සැගවුණු රහසක් ( අවසන් කොටස ) | Sagaunu Rahas Awasana Kotasa
සැගවුණු රහසක් ( අවසන් කොටස )
" ජානු මේ අහපන් "
" කියන්න අස්විද "
" උඹට මාව එපානම් තත්පරයක්වත් හිතන්න එපා..උඹ පලයන් "
" මට යන්න කියනවද අස්විද "
" නෑ මට දැනෙනවා උඹට ඕන යන්න කියලා "
" ආදරේ නැතුව නෙමෙයි අස්විද "
" අනේ බන්..හැමෝම ප්ලේ කරන තැටිය ඕකනේ "
" හැමෝම වගේ නෙමෙයි මම "
" ඔව් ජානු උඹේ නම විතරක් වෙනස් "
" නපුරුවෙන්නෙපා අස්විද ඔහොම "
" නපුරු මං නෙමෙයි බන් උඹ "
එහෙම කියපු උඹ වෙනදා වගේ මගෙන් තේ බොනවද කියලවත් ඇහුවේ නෑ..සාධාරණයි...උඹට වුණත් දැනෙනවා ඇති මගේ පැහැදිලි වෙනසක්..ඒත් මට වෙනදා තරම්ම උඹ ගැන ලෝභ කමක් දැණුනේ නෑ...තේ බීලා ආවත් උඹේ මේසේ ළඟට ගිහින් වාඩිවුණා මිසක මම එක්ක කතා කරන්න උඹ ආවේ නෑ.....
" මිස් ජානු...මැඩම් කතා කරනවා "
මගේ කල්පනාව බිදුණේ පියන් සෝමේ මාමාගේ කටහඩට..මම අකමැතිම වුණේ මැඩම්ගේ කාර්යාල කාමරයට යන එකට...
" මේ අයි කමින් මෑම් "
" යස් කමින් "
මගේ පය පැටලෙනවා වගේ මට දැණුනා..මගේ හිත වුණත් මේ තරම්ම දෙයක් දරාගන්න පුළුවන් මට්ටමක නෙමෙයි හිටියේ..
" මං හිතුවට වඩා ජානු ස්ට්‍රෝන්ග්නේ "
මැඩම්ගේ හිනා කටක් පුරෝගෙන කිව්වේ...මට උත්තර දෙන්න හිතුණේ නෑ..ඒ නිසා මම ආයාසයෙන් මවාගත් හිනාවකින් විතරක් පිළිතුරු දුන්නා...
" ජානු...අස්විදගේ හීනේ මං හැබෑ කරනවා "
" .................."
" හැබැයි සොරි ජානු.......මට ජානුව ට්‍රාන්සර් කරන්න වෙනවා "
" අනේ මම කරදරයක් වෙන්නේ නෑ මැඩම් "
" මම දන්නවා ළමයෝ..ඒත් ගින්දරයි පුළුනුයි එක තැන තියන්න හොද නෑ...ගිනිගන්නවා "
" මම අයින්වෙන්නද මැඩම් කම්පැනි එකෙන් "
" ඕන නෑ..ඔයා ට්‍රාන්සර් වෙන්න ටිකක් දුරකට..."
"........................"
" මං ට්‍රාන්සර් ලෙටර් එක රෙඩි කරලා පියන් සෝමේ අතේ එවන්නම්...සයින් කරලා එවන්න ජානු...."
එහෙම කියපු මැඩම් කැරකෙන පුටුවේ කැරකි කැරකි මං දිහා බලපු බැල්මට මට මං ගැනම දුක හිතුණා...මම එතනින් නැගිටලා ආවේ හිතේ දුක වාන් දමද්දි....
" අස්විදට පොඩ්ඩක් එන්න කියන්න ජානු "
මම දොරළගට යනකොට මැඩම් මට කිව්වා...මම ගැහෙම ඇස්පිල්ලම් එක්ක අස්විදගේ මේසේ ළඟට ගියාට ඇස් උස්සලා උඹේ දිහා බලන්න තරම් පුළුවන් කමක් තිබුණේ නෑ...
" මැඩම් එන්න කිව්වා අස්විද "
මම එහෙම කිව්වම උඹත් මං දිහා නොබලා මැඩම්ගේ කාර්යාල කාමරයට දුවලා ගියා..ආදරේ වෙනුවෙන් මං මේ කරපු කැපකිරීම ගැන උඹ දන්නවානම් පැළිලා මැරෙයි කියලා මට හිතුණා..හිත අවුරුදු ගාණක අතීතයට ගියා...
" මට හීන දෙකක් තියනවා ජානු "
" මොනවද අප්පේ ඒ "
" එක ඔයා..දෙක තමා අපේ ඔෆිස් එකේ ඉහළම පෝස්ට් එකකට යන එක...ඊට පස්සේ මගේම කියලා කම්පැනි එකක් දාගන්න එක "
" එක නම් හරි...ඒත් දෙකට යන්න අපි දෙන්නටම මහන්සි වෙන්න වෙනවා "
" උඹ ඉන්නවා නේද මං එක්ක "
" ඔව් ඔයාගේ හීනෙට යනකන්ම ඉන්නවා අස්විද "
"හීනෙට නෙමෙයි මං මැරෙනකන්ම ඉදපන් ජානු "
උඹේ ඒ හීන දෙක අතර උඩින්ම ඉදපු හීනය මම වුණාට අවුරුදු ගණනාවක් ගියත් කවදාවත්ම උඹට ඔෆිස් එකෙන් ප්‍රමෝෂන් එකක් ලැබුණේ නෑ..අපිට පස්සේ ආපු හැමෝම අඩියෙන් අඩිය ඉස්සරහට ගියත් අපි දෙන්නම හැමදාමත් හිටියේ එකම තැන..ඒක ගැන අපි දෙන්නටම තිබුණේ මහා කණගාටුවක්...මේ රැකියාවෙන් සෑහෙන තරමක වැටුපක් ලැබුණ නිසා වෙනත් රැකියාවකට මාරු වීමටත් හිත දුන්නේ නෑ..මොකද අපි දෙන්නටම එකම තැන රැකියා හොයාගන්නත් අමාරුවෙන එකත් තව හේතුවක්...එක දවසක් අස්විද මැඩම්ගේ කාමරයට ගිහින් පැයකට විතරම ආවේ නෑ..කාර්යාල කාමරයෙන් අස්විද ආවේ හිනාකටක් පිරුණු මූණක් එක්ක...
" ජානු මට ප්‍රමෝෂන් එකක් "
" අම්මෝ ඇති යාන්තන් "
" හවසට පාර්ටියක් දාමු "
අපි දෙන්නගේ කතාව අතරමග නතර වුණේ පියන් සෝමේ මාමා මට මැඩම්ගේ කාර්යාල කාමරයට එන්න කියලා පණිවිඩයක් එවලා තිබුණු නිසා...
" ජානු දැක්කද අස්විදගේ මූණේ තියන සතුට "
" ඔව් මැඩම් මටත් හරි සතුටුයි "
" අස්විද හැමදාම සතුටින් ඉන්නවට ජානු කැමතිද "
" අනේ ඔව් මැඩම්..මට ඕන එච්චරයි "
" අස්විදගේ ප්‍රමෝෂන් එක තීරණය වෙන්නේ ජානුගේ තීරණයක් මත "
" ඒ කිව්වේ මැඩම් "
" අස්විදවයි ඔයාවයි මෙච්චර කාලෙකට උසස්කරේ නැත්තේ මම...මගේ වුවමනාවට..මොකද මේ කම්පැනි එක මගේ ඩැඩීගෙන් මට ලැබුණේ..මේක පූර්ණ අයිතිය තියෙන්නේ මට...මම දන්නවා අස්විදට දියුණු වෙන්න උසස්වෙන්න තියන වුවමනාව...ඒත් මම ඒවා දැන දැනම අස්විදව එකම තැන තිබ්බේ ඔයා නිසයි ජානු "
" මං නිසා.......... "
" ඔව් ජානු..අස්විදගේ ජීවිතේ මම හදනවා රජෙක් වගේ..ඒත් ඔයා මේ කතාවෙන් ඈත්වෙන්න ඕනි..මොකද මම අස්විදට ආදරේ කරනවා...අස්විදගේ හීන දෙක ගැන අස්විද මට කිව්වා...මම අස්විදගේ දෙවෙනි හීනේ හැබෑකරනවා ජානු..හැබැයි අස්විදගේ පළවෙනි හීනේ වෙන්න ඕනි ඔයා නෙමෙයි මම...තේරුණාද "
" අ....අනේ .....මැඩම් "
" අස්විද වෙනුවෙන්....අස්විදගේ ආදරේ වෙනුවෙන් මේ කැපකිරීම කරන්න..අස්විදගෙන් ඈත්වෙන්න "
මැඩම් ඒක කිව්වේ අවසාන විධානයක් විදියට..අස්විදගේ මූණ පුරා තිබුණු සතුට එක්ක ඒ හැමදෙයක්ම විනාස කරලා දාන්න මට ඕන වුණේ නෑ..ඒ නිසාම අස්විදට මගේ හිතේ තියන ආදරය නිසාත් අස්විදගේ ජීවිතය ලස්සන වෙනවා බලන්න තියන ආසාව නිසාත් මම ටික ටික අස්විදගෙන් ඈත්වෙන්න උත්සාහ කරා....
" උඹට මට හරියනවා බලන් ඉන්න බැරි නිසාද ජානු ට්‍රාන්සර් වෙන්නේ "
එක උදෑසනක මගේ මාරුවීමේ ලිපිය මම අත්සන් කරනකොට අස්විද මගේ ළගට ඇවිත් ඇහුවා...
" නෑ ඔයාට හරියන්නනම් මම දුරට යන්න ඕන අස්විද ඒකයි "
එතනින් එහාට තවදුරටත් මොකුත්ම නොකියා මම මැඩම්ට ලියුම භාරදෙන්න ආවා......
- අවසානයි -
