රැය එච්චර කළුවර නෑ | Raya Echchara Kaluwara Na
රැය එච්චර කළුවර නෑ
.....................
“රැය එච්චර කළුවර නෑ,, කෙටි කතාව රචනා කරමින් සමස්ථ ලංකා පාසල් අතර පැවැති කෙටි කතා තරගයෙන් හොදම කෙටි කතාවට හිමි සම්මානය දිනා ගනිමින් අප සදගල තැන්න විදුහල් මෑණියන් ශ්‍රී ලංකාවේ ඉහළින් ඔසවා තබා එදා මෙදාතුර ඉතිහාසයේ අප පාසලට ඉමහත් කීර්තියක් අත්පත් කර දී පාසල රනින් බැබල වූ දිරිය දියණියට හිමි ඇගයීම් රන් කුසලානය ලබාගනු ලබන්නේ.....
නිමේෂා කරුණාරත්න
2006 වර්ෂයේ සදගල තැන්න මහා විද්‍යාලයේ විශිෂ්ටයන් ඇගයීමේ සාහිත්‍ය කලා මහෝත්සවයේ ප්‍රධාන ශ්‍රවණාගාරය තුළ රැව්පිලිරැව් දුන් නිවේදිකාවගේ හඩයි...ඒ
නිමේෂා ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට මීට වසර තුනකට පෙර සදගලතැන්න ප්‍රදේශයට පැමිණියාය. ඇයට සමස්ථ ලංකා පාසල් කෙටිකතා තරගයෙන් හොදම කෙටි කතාවට හිමි සම්මානය ලැබෙන්නේ එකොළහ වසර ශිෂ්‍යාවක් ලෙස සදගල තැන්න විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටිය දීය. ඇය තම පුංචි අම්මාගේ නිවසේ සිට පාසලට පැමිණි අතර පාසලේ ශිෂ්‍ය ප්‍රජාව අතර ජනප්‍රිය වන්නට වැඩි කලක් ගත නොවීය. පාසල් දරුවන් අතර ඉතා ජනප්‍රිය සහෝදර ශිෂ්‍යාවක වුවද පාසලේ බොහෝ ගුරු භවතුන් ඈ දෙස බැලුවේ වපර ඇසිනි. ඇයට ශිෂ්‍ය නායක තනතුරක් ලබා දිය යුතු බව බොහෝ පිරිමි ගුරුවරු ප්‍රකාශ කලද පාසලේ ගුරු තුමියන් බහුතරයක් ඊට විරුද්ධ වූහ. තවත් කෙනෙකුගේ දියුණුව හා හැකියාවන් දැකීමට අකමැති අති බහුතරයක් වූ ගුරුවරියන් අතර මේ පාසලේ ද සිටියේ එවැන්නියන් බහුතරයකි.
ඕකි ඇඹිලිපිටියෙන් මෙහාට ගෙනත් දාන්ට ඇත්තේ මොකක් හරි වල්කමක් කරල වෙන්ට ඇති....
පේන් නැද්ද අගර දගර දම දමා දමා යන හැටි
මටනං ඕකි පේන්ට බෑ..
මෙහේ එවුනුත් ඕකි හින්ද තමා නරක් වෙන්නෙ..
කොහෙංවත් ආපු එකියක්ට ශිෂ්‍ය නායක කං දෙන්ට ඔනෑයැ ඇයි මෙහේ උං නැතුවයැ....
අනේද කියන්නේ.......
දිවා ආහාරය ගන්නා අතර තුරේදි ගුරුතුමියන් විසින් ඩෙසට් එකට ගන්නා ලද්දේ නිමේෂාය. මේ කතාබහ සදහා නායකත්වය සැපවූයේ සදගලතැන්න ගම්මානයේ ම ගුරුතුමියක් වූ සුනන්දා විසිනි. ඇයගේ පළමු පත්වීම මීම වසර තිහකට පමණ පෙර මෙම විද්‍යාලයට ලැබී තිබේ. සේවයෙන් ඉවත්ව යාමට පැවතියේ කෙටි කාලයකි. සදගලතැන්න ගම්මානයේ දරුවන්ට ඇය සලකන ලද්දේ වහල්ලුන්ට මෙනි.
මුන්ට උගන්නන්ට හොද නෑ..
රබර් කෑල්ලක..තේ වත්තක වැඩකරගන්ට කවුරුවත් නැති වෙනවා..
පොල් ගෙඩියක් කඩාගන්ට මිනිහෙක් නැති වෙනවා..
දැනටත් අපේ වතුපිටිවල වැඩ කරගන්ට වත්තෙ මිනිස්සුන්ට පණිවිඩ යවන්ට වෙලා...
ඔය නම ගම ලියා ගන්ට ඉගැන්නුවාම මදෑ.. ඕකුං හද අල්ලන්ටයැ..
සුනන්දා හැමදාමත් සදගලතැන්න ගම්මානයේ දරුවන්ට චිංචිමානවිකාවක වූවාය. මේ බව ගමේ බොහෝ දෙනා දැනගෙන සිටියද ඇය පාසලෙන් එලවා දැමීමට කිසිවෙක් සමත් නොවූහ. සබරගමුව පලාත් සභාවට යවන පෙත්සම් සියල්ලම කුණු කූඩයට දම්මන්නට ඇය සමත් වූයේ ඇයගේ අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරක් දැරූ සහෝදරයා මාර්ගයෙනි. දරුවන්ට ගුරුවරුන්ට දෙමාපියන්ට කරන අසීමිත අඩම් තේට්ටම් ගැන ඉහළ නිලධාරීන්ට ලියා යැව්ව ද සුනන්දා යහතින් සිටී. පිට ප්‍රදේශයකින් පාසලට පැමිණිය ද නිමේෂාගේ අනාගතය අදුරු කරන්නට අවශ්‍ය සියළු දේවල් සිදු කිරීමට සුනන්දා වග බලා ගත්තාය. ගුරුවරුන්ගේ දරුවන් ඉගෙන ගන්නා පන්තිවල ප්‍රථම, දෙවන, තුන්වන ස්ථාන ලබා ගැනීමට අහිංසක දරුවන්ට කෙදිනකවත් නොහැකි විය. පාසලේ විවිධ තරග ඉසව් වලින් ද ජය අත් කර දුන්නේ ගුරුවරුන්ගේ දරුවන්ටය. මෙම දේවදත්ත ක්‍රියාකාරකම් පසු පස සිටියේ සුනන්දාය. සුනන්දා පිට දමා තමන්ගේ දරුවන් ඉහළ දමා ගැනීමට වෙර දැරූ ගුරුවරියන් පිරිසක් ඒ අතර වූහ. සංසාරේ පෙර ආත්මයක කරන ලද පුණ්‍ය කර්මයක් නිසා ඈට ගුරු තනතුරක් ලැබුණ ද නැවත තිරිසන් ආත්මයන් මිස මිනිස් ආත්මයක් නම් නොලැබෙන බව දිනක් ගැමියෙක් විසින් පැවසීය.
නිමේෂා ඉතා දක්ෂ මෙන්ම විවිධ හැකියාවන් ඇති දරුවෙක් බව තේරුම්ගත් කෙනෙක් මේ පාසලේ සිටියේය. ඒ අමිත් සිරිවර්ධන නම් වූ ගුරුවරයාය. නිමේෂා සදගලතැන්න විද්‍යාලයට ඇතුලත් වී කෙටිකලකින් මෙම ගුරුවරයා මේ පාසලට පැමිණියේය. දේශපාලන විද්‍යා ගුරුවරයෙක් වූ අමිත් ගුරුතුමා විවිධ ක්ෂේත්‍රයන් පිලිබදව හැකියාවන් සහිත ගුරුවරයෙක් විය. දේශපාලන විද්‍යාව පිලිබදව උපාධිධාරියෙක් වුවද ගායනය, වාදනය, නර්තනය, ගිත රචනය, නවකතා, කෙටි කතා රචනය, නාට්‍ය නිර්මාණය, ඇතුලු බොහෝ කලාත්මක පැති පිලිබද ව උපන් හැකියාවක් හා දැනුමක් සහිත අයෙක් විය. නිමේෂා පාසලේ පැවැත්වෙන සියලු තරග සදහා ඉල්ලුම් කළාය. කලාප, පලාත් හා සමස්ථ ලංකා, මට්ටමෙන් පැමිණි තරග සදහා ඉල්ලුම් කිරීමට අමිත් ගුරුතුමා විදුහල්පති තුමා සමග සාකච්ඡා කර අවස්ථාව උදාකර දුන්නේ නියෝජ්‍ය විදුහල්පතිනිය වූ සුනන්දාට හොරෙන්ය. සුනන්දා එක ළමයෙකුට දාන්ට පුළුවන් තරග දෙකකට විතරයි යනුවෙන් නීතියක් හදා තරග සදහා නිමේෂා ඉල්ලුම් කල සමහර ඉසව්වල ඉල්ලුම්පත් ප්‍රතික්ෂේප කළාය...
මැඩම් මට රචනා තරගෙට දාන්න ඇප්ලිකේෂන් එකක් දෙනවද?
ඔය ළමය විතරක් දාල හරියන්නෙ නෑනෙ.. අනිත් ළමයිනුත් දාන්ට එපායැ..
යනව පංතියට..
උසස් පෙළ විෂයන් ලෙස නිමේෂා තෝරාගෙන සිටියේ සිංහල, බෞද්ධ ශිෂ්ටාරය සහ දේශපාලන විද්‍යාවයි..නිමේෂා සමග දේශපාලන විද්‍යාව හැදෑරුවේ සුභද්‍රා පමණි. පාඩම් දෙක තුනක් ඉගැන් වූ පසු ඒවා තේරුම් ගන්නා අයුරු හා පිලිතුරු ලියන ස්වභාවය අනුව නිමේෂාට පැහැදිලි අනාගතයක් ඇති බව අමිත් ගුරුතුමා තේරුම් ගත්තේ පරිණත විඤ්ඤානය මගිනි. කලාත්මක නිර්මාණ වලට නිමේෂා කැමැත්තක් දක්වන බව හා ඊට උනන්දු වන බව දැනගෙන සිටි අමිත් ගුරුතුමා නිමේෂාගේ කලාත්මක හැකියාවන් ඔපමට්ට්ම් කර ගැනීමට උදව් කිරීමට කටයුතු කළේය. සිංහල ගුරුතුමා තමන්ගේ වගකීම නිසි අයුරින් ඉටු කල අතර නිමේෂාගේ හැකියාවන් තේරුම්ගෙන ඇයට නිවසේදී කරගෙන ඒමට වැඩි වැඩ කොටසක්ද පැවරුවේය. කියවීම සදහා සුදුසු පොත්පත් ගැනද විස්තර ලබා දුන්නේය. ඒ සියල්ල නියමාකාරයෙන් කරගෙන ආ නිමේෂා සිංහල ගුරුතුමාගේ ගුරුසිත කෙදිනකවත් රිද වූයේ නැත. එහෙත් බෞද්ධ ශිෂ්චාරය ගුරුතුමිය පන්තියට ආවේ ඉද හිටය. ඇය බොහෝ දිනවල නිවාඩු ලබාගත් අතර පන්තියට පැමිණි අවස්ථාවල වැඩිපුර කළේ නිදා වැටීම හා බැනවැදීමයි. සුනන්දා විසින් හසුරුවන ලද රූකඩයක් වූ ඇය බෞද්ධ ශිෂ්ටාචාරය ඉගැන් වුව ද අශිෂ්ට දුෂ්ට චරිතයක් විය. ළමුන් සමග කෙදිනකවත් සිනා නොවුණු ඈ තම වාසිය වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කළාය. එතුමිය දිනක් ගුරු අත්පොත නිමේෂාට ලබා දී එය පොටෝ කොපි කරගන්නා ලෙස පැවසුවාය. එය නිතර නිතර කියවාගත් නිමේෂා නොදන්නා කරුණු පුස්තකාල පොත්පත් කියවීමෙන් ලබා ගත්තාය. අමිත් සර්ද හිතවත් ගුරුවරයෙකුගෙන් සටහන් වගයක් ලබා දී තිබිණි...
බෞද්ධ ශිෂ්චාරය උගන්වන ගුරුතුමිය පන්තියට නොපැමිණෙන කලච්ඡේද වලදී අමිත් ගුරුතුමා නිමේෂාගේ පන්තියට ගියේය. බොහෝ දිනවල පන්තියේ සිටියේ නිමේෂා පමණි. සුභද්‍රා පාසල් ආවේ කලාතුරකිනි. ඇයට ඉගෙනීමට උපන් හැකියාවක් පැවතිය ද අධ්‍යාපනයේ වටිනාකම තේරුම්ගෙන නොතිබිණි.
සර් කෙටි කතාවකයි නව කතාවකයි වෙනස අපේ සිංහල සර් කියල දුන්න..
නිසදැස් කවි ලියන්නේ කොහොද..සර් ?
සදැස් කවි ලියන්නෙ කොහොමද..සර් ?
ළමයො මම ඔයාගෙ දේශපාලන විද්‍යා ගුරුවරයනෙ..මම ඕව ගැන පරතෙරටනං දන්නෙ නෑ.. ඒත් දන්න විදිහට කියල දෙන්නං..නිමේෂා හා අමිත් සර් අතර මෙවැනි සාකච්ඡා පන්ති කාමරයේදී සිදු වූ අවස්ථා බහුල විය...දොළහ වසර පන්තිය තිබුණේ උස්කදු පන්ති තුනක පිහිටා තිබූ පාසල් ගොඩනැගිලි තුනේ ඉහළම කදු ගැටයේ ගොඩනැගිල්ලේ වේදිකාව තුලය. අනෙකුත් පන්ති පහත් බිම මත ස්ථානගත කර තිබිණි. නිමේෂා හා අමිත් සර් දවසේ වැඩි කාලයක් පන්තිය තුළ අධ්‍යාපන කටයුතු කරගෙන යන අයුරු අයාසයකින් තොරව අන් සියළු දෙනාට දැකගත හැකිවිය. මෙම ගුරුගෝල සම්බන්ධතාව දෙස වපර ඇසින් බැලීමට අවශ්‍ය ප්‍රථමාධාර සුනන්දා විසින් ඇයට හිතවත් උසස් පෙළ දරුවන්ට හා සමහර ගුරුවරුන්ට ලබා දී තිබිණි. නිතර නිතර මෙම විෂබීජය පිටස්තරින් ආලේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඉතා කෙටි කලකින්ම නිමේෂා අමිත් සර් අතර පැවැති සම්මත ගුරුගෝල සම්බන්ධතාව අසම්මත පෙම් පලහිලව්වක් ලෙස පාසල තුල මෙන්ම සදගලතැන්න ගම්මානය තුලද පතුරුවා හරින ලදී.
අමිත් සර් හැරෙන පොට නම් හරි නෑ ලොකු සර්
කොයි වෙලාවෙත් අර දොළහෙ පන්තියෙ නිමේෂා එක්ක කොමලේ
ඒකිත් මහ සක්කර වට්ටමක්නෙ
දැන්ම මොනව හරි කරන්ට වෙයි සර්
නැත්තං අපේ නම්බුවත් ඉවරයි
පාසලේ ගුරුවරුන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර පාසල් භූමියේ අතන මෙතන අවිධිමත් කුඩා කුඩා රැස්වීම් පැවැත්විණි. කාලච්ඡේද වෙන් කරනු ලබන සීනුව නාද වුවද සමහර ගුරුවරුන්ට එය නෑසිනි. ඔවුන් පංතිකාමර වලට ගියේ කාලච්ඡේදයෙන් භාගයක්ම අවසන් වූ පසුවය. සදගලතැන්න ගම්මානයේ කඩපිල්වල හා කුස්සිවල නිමේෂා අමිත් පෙම්පලහිලව්ව ඒ හක්කෙන් මේ හක්කටත් මේ හක්කෙන් ඒ හක්කටත් හරව හරවා තලුමරන්නට විය.
අමිත් සිරිවර්ධන නම් වූ හදවත රත්තරං ගුරුතුමාට මේ සියල්ල ආරංචි විය. දිනපතා පාසල් පැමිණි අමිත් සර් ට නිමේෂා දැකගත නොහැකි විය. ඇයට පාසල් ඒම තහනම් කර තිබිණි. සුනන්දාගේ උසි ගැන්වීම මත විදුහල්පති ඇතුලු පිරිසක් මෙම තීරණය ගෙන තිබිණි. තහනම් නියෝගය නිසා නිමේෂා පාසලට ආවේ නැත. උසස් පෙළ විභාගය සදහා පෙනී සිටීමට ඇයට පැවතියේ කෙටි කාලයකි. පාසලට පැමිණීම තහනම් කර තිබුණ ද නිමේෂා අද එතැයි... අද එතැයි අමිත් සර් බලාපොරොත්තුවෙන් සිටියේ කුඩා දරුවෙකු මෙනි. තව දුරටත් නිමේෂාගේ ඩෙස්ක් එක හිස්ව පවතින අයුරු දැකීමෙන් අමිත් සර්ගේ හදවත කම්පා විය. සෑම දිනකම පාහේ අමිත් සර් කාටත් හොරෙන් ඇගේ පංති කාමරය නිරික්ෂණය කළේය. ඇය නොදකින අමිත් සර් තවත් දක්ෂ දරුවෙක් රටට අහිමි කිරීමට සම්මාදම් වූ සුනන්දා ඇතුලු දෙව්දත් කුලේ සැමට වෛර කළේය. තමා දකින හැම මොහොතකම නියෝජ්‍ය විදුහල්පතිනිය වූ සුනන්දාගේ මුවගින් පිටවන ජයග්‍රාහී සිනහව පිලිබදව අමිත් සර් කල්පනා කළේ ලිප ගිනි මොළවනතෙක් කකුළුවා වින්ද සැපතත් මෙබන්දක් ලෙසය. ඒ තුළ දරුවෙකුගේ අනාගතය සුන්නද්ධූලි කර දමා තමන් සතුටුවන ආනන්තරීය පාපකර්මය මිස වෙනත් දෙයක් නොමැති බව අමිත් සර් වටහා ගත්තේය.
තමන්ට තම පාසල තුල මුහුණ දීමට සිදු වී ඇති ගැටලුව පිළිබදව තම දයාබර බිරිද වූ සකුන්තලා නිරතුරුව දැනුවත් කල අමිත් සර් කෙසේ හෝ විභාගය කට උඩ තියාගෙන සිටින නිමේෂා මෙයින් බේරා ගැනීම සදහා උදව් කරන ලෙස බිරිදගෙන් ඉල්ලා සිටියේය. ඇය යෝජනා කළේ නිමේෂාගේ නිවසට ගොස් ඇයගේ පුංචි අම්මා සහ බාප්පා හමු වී ඔවුන්ට මේ ගැන කියා විසදුමකට ඒම සුදුසු බවයි.
තම බිරිදගේ යෝජනාව හොද බව වටහාගත් අමිත් සර් තම පියාගෙන් ලත් දායාදයක් වූ ෆොක්ස් වැගත් කාර් රථයට නංවාගත් තම බිරිද හා දරු දෙදෙනා සමග නිමේෂාගේ පුංචි අම්මාගේ නිවෙස බලා පිටත්ව ගියේය. කිසිදු වෙනසක් මුවින් නොපෙන් වූ නිමේෂාගේ පුංචි අම්මා සහ බාප්පා ජගත් සර් ඇතුලු පිරිස ගෞරවයෙන් පිලිගෙන වාඩිවෙන ලෙස ආරාධනා කළහ. තමන් පිලිබදව අහිතකර හැගීමක් නිමේෂාගේ ගෙදර අය තුළ ඇතිකරගෙන නොමැති බව ඉරියව් මගින් අවබෝධ කරගත් අමිත් සර් නිරාමිස සතුටක් වින්දේය. නිමේෂාගේ අනාගතය සුභදායීව විසදා ගැනීමට හැකි වාතාවරණයක් ඇති බව දැනුණු අමිත් සර්ගේ හිතට තව තවත් දිරිය ශක්තිය ලැබිණි. නිමේෂාට තමන්ගේ නිවසට අමිත් සර් පැමිණ ඇති බව දැණුනු මොහොතේ එක් වරම හයියෙන් අඩන්ට සිතිනි. දෑස්වලින් කදුලු පනින්නට ඉඩ දී ඉකි ගැසීම වලක්වා ගත් නිමේෂා තමන් ඇග ලාගෙන සිටි මල් මල් ගවුමේ කොලරය බලෙන් දෑස් ලගට ලංකරගෙන තෙරපාගෙන සිටියාය. වැඩි වේලාවක් යන්නට මත්තෙන් පුංචි අම්මාගේ හඩට අවනත වූ නිමේෂා කාමරයෙන් සාලයට පැමිණ දණ බිම ඔබා අමිත් සර්ටත් සකුන්තලා මිස්ටත් ආචාර කළාය. තමන්ගේ ජීවිතයට එදා මෙදා තුර වැඩිම වටිනා කමක් ලබා දී සමස්ථ ලංකා මට්ටම රැගෙන ගිය අමිත් සර් කෙරෙහි පැවැති අසීමාන්තික ගෞරවය හා බැදීම සර්ට පෙන්වන්නට දෝ.. නිමේෂා අමිත් සර්ගේ දෙපා ස්පර්ශ කොට වැන්දාය. යම් කෙනෙකුගේ දෙපා ස්පර්ශ කොට නමස්කාර කළ නිමේෂාගේ ප්‍රථම හා එකම අවස්ථාව එය විය.
ජාතික පාසලක ශිෂ්‍ය උපදේශිකාවක් ලෙස කටයුතු කළ අමිත් සර්ගේ බිරිද වූ සකුන්තලා තැනට උචිත පරිදි නිමේෂාගේ මානසිකත්වය තේරුම්ගෙන ඇයට හුදකලාව කතා කිරීමේ අරමුණින් මිදුගේ ගල්වැට අද්දර සරුවට වැඩී තිබූ උගුරැස්ස ගහ යටට එක් කරගෙන ගියේය. අමිත් සර් නිමේෂාගේ පුංචි අම්මා සහ බාප්පා සමග කතා කල අතර තුරදී නිමේෂාගේ බිදී ගිය සිත ශක්තිමත් කරන්නට පලපුරුදු සකුන්තලා ගුරුතුමියට හැකි විය.
කාලයාගේ ඇවෑමෙන් සුනන්දා විසින් ගල්ගසා ඇවිස්සූ දෙබරය යලි යථා තත්ත්වයට පත් විය. සදගලතැන්න ගම්මානයට හා විද්‍යාලයට කැලලක් ඇති කරමින් නිමේෂා හා අමිත් සර් පටලවා ගෙනගිය ආරංචිය සුනන්දා ඇතුලු විද්‍යාලයේ කිහිප දෙනෙකුගේ නිර්මාණයක් බව සෙසු මධ්‍යස්ථ ගුරුභවතුන් හා ගම්මුන් වලහා ගත්හ. නිමේෂාගේ සමස්ථ ලංකා ජයග්‍රහණය නොඉවසූ මූසිල පරපුර ගැන බොහෝ දෙනා පසුව කම්පා විය. කල්ගත වී වුවද නිමේෂාගේ ජයග්‍රහණයට වටිනාකමක් ලැබිණි. උසස් පෙළ ලියා නිවසට වී සිටීමට අකමැතී වූ නිමේෂා අවිස්සාවේල්ල ප්‍රෙද්ශයේ ඇගලුම් කම්හලක සේවයට ගියාය. ඉන් ලත් වැටුපෙන් පුංචි අම්මාගේ හා බාප්පගේ පවුල්බර තරමකින් හෝ සැහැල්ලු කළාය.
හිරු එන්නට පෙර ගාමන්ට් බස් රථයට ගොඩවන නිමේෂා හිරු බැසගොස් හෝරා කීපයකින් පසු නිවසට පැමිණේ. නිමේෂාටත් නොදැනීම යමක් සිදුවෙමින් පැවතිනි. තම බස්රථයේම ගමන් කළ සුපුන් වීරසේකර නම් වූ ඇගලුම් කම්හලේ සුපවයිසර් වරයෙකු ලෙස සේවය කල තරුණයෙකු නිමේෂාගේ සිත පැහර ගනිමින් සිටියේය. මේ නිමේෂාගේ කුලුදුල් ආදරයයි. ආදරය හෝ ඒ හා ඈදුණු සෙසු ක්‍රායාකාරකම් පිලිබදව නිමේෂාට අවබෝධයක් නොතිබිණි. මේ සම්බන්ධය ඉතා වේගයෙන් දලු ලා වැඩෙන්නට ගත වූයේ ඉතා කෙටි කාලයකි. නිමේෂාගේ පණිවිඩ සුපුන්ටත් සුපුන්ගේ පණිවිඩ නිමේෂාටත් රැගෙන ගියේ ඔවුන් සමගම දිනපතා බස් රථයේ ගමන් කළ තරිදු විසිනි.
ආදරයේ සුන්දරත්වය අත් විදිමින් සිටි නිමේෂාට තවත් සුන්දර සිහිනයක සැබෑ වූ සුභ ආරංචියක් ලැබිණි. ඒ ඒ සාමාර්ථ තුනක් සහිතව උසස් පෙළ සමත් වී ඇති බව සදහන් ආරංචියයි. නිමේෂා සමත් ව සිටියේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙසය. මෙය අදහා ගැනීමටවත් නොහැකි වූ නිමේෂාට පළමුවෙන්ම සිහියට ආවේ තමන්ගේ ජීවිතය කණපිට පෙරලන්නට දායක වූ අමිත් සිරිවර්ධන සර්ය. තම ප්‍රතිඵලය ගැන සතුටු වනවා දුටු පුංචි අම්මා සහ බාප්පා ගැන මහත් ගෞරවයක් නිමේෂාට දැණුනු අතර ඔවුන් මියයන තෙක් ආදරයෙන් රැකබලා ගන්නා බවට තදින් ඉටා ගත්තේය. රෑ පහන්වන තුරු විටින් විට නින්දේ සහ අඩ නින්දේ පසු වූ නිමේෂාගේ සිතේ චිත්‍රපටයක් මෙන් අමිත් සර් තමන්ට මගහසර කියාදුන් ආකාරය හා සුනන්දා ටීචර්ගේ එදිරිවාදිකම් මැවි මැවී පෙනෙන්නට විය.නිමේෂා තමන් නිසා අමිත් සර්ට සිදු වූ හානිය ගැන දුක් වූවාය. ඒ සියල්ලට තමන්ට දැන් නිහඩව පිලිතුරු සැපයිය හැකි බව මතක් වෙද්දි ඇය සතුටු වූවාය. එදා රාත්‍රියේදී තමන්ගේ අලුත් ආදරය ගැන සිතන්නට නිමේෂාට අවස්ථාවක් නොතිබිණි. කොටින්ම තමත් ආදර වන්තියක් බවවත් ඈට නොසිතිනි. මුළු රාත්‍රිය පුරාම අමිත් සර් මවක මෙන් පියෙකු මෙන් නිමේෂාගේ සිතේ ලැගුම් ගෙන සිටියේය.
ගාමන්ට් බස් රථය නිමේෂා එනතුරු වැඩි වේලාවක් නවතාගෙන සිටියේ සුපුන් වීරසේකරගේ බල කිරීම මතය. ඒත් එදා නිමේෂා ගාමන්ට් ගියේ නැත. නිමේෂාගේ අති විශිෂ්ට සාමාර්ථය පිලිබදව නිමේෂාගේ කුලුදුල් පෙම්වතා වූ සුපුන් වීරසේරද ඒ වන විට දැනගෙන සිටියේය. නිමේෂාගේ ප්‍රතිඵලය තුලින් තමන්ටද ගෞරවයක් ලබා ගැනීමට සිතූ සුපුන් නිමේෂා නොපැමිණිමත් සමග ඒ අවස්ථාව ගිලිහී යාම නිසා නිමේෂා කෙරෙහි වෛරයක් ඇතිකර ගත්තේය. මුළු බස් රථයම නිමේෂා ගැන ගෞරවයෙන් කතා කරද්දී ඒ ගෞරවයෙන් කොටසක් සුපුන් ද බලාපොරොත්තු වූයේ නිමේෂාගේ පෙම්වතා ලෙසය.
නිමේෂා තමා ලත් ප්‍රතිඵලය නිසා අනන්තය තෙක් සතුටු වූ සුන්දර රාත්‍රිය කෙමෙන් ගෙවී ගොස් පහන් වෙද්දී ඇගේ සිත නතර වූයේ තමාගේ පුනරුප්පත්තිය සිදු වූ සදගලතැන්න විද්‍යාලයේය. ඇඹිලිපිටියේ සිට පැමිණි දිනයේ නිමේෂාගේ ආච්චි අම්මා ලබා දුන් ටන්ක පෙට්ටියේ අසුරා තිබූ පාසල් නිල ඇදුමක් ලබාගත් නිමේෂා පොල්කටු දෙක තුනක් ලිපේ දමා එහි අගුරු වලින් ඉස්තිරික්ය රත්කරගෙන එහෙන් මෙහෙන් අතුල්ලාගෙන එය ඇදගත්තාය. පුංචි අම්මාට දනනමා ආචාරකොට ඉබ්බෙකුට පියාපත් ලැබුණාත් මෙන් අඩියට දෙකට පාසලට ගියාය. තමන් කල් තියා පාසලට පැමිණ ඇති බව නිමේෂාට වැටහුණේ තවමත් පාසලට ළමුන් හා ගුරුභවතුන් පැමිණෙමින් සිටින අයුරු දැකීමෙනි. සුනන්දා ගුරුතුමියගේ කුලයට අයත් ගුරුවරියන් කිහිපදෙනෙක් නිමේෂා සිටි තැන පසු කරගෙන ගියේ දිවා කාලයට ඇස් නොපෙනෙන වවුල් විශේෂයක් පරිද්දෙනි. තමන් දැක නොදැක්කා සේ ගිය ගුරුවරුන් පිලිබද තැකීමක් නොකල නිමේෂා අමිත්සර් පැමිණ ඇද්දැයි සොයන්නට වූවාය. අමිත් සර් දුර සිට පැමිණෙන නිසා ළග සිටින ගුරුවරුන්ට කලින් පැමිණෙන බව නිමේෂා අද්දැකීමෙන් දැන සිටියාය. සහෝදර ශිෂ්‍යාවකගෙන් අමිත් සර් විදුහල්පති තුමාගේ කාර්යාලයේ සිටින බව දැනගත් නිමේෂා ඉමහත් ප්‍රීතියෙන් දිව ගියාය. දුරසිටම නිමේෂා පැමිණෙනු දුටු අමිත් සර්ට සිතුණේ තමාගේ වැඩිමහල් දියණිය තමා වෙත දිව එන බවයි. අපරිමිත සෙනෙහසින් තමා ඉදිරියේ වැද වැටුණු නිමේෂා දෙවුරෙන් ඔසවා නැගිට්ට වූ අමිත් සර්
“ඔන්න කෙල්ල කප් ගහල කියලා ආරංචියි...,
යනුවෙන් පැවසුවේය. දෑතින් මුහුණ වසාගත් නිමේෂා යලි දෑත් ඉවතට ගත්තේ අමිත් සර්ට නොපෙනෙන ලෙස ලෙස නෙත් කෙවෙනි වෙත ගලා ආ කදුලු බිදුවද පිස දමමිනි. ලොකු සර්ටත් වදින්න.. යනුවෙන් නිමේෂාට අමිත් සර් මතක් කරන තෙක් ඇයට ඒ ගැන සිහි කල්පනාවක් නොතිබිණි.
මෙපමණ කලක් ලැබූ නින්දා අපහාස සියල්ලට නිමේෂා ලබා දුන් පිලිතුර සදගලතැන්න විද්‍යාලයෙන් හා සදගලතැන්න ගම්මානයෙන් බොහෝ කලකට මැකී නොයනු ඇති බවත්, නින්දා අපහාස කරන්නන්ගේ ජයග්‍රහණ තාවකාලික බවත් අමිත් සර් නිමේෂාට කියාදුන් අවසාන පාඩම විය. තව දුරටත් විශ්වවිද්‍යාල ජීවිතය තුලද දක්ෂතා පෙන්වන ලෙසත් නිමේෂාට මතක්කර දුන් අමිත් සර් ජීවිතයේ වටිනා අවස්ථාවන් සියල්ල තමන්ටද දන්වන ලෙසත් පැවසුවේය.
නිමි
