#සැකය | Sakaya
#සැකය
පූජා යනු ලසිත්ගේ සොදුරු කැදැල්ලේ හිම්කාරියයි. දෙමව්පිය ආශිර්වාදයෙන් එක් වහලක් යටට එන්නට දහසකුත් බාධාක ජයගන්නට සිදු විය. මේ පූජාගේ දෙවන ආදරය වුවද ලසිත්ගේ පළමු ආදරය විය. පුදුම හිතෙනවා ඉතින් කොල්ලෙක්ගේ පළවෙනිම ආදරේ කසාදයෙන් කෙළවර වුණා කිව්වමත්. ඒත් එහෙම අවංක අයත් ඉන්නවනේ අපි අතරම.
උදේම නැගිටලා කෑම හදන පූජාට ලසිත් උදව් කලේ හරිම ආසාවෙන්. පූජාව කාර්යාලය ලගින් බස්සවා ලසිත් ඔහුගේ කාර්යාලය වෙත යන්නේ සැමියෙකුගේ යුතුකමක්ම පමණක්ම ඉටු කරන්න නෙමෙයි. බලන ඕනම කෙනෙක්ට මේ දෙන්නා ගොඩාක් ආදරෙන් ජීවත් වෙනවා කියලා හිතෙන්න පුලුවන්. පූජා කෙසේ වුවත් ලසිත් නම් බැල්මකින්වත් පූජාට වෙනසක් කලේ නෑ. පූජාගේ සිතුම් පැතුම් ලසිත් ඔහුට පුලුවන් අයුරින් ඉටු කිරීමට සමත් වුණා.
ටික කාලයක් ගත වෙද්දී පූජා නිතරම තරහ ගන්න ලසිත් ගැන ඕනවට වැඩිය හොයන්න පටන් ගන්න වුණා. ඇයට කාර්යාලයේ ප්‍රශ්නයක් ඇති යැයි සිතා ලසිත් එය ගණන් නොගෙන ඉන්නට වුණා. ඒත් ප්‍රශ්නය එන්න එන්නම වැඩි වුණා මිස විසදෙන බවක් නම් පේන්න තිබුණේම නෑ. කොහොමත් පූජට ඉක්මනින් කේන්ති යන හින්දා ලසිත් ඒ වෙලාවට පූජව මග ඇරලා ඉන්න පුරුදු වුණා. තරහා ඉවර වුනාම පූජම එනවා ලසිත් හොයාගෙන. ලසිත් මේ විදියටම දිගටම ඉන්න තීරණය කළේ විවාහය වටින නිසාත් පූජා ඉස්සර අහිංසක යුවතියක් නිසාත් යන කාරණා දෙක නිසාවෙනි.
ඒත් මේ ප්‍රශ්නය දුරදිග යන්නට වැඩි කාලයක් ගත නොවුනේ පූජා තමාට නොකියා ලසිත්ගේ කාර්යාලයට ගොස් එහි පිළිගැනීමේ කවුන්ටරයෙන් ලසිත්ගේ තොරතුරු විමසා ඇති බව ආරංචි වූ විගසමයි. ඔහුට පොළොව පලාගෙන යන්නට සිත් විය. පූජාට මේ කුමක් සිදු වී ඇතිද? නොවැටහේ. මේ අතරතුර පූජාගෙන් ඇමතුමක් එන්නේ ලසිත්ව යක්ෂාවේශ කරමිනි.
"හෙලෝ ලසිත් මං අද කලින් ගෙදර ආවා. ඔයා මගේ ඔෆිස් එක ළගට යන්න එපා. ගෙදර එන්න"
"ඇයි ඔයා කලින් ගෙදර ආවේ. මට කිව්වෙත් නෑනේ"
"අනේ මට ඔයාට කියන්න අමතක වුනානේ, ඇදුම් වගයක් ගන්න ගිහින් කලින්ම ආවා."
කිසිදා පූජා මෙසේ හිතුමතේට වැඩ කර නැත. ලසිත්ට කිසිත් හිතාගත නොහැක. කෙසේ හෝ මෙය විසදා ගැනීමේ උවමනාව ලසිත්ගේ හිතේ තෙරපෙන්නට විය. ගෙදර යද්දී පූජා ලසිත්ගේ අල්මාරිය අවුස්සමින් කුමක් හෝ සොයමින් සිටිය නිසා ඇය ලසිත් ආවා කියලාවත් දන්නේ නෑ. ලසිත් සැගවී බලා සිටියේ ඇයගේ මේ හදවත රිදුම් දෙන ක්‍රියාව දෙසය. ඒත් ඇය මේ සොයන්නේ ලසිත්ගේ හොරයක් අල්ලා ගැනීමටය. මේ වන විට #සැකය නැමති ආදරයේ මාරයා පූජාගේ හිතේ පැල් බැදගෙන ඇති බවට ලසිත් ඉගියකින් හෝ දන්නේ නැත. තවත් වැඩිකල් නොයා එය ඔහු දැනගැනීම නොඅනුමානය. ඒ තරම් මෙය අංකුර ලෙස පූජාගේ ජීව්තයට කිදාබැස අවසානය. මෙය ඇයගේ සිතුවිල්ලක්ම පමණ වන අතර ලසිත් කිසිදු වරදක් කර නැත. තවත් සොයා ඵලක් නැති අල්මාරිය වසා දමා පූජා එලියට එන්නේ කඩ වූ බලාපොරොත්තු ඇති මුහුණකිනි.
"මොනාද මගේ අල්මාරියේ ඔච්චර හෙව්වේ. හොයපු දේවල් හම්බුනාද."
නොසිතූ මොහොතක ලසිත්ගේ පැමිණම පූජා බිය කිරීමට සමත් විය.
" නෑ නෑ මං මොකුත් හෙව්වේ නෑ. මං අල්මාරිය පොඩ්ඩක් අස් කළා" යැයි කිව්වේ වෙව්ලන සිතෙනි. එය ලසිත්ට හොදටම දැනුණි.
"බොරු කියන්නේ ඇයි. මං දැක්කා මොනාහරි හෙව්වා කියලා. හරි ඒක අමතක කරමුකෝ. ඇයි අද මගේ ඔෆිස් එකට ගියේ"
"කව්ද මං ගියේ නෑ. කවුරුහරි බොරුවක් කියලා. මං මොකදට එහේ යන්නේ" කියා ලසිත්ට ගස්සාගෙන පූජා යන්නට ගියේ සිතන්නට යමක් ඉතිරි කරමිනි. පූජාගේ මේ බොරු රගපෑම ලසිත්ට වදයක්ම විය.
එදා පටන් පූජා ලසිත්ව මගහැර ඉන්නට පුරුදු විය. කාර්යාලයට යනවා එනවා ඇරෙන්නට වෙනත් කිසිදු සම්බන්ධයක් නොමැති විය. හරියට කෑමක්වත් ලසිත්ට ලැබුණේ නැත. මේ අවනඩුව දෙවියන්ගේ නෙත ගැටුනේද නැත. ලසිත්ට විවාහය කරවිල මෙන් විය.
"පූජා ඔයාට මට කියන්න බැරි මොකුත් ප්‍රශ්නයක් ද? ඇයි ඔයා මාත් එක්ක කතා කරන්නේ නැත්තේ" ඉවසා සිටිය නොහැකි බැරිම තැන ඔහු පූජා සමග කතා කරන්න තීරණය කළා. සිදු වූයේ අනපේක්ෂිත දෙයකි. "අනේ ලසිත්" යැයි කියමින් ඔහුගේ තුරුලට වැදී පූජා අඩන්නට වූයේ සමාව අයදිමිනි.
මෙසේ සතියක් පමණ සතුටින් සිටියත් නැවත විවාහයට කණකොකා හඩලන්නේ පූජාගේ මනසේ වරින් වර ඇදී මැකී යන සිතුවිල්ලක් නිසාවෙනි. එය දන්නේ පූජාම පමණි. පූජාගේ කාර්යාලයේ සිටින අසංග තම බිරිදට හොරෙන් කාර්යාලයේ තම මිතුරියක් හා රහසේ සබදතාවයක් පවත්වාගෙන යයි. එය අසංගගේ බිරිදට රහසක්ද කාර්යාලයේ ප්‍රසිද්ධ රහසක්ද විය. මෙය පූජාගේ සිතට දැඩිව බලපා ඇත්තේ තම ස්වාමිපුරුෂයාද එසේ අනියම් ඇසුරක් පවත්වාගෙන යනවාදැයි ඇති වූ සැකයත් සමගය. පූජාගේ මෙම වෙනසට හේතුව ඒක තමයි. එදා ලසිත්ගේ කාර්යාලයට ගිහින් විස්තර බැලුවෙත් ඒකයි. එසේ ගිය පූජාට ලසිත් අසල සිටින ගෑණු ළමයෙකු දක්නට ලැබුණි. ඒ ලසිත්ගේ කාර්යාලයේ මිතුරියක් වුවද ඒ බව පූජාගේ හිත පිළිගැනීම්ට සූදානම් නොවූයේ සැකය උඩුදුවා ඇති බැවිනි.
මේ අතර රැවුම් ගෙරවුම් මැද්දේ දවස් කීපයක් ගෙවුණා. ගොඩක් දවසකින් දෙන්නටම එළියට යන්න බැරි වුණ හින්දා පූජා යෝජනාවක් ගෙනාවා කැළණි පන්සල් යන්න. නිවාඩු දවසක් හින්දා මල් එහෙම කඩාගෙන උදේම දෙන්නම ලෑස්ති වුණේ කැළණි යන්න. උදේම ආව හින්දා ඉර අව්ව වැඩි වෙන්න කළින් පන්සලට එන්න පුලුවන් වුණා. පූජා ගාථා කියලා වැදලා පැන් කළය අරගෙන බෝධිය වටේ යද්දී ලසිත් පඩුරක් දමා පවුලේ ආරවුල් නැති වීමට සෙත් පතා ආපසු හැරී බලද්දී දුටුවේ තමා දෙස නපුරුකමින් බලා සිටින පූජාය. එහෙත් ඇයගේ නෙත් තිබුණේ තමා දෙසට නොව තමා අසල සිටිනා සුන්දර යුවතිය දෙසටය. පූජාගේ ඇස්වල තිබූ වෛරය ලසිත්ට තේරුම් ගත නොහැකි විය.
"ඇයි පූජා ඔහොම බලන්නේ කවුරුත් ඔයාට මොකුත් කිව්වද"
"කවුරුත් මොකුත් කියන්න ඕනේ නෑ. මෙච්චර කාලයක් මං හෙව්වෙත් තමුසෙගේ මේ වංචාව තමයි. මං හිතුවා හරී. තමුසේ එහෙම මිනිහෙක් තමයි . මං ඇස් දෙකටම දැක්කා අර ගෑනි එක්ක මුකුළු කරනවා මං නැති අතරේ" කියමින් ඉන්නා තැනවත් ගානක් නැතිවම අඩන්නට විය.
"පුජාගේ මේ කතාව ඇසූ ලසිත්ගේ දෑස් නළලට ගියේ එය අහස පොළොව නුහූලන සාපරාධී ක්‍රියාවක් බැවිනි. කිසිදු වරදක් කර නැති ලසිත් තවත් අසරණ විය. මෙය නම් බලා සිටීමට සුදුසු දෙයක් නොවේ. ගෙදර යන අතරතුර පූජා ලසිත් සමග කතා නොකීරීමට වගබලා ගත්තේ සැකයේ උච්චතම අවස්ථාව එළබී ඇති බැවිනි. මෙය ඉවෙන් මෙන් දැනගත් ලසිත් වහාම පූජාගේ දෙමව්පියන් ගෙන්වා ගැනීමට කටයුතු කලේ ගෙදර ගිය ගමන්මයි.
රෑ වෙන්නට කළින් පූජාගේ අම්මා ලසිත්ගේ ගෙදරට ආවේ ලසිත් සමග දුරකථනයෙන් ඇති වූ කතාබහට පින්සිදු වන්නටය. පෙරට වඩා තම දියණියගේ කේඩෑරී ශරීරය අවපැහැ මුහුණ දුටුව ගමන්ම මෙය මානසික රෝගී තත්වයක් බව තේරුම් ගැනීමට අම්මාට වැඩි වේලාවක් නොගියේ ඇයත් ආයුර්වේදය සදහා නෑකම් කියන බැවිනි. වෙනදට අම්මා ළග හුරතල් වෙන කෙල්ල අද කතාවක් නැතුව ඔක්කෝම එක්ක තරහෙන්. හැමෝටම මේක හිත් වේදනාවක් වුණා.
පසුදා අම්මා එක්ක කතා කරගත් පරිදි පූජාව මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කෙරුණේ ඇයව මේ තත්වයෙන් මුදාහැර ගැනීම සදහාය. පූජා සමග කතාබහ කළ වෛද්‍යවරයා කාරණය අවබෝධ කරගත් අතර එයින් පූජාගේ මනස නිදහස් කිරීමට හා මෙසේ වීමට හේතුව පූජාගේ කටින්ම දැනගැනීම සදහාත් ඇයව මෝහනය කිරීමට ලසිත්ගේ අවසරය ලබාගන්නා ලදි.
මෝහනයෙන් පසු දැනගන්නට ලැබුණේ ලසිත්ට ඇති අපමණ ආදරය නිසාත් පූජාට අසංගගේ වැනි බාහිරින් ලැබුණු අත්දැකීම් නිසාත් දැඩිව ලසිත්ව අවිශ්වාස කර ඇති බවය. දැඩි අවිශ්වාසය ටික ටික සැකයක් බවට පත්ව පූජාගේ මනසේ මහත් විපර්යාසයක් සිදු කර ඇත. වෛද්‍යවරයා එය දුරු කිරීමට සමත් විය.
මෝහනයෙන් පසු පූජා අවදි වූයේ සුන්දර සිනහවක් මුව රදවාගෙනය. නැවත ඉස්සර ආදරයෙන් සිටි පූජා ලසිත් සමග ජීවත් වන්නට විය. ඉතින් ඒ සොදුරු කැදැල්ල සතුටින් පිරුණි.
ලසිත් හොද ඉවසීමක් තියෙන කෙනෙක් හින්දායි ආයේ පවුල ගොඩගන්න පුලුවන් වුණේ. සැකය කියන දේ හිතට ආව ගමන් නැති කරන්න ඕනේ විශේෂයෙන්ම ආදරයෙදී. නැත්තන් විශාල විනාශයක් වෙලා තමයි නවතින්නේ. ඔයාලටත් ආදර්ශයක් වෙයි පොඩ්ඩක් හරී මේ කතාව.
අදහස් කියාගෙනම යන්නෝ😘
