල සුදුනෝනෙ.
හවස්වෙද්දි පන්සලේ ලොකු හාමුදුරුවො වැඩම කලා. අප්පච්චි හැමදේම උන්නාන්සෙට කියල තිබුනෙ. පිරිත් නූලක් බැදලා බණ ටිකක් කියද්දි සත්තයි මට හිතාගන්න බැරිතරම් සහනයක් දැනුනා හාමුදුරුවනේ. බුදුබණ ඒ තරම් අපේ හිත සනසවනව කියලා තේරුම් ගත්තෙ එදා.
මං කලේ කලාතුරකින් මනුස්සයෙක් කරන හොද දෙයක් විදිහටයි ඔබවහන්සේ දැක්කෙ. හැමදේම සම්පූර්ණ කරල ලොකු හාමුදුරුවො පන්සලට වඩිද්දි මට කියාගන්න බැරිතරම් බයක් දැනුන.
හැමදේම ඉවරවෙලා අප්පච්චි මාව එක්කන් ගියේ උන්දැගෙ කාමරේට. අද අපි මෙහෙම නිදාගමු මයෙ පුතේ. අප්පච්චි මාව තුරුල් කරගත්තෙ පොඩි එකෙක් වගේ.
මෙච්චකල් හිතෙ හිරකරන් හිටපු අපේ හැම දුකක්ම කදුළු වලින් පිට වෙන්න වැඩිවෙලා ගියේ නෑ. මට උඹගැන පුදුමයි අප්පච්චි කොහොමද මෙච්චර වේදනාවක් දරන් හිටියෙ. මම අප්පච්චිට තව තවත් තුරුල් උනේ මරණ බය දැනෙමින් තිබ්බ නිසයි.
අප්පච්චි.
මයෙ පුතේ.
මගේ දරුව දැණුම් තේරුම් වයසට එද්දි මගේ කතාව කියන්න අප්පච්චි. ඒ වගේම අපේ සාස්තරේ මගෙ දරුවට උගන්නන්න.
නොකිව්වත් මම ඒ දේ කරනව මයෙ පුතේ. මම පොරොන්දු වෙනව.
තවත් එකක් අප්පච්චී අප්සරාට තවම මහ වයසක් නෑ. ජීවිත කාලෙම මං වෙනුවෙන් කදුළු බිබී ඉන්න එපා කියන්න. එයාට ජීවිතේ ගැන තීරණයක් ගන්න ඕනි උනොත් ඒකට ඉඩදෙන්න අප්පච්චී.
මම එහෙම කරන්නම් පුතේ.
මයෙ අප්පච්චි දුක් වෙන්න එපා. මම මේ හැමදේම කලේ ජීවිත දෙකක් බේරගන්න.
මම දන්නව මයෙ පුතේ. මතු ආත්මෙක උඹ මගේම පුතා වෙලා උපදින්න ඕනි. එතනින් එහා අපි වචනයක්වත් කතා කලේ නෑ.
මගේ හිස පුපුරන්න තරම් වේදනාවක් දැනෙද්දි දෑස් නිලංකාර වෙනවා වගේ හැගීමක් දැනුනා. ඈතින් පන්සලේ ඝාණ්ටාරයේ හඩත් එක්ක පිරිත් හඩ ඇහෙද්දි අප්පච්චිගේ ලතෝනියත් ඇහෙන්න උනා.
මගේ ඇගට පුදුම සැහැල්ලුවක් දැනෙද්දී අප්සරා බලන්න යන්න හිතුනා. තත්පර කීපයකින් මම ඉස්පිලිතාලෙ උඹේ ඇද ලග නතරවුනා. උඹ සැප නින්න්දකට වැටිල. සුමුදුවට උඹේ හිස අතගෑවත් උඹ නෙවෙයි ඇහැක් ඇරල බැලුවෙ.
පිරිමි පරානයක් උඹේ කුසේ වැඩෙනව කියල පෙනෙද්දි මට ඇතිවුනේ කියාගන්න බැරිතරම් සතුටක්. මගේ අඩුව පුරවන්න උඹට පුලුවන් වෙයි පුතේ.
මගේ තුන්මාසෙ දානෙත් ඉවරවෙලා තිබුනත් උඹ කදුළු බොන එක නතරකලේ නෑ අප්සරා. මෙච්චර කල් උඹලග නොදැනෙන්න හිටියත් මට තවත් උඹලග ඉන්න බැරිබව තේරුනා.
අපේ අවසාන බැදීමත් මට කඩල දාන්න සිද්දඋනේ තවත් පිංවන්ත අම්මෙක් එයාගෙ කුසට මට ආරාධනා කරනව ඇහෙද්දි.
සතුටින් ඉන්න සුදුනෝනෙ. මේ ආත්මෙ නැතිවුණත් මතු ආත්මෙක හරි මම ඔයාගෙ ලගට එනව.
ඒ වචන උඹට නෑහුනත් කෑගහලා කියපු මම ඈත ආකාසෙට පාවෙලා ගියා.
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
මගේ ඇස්වල කදුළු පිරී ඇතිබව බොදවී පෙනෙන ඔයාගෙ චායාවෙන් තේරුනා. ඔයාගෙ ඇස්වලත් කදුළු පිරිලා.
අප්සරා. මම කතා කරද්දි ඔයා ගැස්සුනා. ඒ හුරුපුරුදු බැල්මෙන් ඔයා මන්දිහා බැලුවෙ.
උපුල්. ඔයත් ඒක දැක්කද?
ඔව්. අනේ අඩන්න එපා සුදුනෝනෙ. දෛවය අපිව වෙන්කලා වගේම එකතු කලා.
උණුසුම් හාදුවකින් නලල තෙමපු මම ඇයව පපුවට තුරුල් කරගත්තා. සත්තකින්ම සැබෑ ආදරය මියදෙන්නෑ. හැමදාම ජීවත් වෙනවා.
නිමි !
@Dasun Lenora
