සඳ තනියම පළමු කොටස | Sada Thaniyama 01 Kotasa


.සඳ තනියම . (01)

ඉර මුදුන් වෙලා තිබුනු බැවින් හෙවනට ගහක් කොලක් වත් නොතිබුනු වෙල් යාය මැද ගුරුපාර දිගේ ඇවිදන් එන සුමතිපාල නිලමෙගේ හිස් මුදුනට එක එල්ලේ පතිත වෙන ගිනියම් හිරු රැස් ඔහුට ගෙනදුන්නේ මහත් පීඩාවක් .

" ෂික්.. අප්පා... කුඩේ ගේන්න බැරිඋනානේ.... "

ඉහින් කනින් බේරෙන දහඩිය ලේන්සුවෙන් පිහිදාන ගමන් හිරු රශ්මියට නිලංකාර ඇස් දෙක ලොකුකරගෙන නිලමේ බලාගෙන හිටියේ ගුරුපාර ඈත කෙලවරේ දුහුවිලි නඟමින් ඇදීඑන කාර් රථය දිහා. මේ එන්නෙ සුගත්ගෙ කාර්එක කියලා තේරුම් ගැනීමට වැඩිවෙලාවක් ඔහුට ගියේ නෑ.

මුගටියෙක් දැකපු නාගයෙක් සේ කලබලයට පත් නිලමේ වටපිට බැලුවෙ වහං වෙන්න තැනක් තියෙනවද කියලා . දෙපැත්තෙන්ම තියෙන්නෙ එකයායට පෙනෙන තනි කුඹුරුයාය. ආපහු හැරී යන්නත් බෑ. ඒත් එක්කම ඔහු දැක්කෙ ඔහු සිටින දිහාට මඳක් එහාට වන්නට කුඹුර මැද තියෙන ගල් තලාව. සිත සිතා ඉන්නට තරම් කාලයක් නොමැති ඔහු දිව්වෙ ඒ දිහාට. හනික ගල්පොත්ත මතට බඩගා ගල මත එල්ලී පාරට නොපෙනෙනෙ ලෙස මුවාවී සිටියේ කාර් රථය ඔහු පහුකරගෙන යනකං . ගිනි අව්වට රස්නෙ ගහන කලුගලේ තරම ඔහුට දැනෙන්නට ගත්තෙ ටික වෙලාවක් යනකොට. ගලේ රස්නෙට ගලමත එල්ලීගෙන හිටපු ඔහුගේ අතපය පිච්චෙන්න ගත්තත් ඔහු අමාරුවෙන් ඒවා උහුලගෙන හිටියේ කාර්එක එතනින් පිටමං වෙනකං. වලවල් බේරමින් ඉබි ගමනේ පැමිනි කාර්එක එතනින් පහුවෙනවාත් සමගම මෙතෙක් වේලා අමාරුවෙන් වේදනාවෙන් ඉවසාගෙන සිටි නිලමේගේ දරාගැනීමේ ශක්තිය හීනවෙලා ලෙස්සලා ඇදගෙන වැටුනේ මඩ පිරුනු කුඹුරු ලියද්ද උඩට.

දනිපනිගා නැගිටගත් ඔහු වටපිට බැලුවේ කව්රුවත් බලාගෙන ඉන්නවද කියලා . ඔහුගෙ හිතට යන්තං සැනසුමක් දැනුනේ පේනතෙක් මානෙක කව්රුවත් නැහැයි කියලා දැක්කහම. ලෙස්සලා වැටුනු පාරට සීරුනු වැලමිටෙන් ලේ බිඳු කීපයක් මතුවෙලා තියෙන හැටි ඔහු දැක්කෙ වැලමිට දිහායින් ආපු වේදනාවට ඒ දිහා බැලුවහම.

" දැන් ඉතින් කොහෙ යන්නද . ආපහු හැරිලා ගෙදර යන්න තමයි වෙන්නෙ. ! "

මඩ ගෑවුනු කලිසමයි කබායයි දැක්කහම ඔහුට දැනුනෙ දුකක් .

" අපරාදෙ ගෙදර තිබුනු හොඳම කබාය"

ඇඟේ ගෑවුනු මඩ තලි අතින් පිහිදා ගනිමින් ඇඹිට්ටි උනු කකුලත් කොර ගගහා අමාරුවෙන් පාරට ගොඩ වෙච්ච නිලමේ ආපහු ගෙවල් දිහට හැරුනෙ යන්න ආපු ගමන වෙන දවසකවත් යන්නං කියලා හිතාගෙන . ඔහුට මතක් උනේ ගෙදරින් එලි බහිනකොටම මූනට මුලිච්චි උනු සුගතන්ව.

" නොද්..දකින්... කාලකන්නියා ...
ඕකා දකිනකොටම මට හිතුනා අද දවසම මුස්පේන්තුවෙයි කියලා. ! "

වලව්වෙන් එලියට බහින හැම වෙලාවකම නිලමේ මිදුලෙ පඩිපෙළ බහින්න කලින් වලව් වත්ත කෙලවරේ පාරෙන් එහා පැත්තෙ තියෙන සුගත්ගෙ ගෙවල් දිහා ඉස්සි ඉස්සි බලන්නෙ සුගතන් එලියක පහලියක පේන්න ඉන්නවද කියලා . ඔහු පේන්න ඉන්නවනම් කොතෙක් හදිසි ගමනක් උනත් එලි බහින්නෙ නිව්ටන් නෙවෙයි . වලව්වෙ කොයි පැත්තෙන් එලියට බැස්සත් පාරට යන්නනං සුගතන්ගෙ ගේ ඉස්සරහින් යන්න වෙන එක තමයි නිව්ටන්ට තියෙන ලොකුම හිසරදේ . ගමනක් යන්නට මත්තෙන් ඔහු මූනට මුලිච්චි උනොත් ඒ ගමන කිසිසේත්ම යාදෙන්නේ නැතිබව ඔහු හොඳින්ම දනී. ඒ තරමටම සුගතන් පිළිබඳ ඔහුගේ ඇත්තේ අපුලක්. ඒ දවස්වල ඕකුන්ගෙ ඉඩම ඔතනින් අයින් කර දමන්නට අප්පච්චි දඟලපු හැටි ඔහුට තවමත් මතකයි. එහෙව් අප්පච්චිටත් ඕකුන්ව එලවන්න බැරිඋනු එකේ තමන් මොනවා කරන්නද. නිලමේ අමාරුවෙන් උනත් ඉවසාගෙන සිටින්නේ ඒ නිසාය.

.............

" මේ මොකද අප්පච්චි ... මේ... "

නාවලපිටියට ගිහින් එනවැයි කියලා ගෙදරින් ගියපු නිලමේ ගිය පයින්ම ආපහු එන්නෙ මොකද කියලා බලන්න මිදුලට දුවගෙන ආපු දමයන්ති පුදුමවෙලා බලාගෙන හිටියෙ ඔහුගේ ඇඟපුරා ගෑවිලා තියෙන මඩ තලි දිහා.

" පුවක් කොටුව හරියෙදි මී හරක් රෑනක් පැන්නනෙ බන් පාර හරහා.
උන්ට ඉඩදීලා ටිකක් මන් පාරෙ අයිනකට උනා විතරයි .
ලෙස්සලා ගිහිල්ලා වැටුනනෙ පල්ලෙහා කුඹුරට. "

" හපොයි ඇති ඔයින් ගියා.
කෝ... ඔය ඇඳුම් ටික ගලවලා දෙන්නකෝ අප්පච්චි .
මම ඔය ටික හෝදලා දාන්නම් . "

" ඔය නාන්න යන වෙලාවක පස්සෙ ඕක හෝදලා දාන්න බැරිවැයි.
අම්මා ඒක කරයි. උඹ පැත්තකට වෙලා ඉඳපං. "

" නෑ.. නෑ... දැම්මම ඕක හෝදලා දැම්මනං ඉවරයිනෙ අප්පච්චි .
කෝ දෙන්න .."

ඈ බලෙන්ම වාගේ ඇඳුම් ටික ඉල්ලලා ගත්තෙ දැම්ම හෝදලා දැම්මෙ නැත්තං හදිස්සියකටවත් ගමනක් යන්නට අප්පච්චිට වෙන ඇඳුම් සූට් එකක් නොමැතිබව ඈ දන්න නිසා.

මඩ ගෑව්නු රෙදි ටිකත් අරගෙන ළිඳගාවට යන දමයන්ති දිහා ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ දිගෑදී බලාගෙන ඉඳපු නිලමෙට ඇතිඋනේ ඈ ගැන අනුකම්පාවක් . ඒකිගෙ වයසෙ හිටපු කෙල්ලො දීග ගිහිල්ලා දැන් ලමයි ලපටිත් ඉන්නවා. හෙට අනිද්දට බලන්න එනවයි කියපු ලමයවත් දෙයියනේ කියලා කැමති උනොත් හෙම . අද උදෙන්ම ලක ලැහැස්ති වෙලා නිලමේ නාවලපිටියට යන්න හැදුවෙ ඔය කාරනේටම තමා. කපුවා කියපු විස්තරවලට හැටියටනං පහතරැටියො උනාට උන් හොඳ වංශක්කාර පව්ලක් වෙන්න ඕනා. කොච්චර වංශවත් උනත් අපේ පරම්පරාවට පෑහෙන්න තරම් හැකියාවක් තියෙනවද ඕකුන්ට. රාජසිංහ රජ්ජුරුවන්ගෙ කාලෙ ඉඳලා අධිකාරම් , මොහොට්ටාල නම්බුනාම තනතුරු දරාපු මේ නිලමේගොඩ පරම්පරාව කිව්වහම මේ මුලු කන්ද උඩරටේම නොදන්න කෙනෙක් නැති තරම් . පරම්පරාව ගැන කතාකරන හැම මොහොතකම වාගේ මේ මොහොතෙත් නිලමෙගෙ හිතට දැනුනු ගාම්භීරත්වය හුලං බැහැපු බැලුම් බෝලයක් වගේ දියවෙලා ගියේ අබලන් වෙච්චි වලව්ව දිහා බැලුවහම . කාලෙකින් අලුත්වැඩියාවක් නොකරපු මේ ගරාවැටුනු වලව්වට ඔව්න්ව එක්කන් එන්නට නිලමෙගෙ හිතටනං දැනුනෙ ටිකක් මදිකමක්. ඒ හින්දම තමයි ඔහු අද නාවලපිටියෙ සයිබු ගාවට ගිහින් වලව්ව ටිකක් අලුත් වැඩියා කරලා දාන්න අතමාරුවක් ඉල්ලන්න යන්න හැදුවෙ. මීට පෙරත් ගත්තු සල්ලි වගයක් දෙන්න තිබුනත් කවදාවත් නෑ බෑ නොකියා උදව්වක් කරන්නෙ ඒකා විතරයි . නිලමෙට මතක් උනේ ගියපාර නගරෙට ගියපු වෙලාවෙදි සේතුවාගෙ කඩේ පැත්තට යනකොට ඈත තියාම ඒකා තමන් දැකලා හිමිහිට වහන් වෙච්චි හැටි.

" ගුණමකුවො.... "

දැහැනට සමවැදුනාක්මෙන් කල්පනා ලෝකෙක තනිවෙලා හිටපු නිලමේ ගැස්සිලා ඇහැරුනේ කොහේදෝ ඉඳපු හූනෙක් එකපාරටම ඔහුගෙ බඩ උඩට වැටුනහම. බඩට වැටුනු හූනා එතනින් බිමට පැනලා ආපහු බිත්තිය දිගේ වහලට නැගගද්දී ඔහු ඒ දිහා බලාගෙන හිටියේ කැලඹුනු සිතින්. හූනු සාස්තරේ අකුරටම විශ්වාස කරන නිලමේ එතනින් නැගිට මිදුලට බැස්සේ කැළඹුනු හිත අස්වසාගැනීමේ අරමුනින්.

............

බාගෙට මැරීගෙන යන බුලත් පාත්තිය අසලට ගියපු නිලමේ මෝරලා වේලුනු බුලත් කොල කීපය අතරේ තවමත් ඉඳහිට එහෙන් මෙහෙන් දලුලන බුලත් කොලයක් දෙකක් කඩාගන්නට දැරුවේ මහත් වෙහෙසක්. කාලයක් තිස්සේ කීයක් හරි හොයාගත්තු බුලත් පාත්තිය. ඒ දවස්වල අහල ගම් හතකවත් තිබුනෙ නෑ ඒවගේ සරුවට හැදිච්ච බුලත් පාත්තියක්. හරියට හල්මිල්ලා කොලවගේ. එහෙව් තිබ්බ බුලත් පාත්තිය . දැන් දවස් කීපයක් ඉඳලා මැරීගෙන යන්නෙ බලාගෙන ඉන්නකොට . නිලමෙටනම් හිතෙන්නෙම ගිය මාසෙ බුලත් ගන්නට ආපු මයිලපනාවෙ බුලත් මුදලාලිගෙ ඇස්වහ වදින්නට ඇතිබවයි.

" ෂා.. ඔය තියෙන්නෙ.. පංකාදු බුලත් කොටුවක් ..
මගෙ අම්මේ මෙච්චර ලොකු බුලත් කොල ටිකක් මම මේ දැක්කමයි. "

ඇස්ගෙඩි දෙකත් ලොකුකරගෙන බුලත් මුදලාලි එහෙම කිව්වෙ සරුවට හැදිලා තිබුනු බුලත් කොටුව දිහා බලාගෙන . ඔහුට නොපෙනෙන්නට පැත්තකට ගියපු නිලමේ

" තූ... තූ... තූ... "

කාරා කෙල පිඬු තුනක් එවේලෙම බිමට ගැහුවේ ඇස්වහක් නම් වදින්නෙපා යැයි හිතින් හිතාගෙන . ඒත් වැඩක් උනේ නෑ. කරන්න පුලුවන් සියලු වෙදහෙදකම් කලත් දැන් ඒ සියල්ල අතහැරලා මැරෙන්නට ඉඩදීලා බලාගෙන ඉන්නෙ වෙන කරන්නට දෙයක් ඉතිරිවෙලා නැතිකමට.

බුලත් වැල් යන්නට ගසා තිබුනු ඇදඋනු මුක්කු අතරින් පෙනෙන්නෙ ගරාවැටෙන වලව්වෙ සොල්දරය. නිලමෙගෙ හිත දිව ගියේ අතීතයට .

එකල ගමේ ආරච්චිල තනතුර දැරූ තම සීයා නිතර වාඩිගන්නෙ ඉස්තෝප්පුවේ කෙලවර තියෙන කලුවර පුටුව උඩ. ගමේ සිදුවන ඕපාදූප වගේම තමන්ට සිද්ධඋනු කරදරයක් අවනඩුවක් ගැන කියන්නටත් වලව්වට එන මිනුසුන්ගෙන්නම් කොයි වෙලාවකවත් අඩුවක් තිබුනෙ නෑ. හාන්සි පුටුවෙ දිගෑදී කකුලත් උඩින් දාගෙන දුම්කොල පුරවපු පයිප්පෙත් කටේ ගහගෙන ගමේ මිනිස්සුන්ගෙ අවනඩු සීයා ඒකාලෙ බොහොම සාවදානව අහගෙන ඉන්න විදිහ නිලමෙට තවමත් මැවිලා පේනවා. වලව්වට ඇතුල්වෙන ඕන කෙනෙක් ඒ කාලෙ මිදුලෙ පඩිපෙළ ගාව ඉඳන් ගේ ගාවට එන්නෙ කරේ තියෙන සාලුවත් අතට අරගෙන දෙකට තුනට නැවිලා බොහොම ගරුසරු ඇතිව. දෙපසින් උඩට කරකවා ඇති ඝන උඩු රැව්ලත් , කොන්ඩ කැව්මක් වන් කොන්ඩය මැද්දෙන් නිතර හිසේ ගසාගෙන සිටින අං පනාවත් , ගමනක් බිමනක් යන්නට නිතර අඳිනා පිත්තල බොත්තම් ඇල්ලූ කලු කබායත් ඔහුට ගෙනදුන්නේ ගාම්භීර පෙනුමක්.
ගොයම් කපා අස්වැනු නෙලන කාලයට නිලමේගොඩ පරම්පරාව සතු අක්කර සිය ගානක කුඹුරු අස්වැන්න වලව්වට රැගෙන එන්නෙ ගැල් පිටින්. එහෙම රැගෙන එන අස්වැන්න වලව්වෙ මිදුලෙ ගොඩ ගහනහැටි නිලමෙ පොඩිකාලෙ සොල්දරය උඩටවෙලා බලාගෙන ඉන්නෙ බොහොම ආශාවෙන් . එහෙම ගොඩගහපු අස්වැන්න වලව්වේ ගබඩා කාඹරේ පිරෙන්න අරගත්තායින් පසු ඉතිරි කොටහා සීයා ආපහු ගම්මුන්ටම බෙදලා දෙනහැටි ඔහුට තවමත් මතකයි.
එහෙමට තිබුනු වලව්වට අද වෙච්චි දෙයක්. අවුරුදු ගනනාවකින් සුදු පිරියම් නොකල බිත්තිවල හුඟක් තැන්වල බදාම ගැලවී ඇත්තේ පතුරු පිටින්. සිංහල උළු සෙවිලි කරපු වහලේ හිල්වෙච්චි උළු කැට අතරින් කාන්දුවෙන වතුරෙන් තෙමිච්චි බිත්තිවල බැඳුනු දියසෙවල වේලී එහි දැන් ඇත්තේ අමුතුම පැහැයක්. ඉස්සර අවුරුද්දෙ තුන්සිය හැටපස් දවසෙම පිරිලා තිබුනු ගබඩා කාඹරයේ අද ඇත්තෙ දිරාපු පරන ලී බඩු කිහිපයක් හා කැඩුනු පුටු දෙක තුනක් විතරයි . මේ හැමදේකටම මුල තාත්තගෙ බීමත්කමයි සූදුවයි. සූදුවට ඇබ්බැහිඋනු තාත්තා නිලමේගොඩ පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන ආපු ඉඩ කඩම් කුඹුරු වතුපිටි කුනු කොල්ලයට උගසට තියලා සූදු කෙලින්න ගත්තෙ කිසි කෙනෙක්ගෙ අවවාද තුට්ටුවකට මායිම් කරන්නෙ නැතිව . අවසානයේ රට වටේටම ණය වෙච්චි තාත්තා ඒ ණය ගෙවාගන්න බැරිව වත්ත පල්ලෙහා කොස්ගහේ බෙල්ලෙ වැලදාගෙන එල්ලිලා මැරුනේ මේ වලව්වයි තවත් එක කුඹුරු ඉඩමකුයි විතරක් ඉතිරි කරලා.

මතු සම්බන්ධයි .


Comments System WIDGET PACK