මන්මත් සෙනෙහේ | Manmath Senehe


( විනාඩියක් නැවතිලා කියවලා බලන්න )
            👉👉👉 " කී පාරක් කියන්න ඕන ද ශාන්.....ඔයා ගිය පාරත් කිව්වා ඩ්‍රයිඩල් සාරි ටිකක් අරන් දෙනවා කියලා...තියෙන ටිකත් පරණ වෙලා...එ්වා බ්‍රයිඩ්ස්ලට අන්දන්න බැ..ඕකෙන් මේකෙන් වෙන්නේ මගෙ සැලෝන් එක වහලා දාන්න වෙන එක තමයී....."
   චාතූර්යා මූණත් කළු කරගෙන ශාන් ට හොඳටෝම නෝක්කාඩු ගොඩ ගැහුවා.හිත රිදුණත් ඒ වග සඟවගෙන හිනාවුණු ශාන් චාතූර්යාගේ කර වටා අතක් යවා තමන්ගේ සිරුරට ඇයව සමීප කරගත්තා...ඒ ශාන්ගේ හිතේ වේදනාව පරදා චාතූර්යා වෙනුවෙන් ම මහ පරිමාණ ආදරයක් දළුලාපු නිසාමයී.......
"ඉන්නකෝ මැණික...මේ මාසෙට මං වැඩිපුර වැඩ කරපු නිසා අමතර ගානක් දෙන්නම් කියලා ඊයෙත් බොස් මට කිව්වා..ඒකෙන් මං ඔයාට ඩ්‍රයිඩල් සාරි එක අරගෙන දෙන්නම්...."
    ශාන් චාතූර්යාගේ සවනතට මිමිණුවා....චාතූර්යාගේ මුවඟට සිනාවක් ආවේ ශාන් කියූව ඇසුණු විගසමයි..ඈ සිනාසී ශාන්ගේ පපුවට තුරුල් වුණේ ඒ පපුව දෙතුන් විඩක් ම සිප ගන්න ගමන්මයී.....
"කෝ,.. .දැන්වත් හිනාවෙන්නකෝ...."
    ශාන් ඒ හිස සිප ගනිමින් කිව්වා.
"හිනා වෙලා ඉන්නේ ශාන්..."
"අපේ ආදරේට අවුරුදු අටකටත් ළඟයි නේද මැණික ..මටනම් අද ඊයේ වගෙ...මේ අවුරුද්දේ අගවත් අපේ වෙඩින් එක ගමු...දෙතැනකට වෙලා හිටියා කියලා තේරුමකුත් නෑනෙ....අපෙ වයස යනවා විතරයි ....අපේ ගෙදරිනුත් කැමතියි අපි ඉක්මනට මැරි කරනවනම්..."
"හා ශාන්..."
"ඇයි චතූ.......මොකක්හරි ප්‍රශ්නයක් ද?.."
"නැ නැ ශාන්.......එහෙම ප්‍රශ්නයක් තියෙනව⁣නම් මං ඔයාට කියනවනෙ...."
"මං අම්මලත් එක්ක හෙට අනිද්දම ඔයාලගේ ගෙදර එන්නම්.....අම්මලා කතා කරගෙන හොඳ නැකතකුත් බලවයිනෙ....."
"හා ශාන්....මං අපෙ අම්මලාටත් ආයේ පාරක් මේ ගැන කියන්නම්..."
"ඒක නෙවෙ චතූ..සැලෝන් එකේ වැඩ හොඳට කෙරීගෙන යනවද? ලේඩීස් සැලෝන් එකක් නිසා මට එන්නත් බෑනෙ...."
"ඔයාම හදලා දීපු සැලෝන් එකෙ වැඩ හොඳට නොකෙරුනොත් තමයි පුදුම....හොඳ අතකින් සැලෝන් එක ඕපන් වුණා ම සක්සස් නොවී තියෙයිද?.."
"ඒ වුනාට ඉතින් වැඩ කරන්නෙ ඔයානෙ.."
"මේ දවස් ටිකේනම් ඉතින් වෙඩින්ස් එහෙමත් නෑනෙ...ඒ නිසා බ්‍රයිඩ්ස්ලට ඩ්‍රෙස් කරන්න එන චාන්සස් අඩුයි...මොනාහරි ෂෝ එහෙකට ඩ්‍රයිඩ් කෙනෙක් දෙන්නෙක් ඩ්‍රෙස් කරන්න ආවොත් තමයි..... අනික් පොඩි පොඩි ෆේෂල් වැඩවලට එහෙමත් සැලෝන් එක ඇතුළට ගන්නේ කෝල් කරලා අපොයිමන්ට් එකක් දාගෙන එන අය විතරයි..."
"ඒක හොඳයී..  .මේ වයිරස් එක නිසා අපෙ ජීවිතත් අවදානම් නෙ..."
"ඔව් ශාන්....දැන් අපි යමුද?..රෑ වෙන්නත් කිට්ටුයි .."
"හරි යමු.....ගේ ගාවින් මං ඔයාව ඇරලවලා යන්නම්..."
     චාතූර්යා යතුරුපැදියට නැඟ ශාන්ගේ බඳ වටා දෙඅත් යවා ඔහුගේ පිටට බර වුණා...ශාන් ද වරක් දෙවරක් ඒ සුසිනිදු දෑත් පිරිමැද්දේ පුදුම තරම් ආදරයකින්........
    ශාන් ඔහුගේ ජීවිතයට අමුතු ම මිහිරක් එක් කරගත්තේ චාතූර්යා මුණ ගැසීමෙන් පසුවයි...එය ආදරයක් බවට පරිවර්තනය වූ දා පටන් ශාන්ට තම ජීවිතය ම මහඟු සැනසීමක් වුණා..චාතූර්යාගේ ආදරය දෙවියන් විසින් තමන්ට ලැබුණු තිළිණයක් ලෙස සැලකූ ශාන් ඒ ආදරය පුදුම තරම් භක්තියකින් ඇදහුවා.....
   හදවතේ ඇතුල් බිත්තියේ කකියන ආදරය එතැකැයි මෙතැකැයි කියලා නිම කරන්න බැ...ශාන් සිහිනයෙන් හෙව්වෙත් චාතූර්යාගේ ආදරයමයි.ඒ තරමට ම ශාන් චාතූර්යාගේ ආදරයට අධිමාත්‍රාවෙන් ඇබ්බැහි වෙලා උන්නා........
  කාලය ගෙවී ගියේ ශාන්ගේ හිතේ චාතූර්යා ගැන තිබෙන ආදරය බිඳුවක්වත් අඩු නොවී....චාතූර්යාගේ හිතේ ද ශාන්ට තිබුණු ආදරයේ අඩු වැඩියක් වුණේ නැ...ඒ අතරෙදී චාතූර්යාගේ හිතට ආවේ වෙනම අදහසක්.....ඒ කාය වර්ධන මධ්‍යස්ථානයක් වෙත යා යුතුයි කියලා...තම සිරුරේ හැඩය නිසිලෙස පවත්වාගෙන යාමට කාය වර්ධන මධ්‍යස්ථානයක් වෙත යාම යෝග්‍යයි කියලා ඇයට හිතුණා....රූපලාවණ්‍යගාරය නිම වී ශාන් එනතුරු බලා සිටි සැන්දෑවක චාතූර්යා හිත හිතා උන්නෙත් මේ අදහස ගැන ඔහුට කියන්නටයි......
   යතුරුපැදියේ නැඟී ඈතින් එනු දුටු ශාන් දිහා චාතූර්යා ඇස් පිය නොහෙලා බලා උන්නා..තමන්ගේ සිතැඟි ශාන් කෙසේ හෝ ඉටු කරන වග චාතූර්යා දන්නවා...ඒ නිසා චාතූර්යා කවදත් උන්නේ සියළු බර ඔහුට දී හිතේ සැහැල්ලුවෙන්....
"ශාන්.."
    බීම වීදුරුව තොල ගාන ගමන් චාතූර්යා ශාන් ව ඇමතුවා.....
"මැණික..."
"මට ජිම් යන්න ආසයී...මේ බලන්නකෝ....මං තවත් ටිකක් මහත් වෙලා.....ඩයට් කරත් හරියන්නේ නැ.."
"මමනම් ආස ඔය විදියට..බෝලේ වගෙ....බලන්නකෝ අනෙ හැඩ...කෙට්ටු අටමගල්වලට වඩා ඔහොම ලස්සනයි මැණික...."
"අනෙ,..ඒත් මං ආස නැ ශාන්......මට මේක හිසරදයක්.....ප්ලීස් ශාන්..සතියකට එක දවසක්වත් යන්නම්..."
   චාතූර්යාගේ බැගෑපත් ඉල්ලීම හමුවේ එය ප්‍රතික්ෂේප කරන්නට ශාන්ට නොහැකි වුණා...චාතූර්යා ළග තිබුණේ හිතුවක්කාර ගති පැවතුම්.....තමන් කොපමණ වාරයක් කීවත් පිළිවෙළක් ඇති ඇඳුම් පැළඳුම් ගැන චාතූර්යා සැළකිලිමත් වුණේ නැ.තරුණ වයසේ තරුණියන් නේක විලාසිතාවන්ට කැමති නිසා ශාන් ඒ ගැන ආයේ ආයේ කියන්න ගියේ නැ..කාය වර්ධන මධ්‍යස්ථානවලට සල්ලාල තරුණයොත් එන නිසා ශාන්ට චාතූර්යාගේ ජීවිතය ගැන බිය හිතුණු වාර අනන්තයි අප්‍රමාණයි......
       තරුණියක් හරියට මලක් වගෙ...ඒ මලේ පෙති සිඳුනොත් මලට පැවැත්මක් නැ....ඒ වගේ ම තරුණියකගේ ජීවිතයත් මලක සේ පෙති සිඳුනොත් එහි වටිනාකම අඩුයි කියලා ශාන් දන්නවා.....ශාන්ට අවැසි ඇගේ ජීවිතයේ යහපතයි,....සතුටයි...බියක් දැනුණත් වෙනදාට වඩා ඇයව රක්නා අදහසින් ශාන් ඇගේ ඉල්ලීමට කැමැත්ත පළ කළා.......
     චාතූර්යා හිතේ සැහැල්ලුවෙන් සතියකට දෙවතාවක් වගේ කාය වර්ධන මධ්‍යස්ථානයට ගියා.... ඉන් ඇය ජීවිතයට එක්කාසු කරගත්තේ අමුතු ම වින්දනයක්.....කාය වර්ධන මධ්‍යස්ථානයට එන සියල්ලන් ම පාහේ ඈ හා මිතුරු වුණා...ඒ නිසා ඇයට පාළුවක් කාන්සියක් දැනුණේ නැ..සමහරක් අවස්ථාවල චාතූර්යා ට ශාන් ඉන්නවා නේද කියලත් අමතක වුණා....ඒ අතරෙදි නාඹර තරුණයෙකු ඇයට ලං වෙන්න උත්සහ කළා....ඒ වග චාතූර්යා ට දැනුණත් ඇය නොදැනුණා සේ උන්නා......කුමක්දෝ අහේතුවකට චාතූර්යාගේ සිතෙත් ඔහු ගැන කැමැත්තක් දළු ලා තිබුණා....ඔහුත් ඇයට කතාබහ කරන්න තතනමින් උන්නේ ඊට අවස්ථාවක් උදා වෙන තුරු යි...
    චාතූර්යා වතුර බෝතලය ම බීමෙන් අනතුරු ව ඒ හිස් වූ බෝතලය පසෙක දමා ගතට දැනුණු මහන්සිය නිවා ගැනීමට අසළ කුඩා පුටුවකින් හිඳගෙන උන්නා.....ඇයව දුටු ඔහු ද ඈ අසළට අවුත් ඇයට තම අත පෑවා....
"හායි..අයි ම් මිලාන්..."
    ඔහු ඇයට තමන්ව හඳුන්වා දුන්නා.....චාතූර්යා ද දෙවරක් නොසිතා ඔහුට අතට අත පෑවා.......
"හායි ....අයි ම් චාතූර්යා.."
       ඇයත් ඔහුට තමන්ව හඳුන්වා දුන්නා......
"නයිස් ටු මීට් යූ......"
"මී ටූ......"
"ළඟදී නේද ආවේ..."
"ඔව්..දැන් දවස් දෙක තුනක් ඇති...."
"ඔයා මොනවද කරන්නේ..."
"ජොබ් එකද?.."
"ඔව්...."
"මං බියුටීෂියන් කෙනෙක්.."
"මැරීඩ්ද?.."
"තවම නැ.."
"වයස කීයද?.."
"කීයක් විතර පේනවද?.."
"දහඅටක් විතර.."
"එහෙනම් ඔයාගේ ඇස්වල අවුලක්..."
"ඇත්තට ම කියන්නකෝ.."
"කෙල්ලෝ වයස කියන්න කැමති නැ කියලා අහලා නැද්ද?.."
"ඩෝල් කෙනෙක් වගෙ ඉන්න නිසා ද ඔච්චර ආඩම්බර.."
"මං ආඩම්බර නැ.....අනික මං ඩෝල් කෙනෙක් තරමට ලස්සනත් නැ..."
"ඒ ඔයා දන්න හැටි.."
"ඇයි ඔයා මං ගැන දන්නවද?.."
"ඇයි දැනගන්න බැරිද?.."
"දන්නෑ ඉතින්.."
          චාතූර්යා එහෙම කිව්වේ යටි හිතෙන් මහ පරිමාණ සතුටක් විඳින ගමන්......ශාන්ගේ නොමැති අමුතු වෙනසක් මිලාන්ගෙන් ඇයට දැකගන්නට පුළුවන් වුණා...හරියට චාතූර්යාගේ හිත මිලාන්ට ඇදිලා ගියේ යකඩයක් කාන්දමකට ඇඳිලා යනවා වගෙ.....
"තවත් අගේ නොකර කියන්නකෝ.."
"මට බැ.."
"එහෙනම් මං දෙයක් කියන්නද?.."
"හා.."
"මං ඔයාට කැමතියි.."
"මොකක්..."
"අැයි.."
"නැ..මුකුත් නැ.."
"ඔයාට ⁣බෝයි කෙනෙක් ඉන්නවා කියලා මං දන්නවා......."
"ඒ කොහොමද?.."
"මං දැකල තියෙනවා කීප වතාවකදී ම.....අර ජූස් බා එකට වෙලා කතා කර කර ඉන්නවා...."
"ම්..."
"ඔයාලගේ අෆෙයාර් එක කොච්චර කාලයක්ද කියන්න මං දන්නෙ නැ...චාතූර්යා ...මම ඔයාට ආදරෙයි ..මට තවත් මේ දේ හංඟගෙන ඉන්න බැ...."
"මිලාන්.....මගෙන් වයස ඇහුවෙත් ඒකද?.."
"ඔව්.... .ඔයා මට අවුරුදු ගානක් බාල වුනත්,අවුරුදු ගානක් වැඩිමල් වුනත් මං ඔයාට ආදරෙයි.."
"ඒත්..."
"ඔයාට හරියන්නේ මං වගෙ කෙනෙක්......ඔයා අඳම හොඳ තීරණයක් ගන්න..."
"ඔ...ඔ..යා.."
"මට අවුරුදු විස්සයි.....ඒක ගැන නෙ අහන්න ගියේ..."
"ඔව්,....ඒත් මං ඔයාට වඩා වැඩිමල්...."
"ආදරේට වයස බාධාවක් නෙවෙයී.."
   ක්‍රම ක්‍රමයෙන් චාතූර්යාගේ හිත ඇතුළේ මිලාන් ඇවිදින් ලැඟුම් ගත්තා....චාතූර්යා ශාන්ගේ ආදරයට වඩා මිලාන්ගේ ආදරයට ලොබ බැන්දා.....මිලාන්ගේ ආදරේ ,සෙල්ලක්කාරකම් හමුවේ චාතූර්යා ට ශාන්ව අමතක ම වෙලා ගියා.....⁣ඇය ආසාවෙන් වෙනම ලෝකයක් මවා ගත්තා...ශාන් කොපමණ ආදරය කළත් රක්ෂා කළත් චාතූර්යා ට නොදැනුණු තරම්.......
    චාතූර්යාගේ නේක වෙනස්කම් තිබුණත් ශාන් ඇයට තහංචි දැමුවේ නැ...කොයි තරම් හිත රිදුණත් ශාන් ඒ වේදනාවන් තනිව ම විඳගත්තා.....
    චාතූර්යා ශාන් ව මඟහරින්න හදන හැමවෙලේ ම ඇයට එය කරගන්නට නොහැකි  වුණා....ඒ හැම විටෙක ම ශාන් ඈ ඉදිරියට ආවා....මේ නිසා චාතූර්යා ට ශාන් ව දැඩි කරදරයක් වෙලයි තිබුණේ.....ශාන්ගෙන් මිදෙන්⁣නට තමන් කළ යුත්තේ කුමක්ද?....ඒ ප්‍රශ්නය හැම තිස්සෙ ම වාගේ චාතූර්යාගෙන් ප්‍රශ්න කළා........
    දිනක් චාතූර්යා මිලාන් එනතුරු පළතුරු බීම වෙළඳසැලේ බීම වීදුරුවක් තොල ගාමින් උන්නා.....ඒ අතරෙදී ඇගේ ඇස ගැටුණේ තමන් ඉදිරියට එන මිලාන්ගේ කඩවසම් රුවයි....ඔහු සිනා සී චාතූර්යා අසලට අවුත් පුටුවකින් අසුන් ගත්තා..
"හායි බබා....."
 "හායි.."
    චාතූර්යා මැළවුණු හඩකින් කිව්වා.
"මොකෝ බබා.....මොකක්හරි ප්‍රශ්නයක් ද?.."
"ශාන් මගෙ පස්සෙන් එනවා......කොච්චර මඟ හරින්න හැදුවත් මට ඒක කරගන්න බැ....මට මේක මහ හිසරදයක්..."
"ඔයාට ශාන් ව ඕන ද බබා......"
"ඔයා ශාන්ට වඩා මට ආදරෙයි මිලාන්.....අනික ශාන් දන්නෙ නැ ලයිෆ් එක එන්ජෝයි කරන්න...මං ඔයා ළඟ ඉන්නේ ගොඩක් සතුටින්....මට එයාව එපා.....මට ඔයාවයි ඕන..."
"මටත් ඔයාව ඕන බබා..."
"අපිට හොඳින් ඉන්න එයා කවදාවත් ඉඩ තියන්නේ නැ....මං එයාව එපා කියලා කිව්වත් අහන එකක් නැ....ආයෙ ආයේ මගෙ පස්සෙන් ඇවිත් කරදර කරයි....අපි එයාව ඉවරයක් කරමු මිලාන්....."
"එයාව මරන්න....."
"ඔව්....එයා මැරුනම අපිට කාගෙන්වත් තහනමක් නැ...නිදහසේ ආදරේ කරන්න පුළුවන්.."
   චාතූර්යාගේ හිත පෙළුණේ ම ශාන්ට මරණය අත්කර දීමේ කුරිරු ආශාවකින්.....ඇයට ඒ ආශාව ඉටු කරගන්නම අවශ්‍ය වුණා.......
"ඒත් කොහොමද?.."
"කාටවත් සැක හිතෙන්නෙ නැති විදියට අපි එයාව මරලා දාමු..."
"ඒත්,ඒ කොහොමද?මට හිතාගන්න බැ....."
"රෑ හත විතර වෙනකොට එයා ටවුන් එක පහු කරලා පාලම පැත්තට යනවා......ඒ පැත්තේ තමා එයාගේ ගෙවල් තියෙන්නේ..ඒ පැත්ත හරි නිස්කලංකයි..පාරේ වාහන ගියත් පාලම ගාවට වෙලා නිදහසේ ඉන්න පුළුවන්...ශාන් ගොඩක් වෙලාවට ඒ පාලම ළගට ඇවිත් මට කෝල් ගන්නවා.....තව මං කෝල් ගත්තම ශාන් ඩ්‍රයිව් කරන ගමන් මට කතා කරන්නේ නැ...බයික් එක නවත්තලා තමයි කතා කරන්නෙ....ඒ අවස්ථාවක් බලලා අපි එයාව මරලා දාමු........"
"එහෙනම්,අපිට එයාව ෆලෝ කරන්න වෙනවා..."
""ඔව්...අපි වෙන නම්බර් එකකින් එයාට කෝල් එකක් ගමු...එයා බයික් එක නතර කරලා කෝල් එක ආන්සර් කරයිනෙ....එතකොට කාටවත් පෙන්නේ නැතිවෙන්න අපි එයාගෙ බෙල්ල කපලා දාමු....."
"ඉට්ස් අ ගුඩ් අයිඩියා...ඔයා කෝල් එක ගන්න..මායි මගෙ යාළුවෝ දෙන්නයි ගිහින් වැඩේ කරන්නම්.."
"හා.."
        පසුවදා උදෑසනත් චාතූර්යා උන්නේ ශාන්ගේ මරණය ගැන අහන තුරු ඇඟිලි ගනිමින්......දහවල් වරුවේ චාතූර්යා හොඳින් හැඳ පැළඳ මිලාන්ගේ වාහන අමතර කොටස් අලෙවි කරන වෙළඳසැල වෙත ගියා...ඇය හවස් වනතුරු ම එහි රැදී සිටියා.....
   රූපලාවණ්‍යගාරය වසා තිබුණු නිසා චාතූර්යා ට දුරකථන ඇමතුමක් ගත්තා...එහිදී ඈ කියා සිටියේ හදිසියේ ඇති වූ හිසේ කැක්කුමකින් වෙලාසන නිවසට පැමිණි වගක්.....
"මම එන්නද මැණික..."
      ඔහු සුපුරුදු ආදරයෙන් ම ඇහුවා.
"එපා ශාන්....දැන් ඔයා පරිස්සමින් ගෙදර යන්න...මං හෙට එනවනෙ....හෙට එන්න මාව මීට් වෙන්න......"
     චාතූර්යා කටකොණකින් සිනාසෙන ගමන් කිව්වා..
"හා...වැඩිකමක් වුනොත් බෙහෙත් ටිකක් ගන්න හොඳද....."
"හා ශාන්.."
    චාතූර්යා ඇමතුම විසන්ධි කර සැනසුම් සුසුමක් හෙළුවා..
        හවස හය පසුවත් ම මිලාන් හා ඔහුගේ මිතුරන් නගරයට සේන්දු වුණා.....චාතූර්යා කියූ විදියට ම යතුරුපැදිය නවතා පාලම උඩට වී සිටින තරුණයෙකු ඔවුන්ගේ ඇස ගැටුණා..
"අරූද මෑන්.."
     එක මිතුරෙකු අහද්දී මිලාන් ඔව් කියන්නට හිස වැනුවා.....මිලාන් ශාන් ව චාතූර්යා සමඟ සිටියදී කිහිප වතාවක් ම දැක තිබුණා..ඒ නිසා ඔහුව අඳුනගන්න මිලාන්ට අපහසුවක් වුණේ නැ..මිලාන් චාතූර්යා ට කතා කර ශාන්ට ඇමතුම් ගන්නට එපා කියලා පැහැදිලි කළා..ඒ ශාන් යතුරුපැදියෙන් බැස සිටි නිසා මේ කර්තව්‍යය කරන්නට අපහසු නොවන නිසයි....
   ටික වෙලාවක් ශාන් යතුරුපැදියට ළගට ආවේ එයට ගොඩ වන්නට සිතාගෙනයී....එවිට ම මිලාන් හා ඔහුගෙ මිතුරන් රැගත් ⁣යතුරුපැදිය ද ඒ අසළට ලං වුණා....මිලාන්ගේ එක් මිතුරෙකු කිසිවෙකුටත් නොපෙනෙන්නට තම අතැති කුඩා තියුණු පිහියෙන් ශාන්ගෙ ගෙල කපා පිහිය ද ඈතට විසී කළා.....ශාන් බිම ඇඳ වැටෙද්දී කිසිවකුත් නොවූ ගානට මිලාන් හා මිතුරන් රැගත් යතුරුපැදිය ඉදිරියට ඇදුණා........
         දසත විදුලි ආලෝකය මඳක් තිබුණත් ඈත උන් කිසිවෙකුටත් ශාන් ව පෙනුණේ නැ.....අසල කිසිවෙකුත් නොවූ නිසා ශාන් අඳුරේ ම මහ පොළොව සිප ගත්තා....
    ගෙල පුරා රූරා වැටෙන ලේ දහරා පොළොව දිගෙ ගලා යද්දී,දෙඅැස්වලින් කඳුළුවැල් වැඟිරෙද්දී ශාන්ට තම ඇස් ඉදිරියේ පෙනුණේ කළුවර ජායාවන් විතරයි......
'ම....ගෙ.....  මැ...ණි...ක..'
       ශාන් අසීරුවෙන් මිමිණුවා.....ඒත්,සමඟ ම ශාන්ගේ අඩපණව යන සිරුරේ අවසන් හුස්මත් වාතලයට මුහු වුණා.....
                  දින ගණනක් ගත ව යද්දි කොපමණ සැඟව සිටින්නට උත්සහ කළත් චාතූර්යා හා මිලාන් ,ඔහුගේ මිතුරු කැළත් දැඩි පොලිස් විමර්ශන මත අත්අඩංගුවට පත් වුණා..
         තවත් ආදරයක් අවසානයක් මෙසේ සිදුවුණා......
        නිමි.
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
👉.මේ කතාවට මං තේමා කරගත්තේ මීට දෙදිනකට පෙරාතුව මුළු ලංකාවම ආන්දෝලනයකට හසු කරපු,කණගාටුවක් හිත්වලට එකතු කරපු පුවතක්.....ඔයාලට මතක ඇති......
මට කියන්න ඕනි වුනේ මේකයී
👉.ආදරේ ගැන මෙලෝ හසරක් දන්නෙ නැති ඇතැමුන් අනිත් කෙනාටත් වින කටිනවා..මනුෂ්‍ය ජීවිතයක වටිනාකම දන්නෙ නැති අැය මුළු මහත් සමාජයට ම පිළිලයක්...ඔහුව එපානම් ඇයට තිබුණා ඔහුව නොමරා අතාරින්න....ඔහු හිත හදාගනිවී.....
      ඔබ වීඩියෝ රූපරාමුවලින් දකින්න ඇති ඒ පිරිමි ළමයාගෙ අම්මා අප්පච්චි සහෝදර සහෝදරියෝ අඩපු හැටි..තවත් අය⁣ට වේදනා ලං කරලා තවත් අයව රිද්දලා කවදාවත් සතුටු වෙන්න බැ.......ඒ ජීවිත මැරුනු ගානයී.....දැක්කද ඒ ඇස්වලින් ගියපු කඳුළු ...කාගෙ වුනත් අම්මා අප්පච්චි ට වේදනාවක් දෙන ⁣එක අපාගත වෙන පාපකර්මයක්......
   ඉතින් මං එච්චරක් කියන්නම්....ඉතුරු අදහස් සේරම ඔයාට කියන්නට ඉතුරු කරලා..
ස්තූතියි 
- ආවර්ජනා -


Comments System WIDGET PACK