පාවෙන එළිය | Pawena Eliya
පාවෙන එළිය
👉 👉 👉 👉 👉 👉 👉 👉 👉
දහවල් ආහාරයෙන් පසු ලසන්ත පුවත් පත දෙසට දෑස යොමු කලේ පෙරදා මිලදී ගත් ලොතරැයි පත් වල අංක මොනවා දැයි දැන ගැනීමේ අටියෙනි.
" මිල්ල ගහ වැව සුසාන භූමිය අසල රාත්‍රියට හොල්මන්.බිය වූ කීප දෙනෙකුටම සෙත් ශාන්ති ".
එය කියවූ ඔහුගේ මුවට එක් වරම සියුම් සිනහවක් නැඟින.
" ලෝකෙ මෙච්චර දියුණු වෙලත් මේ මෝඩ මිනිස්සු මේ වගේ දේවල් තාමත් විශ්වාස කරනවනෙ "
එම සිතුවිල්ල අවසන් කරන්නට මත්තෙන් එකවරම ඔහුගේ දුරකථනය නාද වන්නට විය.
" මචං ලසන්තය.ලකියයි හේෂානුයි හෙට හවස අපේ ගෙදර සෙට් වෙන්න කතා කරනව.උඹ මොකද කියන්නෙ "
" හෙට නිවාඩු දවසනෙ මට අවුලක් නෑ බන් "
" එහෙනම් අරුන් දෙන්නත් එක්ක කතා කරගෙන මම අනිත් බඩු ටික ලෑස්ති කර ගන්නම්.උඹේ අර යාලුවට කියල හොඳ ඌරු මස් ටිකක් අරගෙන වරෙන් "
" අඩෝ හේෂ.ඌ හෙට කොහෙද යනව කිව්වනෙ බන් "
" එහෙනම් ඉතින් උඹ අද ගෙදර යන ගමන් මස් ටිකක් අරන් ගිහින් හෙට මෙහෙ එනකොට අරන් වරෙන් "
" ගෙදර යන ගමන් පොඩි වැඩකට මට මේනකය හම්බවෙන්න යන්නත් තියනව.හරි කමක් නෑ බන්.මම ඌට කෝල් එකක් දාල කියන්නම්.උඹ අරුන් දෙන්න එක්ක වැඩේ ලෑස්ති කර ගනින්කො "
" හරි බන් එල.එහෙනම් මම තිබ්බ.බායි "
" බායි "
👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉
තම මිතුරා මුණ ගැසී ඌරු මස් ටික මිලදී ගත් ලසන්ත මේනක මුණ ගැසෙන්නට යනට රාත්‍රී අට පමණ විය.
" අඩෝ ලසිය.වරෙන් වරෙන් "
" මම වැරදි වෙලාවකද මන්ද ආවෙ "
" අඩෝ නෑ නම්.මේ මගේ ඔෆිස් එකේ යාලුවො දෙන්නෙක්.හෙට නිවාඩු නිසා අපි අද පොඩ්ඩක් සෙට් උනා "
" හරි අවුලක් නෑ මේනකය.අපිට වෙන දවසක වැඩේ ගැන කතා කරගන්න බැරියෑ.උඹල වැඩේ කරගෙන පලයන්.එහෙනම් මම යන්නම් "
" උඹට පිස්සුද බන්.මගෙ යාලුවො කියන්නෙත් උඹෙ යාලුවො.මෙන්න මෙහෙන් වාඩි වෙයන්.මම ගිහින් තව පුටුවක් අරන් එන්නම් "
" අඩෝ අවුලක් නෑ මේනකය "
" මෙන්න මෙහෙන් වාඩිවෙයන් බන් "
තම මිත්‍රයාගේ ඉල්ලීම නිසා ඔහුගේ මිතුරන් හා තරමක් මධුවිතෙන් සප්පායම් වූ ලසන්ත නිවසට යාමට සූදානම් වන විට මැදියම් රැයට ආසන්න වෙමින් තිබුන.
" එහෙනම් මම දැන් යන්නම් මචං "
" අඩෝ ලසා.කතා කර කර හිටිය මිසක් උඹ බිව්වෙ නෑනෙ "
" නෑ මේනක.හෙට උදේ යාලුවෙක්ගෙ ගෙදර යන්න තියනව.අනික අම්ම කෝල් කරපු වෙලාවෙ මම තව පොඩ්ඩකින් එනව කිව්වනෙ.දැන් මඟ බලාගෙන ඇති "
" හරි බන් එහෙනම් එල.අපි තව දවස් දෙක තුනකින් හම්බවෙමු "
" හරි එහෙනම් මම යනව මචං.පස්සෙ වෙලාවට මෙහෙදිම සෙට් වෙමු "
" හරි මචං.පරිස්සමෙන් පලයන්.බායි "
" බායි මේනකය.මං ගියා "
👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉
මේනකගෙන් හා ඔහුගේ මිතුරන් ගෙන් සමුගත් ලසන්ත තම නිවසට ඒක සඳහා පිටත් විය.ප්‍රධාන පාරෙන් අතුරු පාරට හැරුණු පසු නිවාස කීහිපයක් ඇතත් ඉන්පසුව ඇත්තේ ගම්මාන කීහිපයකට පොදු වූ සුසාන භූමිය හා එක දිගට දෙපසට වෙන් වූ දිගු වෙල්යායකි.මින් පෙර රාත්‍රියෙහි මේ ප්‍රදේශය හරහා කීහිප වරක්ම තනිවම ගමන් කර ඇතත් අද දින මැදියම් රැය එළඹ ඇති හෙයින් සුසාන හූමියට ලංවත්ම ඔහුගේ සිතට සියුම් චකිතයක් දැනෙන්නට විය.එය තමා දහවල් පුවත් පතෙහි දුටු සිරස්තලය මතකයට නැගුණු නිසා යැයි ඔහු අනුමාන කලේය.බොහෝ කලයකින් අලුත් වැඩියාවක් නොකල හෙයින් වෙල් යායේ මැදට වන තෙක් පාරෙහි ගමන් කල යුත්තේද ඉතා සෙමින් හා පරිස්සමෙන්ය.
" මිනිස්සුන්ගෙ විකාර.හොල්මන් කියල දෙයක් නෑ.අනික රෑ වෙලා මම කී සැරයක් මෙතනින් ගිහින් තියනවද.කවදාවත් හොල්මනක් තියා බලු බල්ලෙක් වත් දැකල තියනවද "
ඉතාමත් පාලු ස්වභාවයක් උසුලන මාවත දෙපස ඇති විදුලි බුබුලුද දැවී ගොස් තිබූ අතර පොහොය දිනයට ආසන්න බැවින් ගස් වැල් අතරින් සඳ එළියද තරමක් වැටී තිබුනි.සිතේ ඇති තිගැස්ම නැති කර ගැනීම සඳහා තමන් සමඟම තර්ක කරමින් ඉදිරියට යන ඔහුගේ දෙනෙත බයිසිකලයේ පැතිකන්නාඩියට යොමු වූයේ පසුපසින් දුටු එළියක් නිසාවෙනි.
" ම් ..... කවුරු හරි එනව වගේ "
එහි ස්වභාව අනුව පාපැදියකින් කවුරුන් හෝ පැමිණෙනවා යැයි ඔහු සිතුවේය.එයින් ඔහුගේ සිතට තරමක සැනසිල්ලක් දැනුනු නමුත් එය ළං වත්ම දුටු දෙයින් ඔහුගේ සිත භීතියෙන් පිරී ගියේය.
" මො ..... මොනව.මේ .... මො .... මොකද.ක .... කවුරුවත් නෙ ... නෙමෙයි.ඒ එ ..... එළිය පාවෙනව නේද "
වෙල් යායය ලංවත්ම හොඳින් වැටුණු සඳ එළිය අතරින් ඔහු දුටුවේ පා වෙමින් තමන් පසු පසින් ඇදෙන එළියකි.ටෙනිස් බෝලයකට වඩා තරමක් විශාල ගිනි බෝලය පාවෙමින් තමා පසු පස එන අයුරු තහවුරු කරගත් ඔහු බයිසිකලයේ වේගය වැඩි කලේය.
" ම් .... මේ .... මොකක්ද දෙ .... දෙයියනේ මේ.හැරිල බලන්නත් බ .... බයයි "
බයිසිකලයේ වේගයට වඩා වැඩි වේගයකින් හදවත ගැහෙන අතර කිහිප වරක් උත්සහ කලද ඉතිපිසෝ ගාථාවේ පද මතකයට නගා ගැනීමට ඔහුට නොහැකි විය.තවමත් තමා පසු පස එන අද්භූත එළිය කුමක් දැයි වටහා ගැනීමට නොහැකිව බියෙන් සිටින ලසන්තගේ සිරුරින් දහඩියෙන් පෙගී ගියේය.වෙල් යාය අවසානයේ ගෙවල් කිහිපයක් ඇති නමුත් ඒවා ඇත්තේ පාරේ සිට තරමක් ඇතුලට වන්නය.වාසනාවට මෙන් නිවස පෙනෙන මානයට වන විට ඔහු දුටුවේ මව හා පියා මිදුලට වී තමන් එන තෙක් බලා සිටින ආකාරයය.ඉතා වේගයෙන් පැමිණි ඔහු එක වරම බයිසිකලයේ තිරිංග තද කිරීම නිසා දුහුවිලි අවුස්සමින් විශාල ශබ්දයක් නැගුනි.
" මොකද පුතා මේ.මෙච්චර වේගෙන් එන්න ඔයාට පිස්සුද "
" ඒකනෙ මෙයා මේ ටික මෙච්චර වේගෙන් ආව නම් පාරෙ කොච්චර වේගෙන් එන්න ඇත්ද "
" අනේ තාත්තෙ මම ඕවට පස්සෙ උත්තර දෙන්නම්.දැන් ඉක්මනට ගේ ඇතුලට යමුකො "
බයිසිකලයෙන් බැසගත් ඔහු පැවසුවේය.
" ඇ .... ඇයි පුතේ.ඔයා මොහොකට හරි බය වුනාද "
" කිව්වම අහල ඉක්මනට ගේ ඇතුලට යමුකො.දිව ගිලෙන්න වගේ.අම්ම ඉක්මනට මට වතුර ටිකක් ගේන්නකො "
තම මව හා පියා නිවස ඇතුලට කැදවාගෙන ගිය ලසන්ත දොරෙහි අගුල දමමින් පැවසුවේය.
" මොකක්ද පුතේ උඹට උනේ.ඔච්චර බයවෙන්න තරම් උඹ මොකක්ද දැක්කෙ.මහ ලොකුවට හොල්මන් අවතාර කියල දෙයක් නෑ කියල කයිවාරු ගහන උඹ දැන් හැසිරෙන්නෙ හරියට හොල්මනක් දැකල වගේනෙ "
වතුර වීදුරුව එක හුස්මට බීගෙන යන තම පුතා දෙස බලාගෙන මව පැවසීය.ගත වූයේ නිමේශයකි.ගෙදර ඇති දොර ජනෙල් සියල්ලම පහරු ගාමින් බල්ලන් රෑනක් උඩුබුරන ආකාරය ඇසෙන්නට විය.
" මේ .... මො .... මොකක්ද දෙ .... දෙයියනේ මේ වෙන්නෙ "
එක වරම සිදුවන දෙය වටහා ගැනීමට නොහැකිව ලසන්තගේ මව කීවේය.
" කවදාවත් නැතුව දොර ජනෙල් ඔක්කොම පහුරු ගාන්න තරම් බල්ලො ගොඩක් කොහෙන් ආවද.අනික මෙහෙම උඩු බුර බුර දොර ජනෙල් පහුරු ගාන්න තරම් මොකක්ද උනේ "
" දෙ ... දෙයියනේ.මෙහෙම වෙන්නෙත් මම එනකොට මගදි උන දේ නිසාමද දන්නෙ නෑ "
ලසන්තට තමන් එන විට සිදු වූ දෙය මතක් වූවේය.
" තා .... තාත්තෙ.ම ... මම එනකොට කනත්ත පහුකරන කොටම.ම .... මගේ පස්සෙන් ගිනි බෝලයක් වගේ දෙ .... දෙයක් ආවා "
" ගිනි බෝලයක් වගේ දෙයක් "
" ඔ ..... ඔව්.ඒකයි ම .... මම එච්චර වේගෙන් ආවෙ "
" ගිනි බෝලයක් පස්සෙන් ආව.ඒ මොකද ඒ.එහෙම වෙන්නෙ කොහොමද "
" ද .... දන්නෙ නෑ තාත්තෙ.වත්තට හැරෙන තැනට එනකල්ම ඒක මගෙ පස්සෙන් එනව මම දැක්ක "
සිදුවන කිසිවක් සිතා ගැනීමට නොහැකිව බියෙන් වෙව්ලමින් ලසන්ත පැවසුවේය.
" ම් .... ගිනි බෝලයක් පසෙන් එන්න උඹ කොහෙ හරි වැරදි දෙයක් වත් කරල ආවද "
ලසන්තගේ පියා ඇසුවේය.
" න් .... නෑ තාත්තෙ.ඔෆිස් එකේ ඉදල එන ගමන් සයුරුලගෙ ගෙදර ගිහින් ඌරු මස් ටිකක් අරගෙන මේනකලගෙ ගෙදර ගිහින් කෙලින්ම ගෙදර ආව මිසක් මම වෙන කිසිම දිහාක ගියේ නෑ "
" මො ..... මොනව ඌරු මස්.උඹ මේ යක්කු ගස් නගින වෙලාවෙ කනත්ත ලගින් ඌරු මස් අරන් ආවද "
" ඇ .... ඇයි තාත්තෙ "
" යකෝ ... මෙච්චර රෑ වෙලා පාලු කනත්තක් ලගින් ඌරු මස් අරන් එන්න තොට පිස්සුද.රෑ ජාමේ රවුම් ගහනව මදිවට පෙරේතයො කුම්භාණ්ඩයොත් ගෙදරටම අරන් එනව.කෝ දැන් මස් ටික "
" බ .... බෑග් එකේ "
" ඉක්මනට ඒක ගනින් මෙහාට.නැත්නම් උඹ කරන වැඩ වලින් උඹට විතරක් නෙමෙයි අම්මටයි මටයිත් නූල් බඳින්න වෙනව "
ලසන්තගෙන් මස් ටික ඉල්ලාගත් ඔහුගේ පියා ඉක්මනින්ම එය වහලය අසල හිඩැසකින් එළියට වීසි කලේය.ඒ සැනින් මෙපමණ වේලාවක් දොර ජනෙල් පහුරු ගෑ ශබ්දය නැවතුන අතර බල්ලන්ගේ උඩු බිරුම් හඬද නැවතින.
" මෝඩයො.ඌරු මස් බැදපු පිලී කෑම වලට මල පෙරේතයො ඇදිල එනව කියල උඹ දන්නෙ නැද්ද "
" ම ... මම ඕව වි ..... විශ්වාස කරන්නෙ නෑනෙ තාත්තෙ "
" ඔන්න ඕක තමයි උඹට වැරදුන තැන.මොකද ඉස්සර මිනිස්සු යමක් කිව්ව නම් කිව්වෙ ඒ වගේම යමක් කරා නම් කරේ යම් කිසි හේතුවක් ඇතුව.ඒව විශ්වාස නොකලත් එක පාරටම අහක දාන්න එපා. නැත්නම් මේ වගේ දෙයක් වෙලා උඹ ඔච්චර බය උනා නම් හොල්මනක් අවතාරයක් දැක්ක දවසක මැරිල වැටෙයි "
තම පුතුගේ සිතෙහි ඇති වී ඇති බිය නැති කිරීමට එසේ පැවසූ ලසන්තගේ පියා ඌරු මස් ගෙන ඒම නිසා කිල්ලට අසු වී බිඳී ගිය නිවසේ ආරක්ෂාව නැවත අලුත් කල යුතු යැයි සිතමින් නින්දට ගියේය.
👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉
ඔබ විශ්වාස කලද නොකලද මා මේ අකුරු කලේ සත්‍ය යැයි මා අසා ඇති කතාවකි.හොල්මන් අවතාර හෝ මල පෙරේතයන් සිටියද නොසිටියද ඔබගේ ප්‍රතිචාර මත මා අසා ඇති මෙවැනි කතා කීපයක් ඉද හිට හෝ ඔබ වෙනුවෙන් ගෙන ඒමට සිතා සිටිමි.
කතෲ - සුමිත් ප්‍රියදර්ශණ
