කඳුළු අතරින් | Kadulu Atharin
කඳුළු අතරින් ( කෙටිකතාව )
👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉
පෙරවදන
( මුහුණු පොතෙන් හමු වූ අපේම සොයුරියකගේ සත්‍ය කතාවක් ඇසුරින් ලියන ලද මෙම කතාවේ සියලුම කරුණු ඇය විසින් මට පවසන ලද සත්‍ය කරුණු වන අතර නම් ගම් පමණක් මනක්කල්පිත වේ.තවද කතාවේ අවසානය පමණක් තවමත් ඉටු නොවූ ඇගේ එකම බලාපොරොත්තුවද වේ )
👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉
" මේ කාර් එක කාගෙද අම්මෙ "
" මගෙ පුතේ "
" ඔය ඇත්තමද "
" ඔව් මැණික "
" ෂා ... ආ ......... මේක නම් නියමයි අම්මෙ "
නිලුපුලීට තම දරුවන් සමඟ නිදහසේ කාලය ගත කිරීමට අවස්ථාවක් ලැබුණේ වසර පහකට පසුවය.එම වසර පහ පුරාවටම ඇය උත්සහ ගත්තේ කවදා හෝ තම දරුවන් සතුටින් තැබීමට හැකි වට පිටාවක් සැකසීමටය.ඇය පැතූ ලෙසටම අද දරුවන්ගේ මුහුණෙයි ඇති සිනහව දකින විට නිලුපුලීගේ සිත සතුටින් පිරී යන්නට විය.
" හරි පුතේ බහින්න "
" අපි ඇඳුම් ගන්න යනවද අම්ම "
" ඇඳුම් විතරක් නෙමෙයි දුව.අද අම්ම ඔයාල ඉල්ලන ඕන දෙයක් අරන් දෙනව "
" අනේ එහෙනම් මට ලස්සන ඇඳුමකුයි , සපත්තු දෙකකුයි , සෙල්ලම් බඩුවකුයි ඕන ඕනෙ අම්මෙ.තව ... "
" කෑ ගහන්න එපා මල්ලි.අම්ම ඔයාට ඕන දෙයක් අරන් දෙන්නම් කියල කිව්වනෙ "
" මැඩම් "
" වසන්ති.මම ඉක්මනට එනකල් මේ දෙන්න ඉල්ලන ඕන දෙයක් දෙන්න "
" හොඳයි මැඩම් "
👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉
" ඔහොම ඉන්නකො අක්කෙ.අපිට ඔයා තරම් හයියෙන් දුවන්න බෑ "
" මොකක්ද හලෝ.ඔයාල පිරිමි ළමයි නේද "
" ඒ උනාට ඔයා ලොකුයිනෙ.ඉතින් අපි කොහොමද ඔයාව අල්ලන්නෙ "
නිලුපුලී යනු දරුවන් තිදෙනෙකු ගෙන් යුත් පවුලක වැඩිමල් දියණියය.කෙල්ලක උවද කුඩා කල සිටම ඇය තම සහෝදරයන් දෙදෙනා සමඟ එකතුව කොල්ලෙකු පරිද්දෙන් දඟ වැඩ කලේය.නිවසේදී මෙන්ම පාසලේදීද ඉතා සතුටින් සැහැල්ලුවෙන් ගත කල ඇය බාහිර ක්‍රියාකාරකම් වලට හා ඉගෙනීමටද එකලෙස දක්ෂතාවයක් දැක්වූ වූයේය.කාලයත් සමඟ ඇගේ ජීවිතය අඳුරු කාල පරිච්ඡේදයට ඇද වැටීම ආරම්භ වූයේ වැඩිවියට පත් වී වැඩි කාලයක් යන්නට මත්තෙන් මවට පිටරට රැකියාවකට යාමට අසාවක් ඇතිවීම නිසාය.කිසිම හේතුවත් මත එම තීරණය වෙනස් නොකල ඇය රට රැකියාවකට පිටත් වූයේ නිලුපුලීට යන්තම් අවුරුදු දහතුන පිරෙද්දීය.අත්තම්මාගෙන් ලැබෙන සහයෝගය මැද තම සහෝදරයන් දෙදෙනාගේ වැඩකටයුතු කිරීමට සිදුවීමත් සමඟ ඇගේ ජීවිතය වගකීම් වලින් පිරීයන්නට විය.කෙතරම් අමාරුකම් මැද වුවත් නිවසේ වැඩ කටයුතුද මෙන්ම ඉගෙනීම් කටයුතු වලද නිරතවීමට තරම් ඇය ධෛර්යවන්ත වූවාය.
" ඇයි ආත්තම්මෙ.තාත්ත මොකක්ද අම්ම ගැන කිව්වෙ "
" අනේ මන්ද දරුවො.උඹලගෙ අම්මට සනීප නැති වෙලාලු.ඉක්මනට ලංකාවට ගෙන්න ගන්න ඕනෙ කියන්නෙ "
" අම්මට සනීප නැති වෙලාලු.ඇයි අම්මට මොනව වෙලාද "
" දන්නෙ නෑ කෙල්ලෙ.තාත්ත ආවම අහල බලමුකො "
කොඳු ඇට පෙලේ හටගත් අසනීපයක් හේතුවෙන් ලංකාවට පැමිණි නිලුපුලීගේ මව එය සුව වූ වහාම නැවත ලංකාව හැර ගියේ ඇගේ හා සහෝදරයන්ගේ සියලු වගකීම් නැන්දණිය වෙත පැවරීමෙන් අනතුරුවය.ඇය අත්තම්මා මෙන් නොව තමන්ට එතරම් සෙනෙහසක් නොදක්වන බව දැනුනද නිලුපුලීට ඒ වෙනුවෙන් කල හැකි දෙයක් නොවීය.
" කමක් නෑ.මම කොහොම හරි ඉගෙන ගෙන හොඳ තැනකට එනව.එතකොට මට පුළුවන් මල්ලිල දෙන්නවත් බලාගෙන තනියම හරි ඉන්න "
ඇය කෙසේ හෝ තම ජීවිතය ජය ගන්නවා යැයි අධිෂ්ඨානයෙන් යුතුව සිටියාය.මුලදී එතරම් අකමැත්තක් නොපෙන්නුවද ඉතා ටික කලකින්ම ඔවුන්ගේ වගකීම් වලින් නිදහස් වීමට මඟක් සෙවූ නැන්දණිය දහ හතර වියේ පසු වූ නිලුපුලීට විවාහයක් කරදීය යුතු යැයි යෝජනාවක් ගෙන ආවේය.
" කෙල්ල තාම පොඩීනෙ නංගි "
" මොන පොඩිද අයියෙ.තව මාස දෙක තුනකින් පහලොවත් ලබනවනෙ "
" ඒත් නංගි කෙල්ල තාම ඉස්කෝලෙ යනවනෙ "
" ඉස්කෝලෙ ගියා කියල මොකෝ මුන් රට අල්ලන්නයෑ.මම අක්කටත් කියන්නම්කො.අයිය මහන්සි වෙන්න ඕන නෑ මම කෙල්ලට හොඳ කොල්ලෙක් හොයන්නම්කො "
" අනේ මන්ද නංගි.මට නම් මොකක්ද වගේ "
" අයිය ඔය ගැන හිතන්න එපා.ඉන්නකො මම කෙල්ලටත් කියන්නම්කො "
අවුරුදු දහතුනක් වැනි කුඩා වයසකදී සහෝදරයන් දෙදෙනෙකුගේ වගකීම් කරට ගත් නිලුපුලීට යන්තම් අවුරුදු දහ හතර වෙද්දී විවාහ ජීවිතයක වගකීම භාර දෙන්නට තරම් ඇගේ වැඩිහිටියන් අනුවණ වන්නට විය.
" මට බෑ නැන්දෙ දැන්ම කසාද බඳින්න "
ඉගෙනීමට ආසාවෙන් සිටි විවාහ ජීවිතයක් පිළිබඳව කිසිවක් නොදන්නා නිලුපුලී හඬමින් පැවසුවේය.
" ඇයි බැරි.උඹලගෙ අම්මට උඹලව එපා කියල දාල රට ගියා.තාත්තටත් උඹලව බලාගන්න වෙලාවක් නෑ.ඉතින් මම කොහොමද උඹල තුන්දෙනෙක් බලාගන්නෙ "
කලින් කලට තම වගකීම් අන් අයට පවරමින් දෙමව්පියන් විසින් තමන්ව අතහැර දමා ඇති ආකාරයක් නිලුපුලීටද දැනෙමින් තිබුන.
" අනේ නැන්දෙ මම මල්ලිලව බලාගෙන ගෙදර ඉන්නම්.මට පුළුවන් එයාලවත් බලාගෙන ඉස්කෝලෙ යන්න "
" අනේ මේ උඹ මගෙන් මුකුත් අහගන්න එපා.හෙට අනිද්දම උඹව බලන්න මනමාලයෙක් එනව.ඒකට ලෑස්ති වෙලා හිටපන් "
කෙතරම් හැඩුවත් තමන්ගේ ජීවිතය නැන්දණියට අවශ්‍ය ආකාරයට හසුරවන බව දැනගත් නිලුපුලීට තමාගේ බලාපොරොත්තු සියල්ල සුණුවිසුනු වී යන අයුරු මැවී පෙනෙන්නට විය.නිලුපුලීගේ පියා තම හිතවතුන්ගේ සහයෝගය ඇතුව නැගණිය සොයා දුන් මනමාලයාට දියණියව විවාහ කර දුන්නේ ඇගේ පමණක් නොව බොහෝ ගම් වැසියන්නේද ඇසට කඳුලක් එකකරමිනි.
👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉👉
ඉතාමත් අඩු වයසකදී තමාට වඩා බෙහෙවින් මුහුකුරා ගිය පුද්ගලයකු සමඟ විවාහ ජීවිතයක් ගත කිරීමට සිදු වීම නිසා නිලුපුලී දැඩි මානසික පසුබෑමකට ලක් වී සිටියේය.මානසිකව පමණක් නොව ශාරීරිකව පවා විවාව වීමට සුදුසු වයසක නොසිටි නිලුපුලීට ජීවිතය අපායක් මෙන් දැනෙන්නට වූ අතර ඇයව තවත් අසරණ කරමින් විවාහ වී වසරක් ගත වීමට මත්තෙන් ගැබ්ගත්තේය.කිසිවෙකුගේ උදව්වක් නොමැතිව තමා ලද කටුක ජීවිතයේ වේදනාවල් විඳිමින් සිටි ඇය අවුරුදු දහසයේදී මව් පදවිය ලැබුවාය.
" කමක් නෑ මැණික.මෙච්චර කල් තනිවෙලා හිටපු මට දැන් ඔයාවත් ඉන්නවනෙ "
තම ආත්මය පුරාවට වේදනාවන් පමණක් විඳිමින් සිටි ඇය තම දරු පැටියා නිසාවෙන් දිගු කලකට පසු සතුටට පත් වූවාය.මුලු කාලයම දරුවා වෙනුවෙන් කැප කරමින් තාමා සන්තකයේ ඇති එකම සතුට පණ මෙන් ආරක්ෂා කල ඇය විසි වන වියේදී නැවත ගැබ් ගත් අතර විසි එක් වන වියේදි දෙවන වරටත් මව් පදවිය ලබමින් සිඟිති දියණියක බිහි කලාය.සිය දරුවන් දෙදෙන ඉතාමත් සෙනෙහසින් රැක බලා ගනිමින් සිටි නිලුපුලීගේ ජීවිතයට නැවත වරක් කන කොකා හඬන්නට පටන් ගත්තේ මෙතැන් සිටය.
" අම්මෝ දැන් පැටව් දෙන්න ගොඩක් ලොකුයි නේද "
" ඔව් අම්මෙ.හරි ඉක්මනට මෙයාල ලොකු වෙනවනෙ "
" ඒක තමයි.මම ආයිත් රට යන්නෙ නෑ දුව.මේ දරු පැටව් එක්ක ඉන්න එක මට ඊට වඩා වටිනව "
නිලුපුලීගේ මව රට රැකියාව අතහැර දමා ඔවුන්ගේ නිවසේ පදිංචියට ආවේය.වැඩි කලක් නොගොස් ඇගේ මව හා සැමියා විසින් නිලුපුලීට රට රැකියාවකට යාම සඳහා පෙරැත්ත කලේය.
" පුතාගෙ පඩියෙන් විතරක් කොහොමද මේ දරුවො දෙන්නෙක්ගෙ වැඩ කරන්නෙ.දැන් බලන්නකො මම.අවුරුදු කීයද රට හිටියෙ.ඔයාලගෙ හැමෝටම උදව් කරල තව කීයක් හරි ඉතුරුත් කලානෙ "
දහසකුත් එකක් කරුණු දැක්වීමෙන් පසු ඇයව රට රැකියාවකට යාම සඳහා කැමති කරවා ගැනීමට ඔවුනට හැකිවිය.නිලුපුලී රැකියාවට ගොස් මාස කීපයක් ගතවන විට කුමක් හෝ නරක දෙයක් සිදුවෙමින් පවතින බවට සැකයක් මතු වීම නිසා ඇය අවුරුද්දකට අඩු කාලයකදී නැවත ලංකාවට පැමිණියේය.නමුත් ඇය පැමිණෙන විට සියල්ල සිදු වී අවසන්ය.තම ස්වාමියා හා මව අතර අනියම් සම්බන්ධයක් ගොඩ නැඟී ඇති බව වැඩි කලක් නොගොස්ම ඇය අනාවරණය කර ගත්තේය.එහෙත් තමා මෙලොවට බිහිකළ මව විසින් තමාගේම ස්වාමිපුරුෂයා හා අනියම් සම්බන්ධයක් පැවැත්වීම ගැන නිලුපුලීට එකවරම දරා ගැනීමට හා අදහා ගැනීමට නොහැකි විය.
" ඔව්.අපි දෙන්න අතර සම්බන්ධයක් තියනව තමයි.මට දැන් උඹගෙන් වැඩක් නෑ.පලයන් මේ ගෙදරින් "
" අ ..... අනේ මගෙ දරු පැටව් දෙන්න "
" උඹ රට ඉන්න කාලෙ බලා ගත්ට වගේ දරුවො දෙන්නව බලාගන්න මට පුළුවන්.උඹ ගිහිල්ල උඹට ඕන විදිහකට ජීවත් වෙයන් "
ඇගේ මව ඇයට නොදක්වන දරු සෙනෙහස ඇගේ දරුවන්ට පෙන්වමින් නිලුපුලීට බැණ වැදුනේය.
" උඹ කොහොමත් මාත් එක්ක ජීවත් උනේ කැමැත්තකින් නෙමෙයිනෙ.දැන් ඉතින් ගිහින් උඹට ඕන විදිහට ජීවත් වෙයන් "
අවසානයේ සිය සැමියා හා දරු දෙදෙනාද අහිමි වූ නිලුපුලී මහ මඟට වැටුනාය.කුමක් කරන්නේ දැයි සිතා ගත නොහැකිව සිටි ඇය ඇගේ මිතුරියක සොයා ගියේය.
" අනේ මන්ද බන්.උඹ පුදුම අවාසනාවන්තියක්.පොඩි කාලෙ ඉදන්ම විදවනව විදවනව ඉවරයක් නෑ "
" මේක මගෙ කරුමෙ නිර්මලා.අම්මට විරුද්ධව පොලිසි ගිහින් හැමෝටම ලැජ්ජ කරන්න මට බෑ.මට හිටියෙ මගෙ දරුවො දෙන්න විතරයි.දැන් උන් දෙන්නත් මට නෑ "
නිලුපුලී තමන් ගැනම ඇති වූ කලකිරීමෙන් හඬන්නට විය.
" එතකොට දැන් උඹ මොකක්ද කරන්න හදන්නෙ "
" කරන්න දෙයක් නෑ බන්.හැමදාම කලා වගේ ජීවිතේ එන විදිහට මූණ දෙනව.උඹට පුළුවන් නම් හෙට වරෙන් මාත් එක්ක පොඩි ගමනක් යන්න "
දරු දෙදෙනා රැගෙන මහ මඟ ජීවත් විය නොහැකි බව ඇය දැන සිටියේය.ඉතුරු කරගත් මුදලින් තම මිතුරියගේ සහයෝගය ඇතුව කුඩා ව්‍යාපාරයක් ආරම්භ කල නිලුපුලීගේ අවාසනාව එහිදීද පෙරට ආවේය.මාස කීපයක් ගත විට එයද එම ව්‍යාපාරයද බිඳ වැටීම නිසා ඇය තව තවත් අසරණ වන්නට විය.අවසානයේ ඇඟලුම් කම්හලක සේවය කිරීමට ගිය ඇය අවුරුදු දෙකක පමණ සේවය කර යම් මුදලක් ඉතිරි කර ගැනීමට සමත් විය.එමඟින් ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක් ඉතා කුඩාවට පටන් ගත් ඇය තම අවාසනාවට එරෙහිව නැවතත් නැඟී සිටීයේය.ජීවිතේ ලද පරාජයන් හමුවේ නොසැලී සිටිමින් මහත් අධිෂ්ඨානයෙන් යුතුව වැඩ කටයුතු කල ඇය අවුරුදු පහක් ඉක්ම යන විට " නිලුපුලී ටෙක්ස්ටයිල් " නම් ඇඟලුම් අලෙවි ආයතනයේ හිමිකාරිය දක්වාම පැමිණියේය.එක් අරමුණක් ඉටුවීමත් සමඟ ඇය තමාගේ දෙවැනි අරමුණ වූ දරුවන් තමන් වෙත ලබා ගැනීමේ උත්සාහය ආරම්භ කලේය.එයද ඉතා සාර්ථකව ජය ගත් ඇයට තමා නිවසෙන් එලවා දමා අවුරුදු පහකට පසුව දරුවන්ගේ අයිතිය තමන් වෙත ලබා ගැනීමට හැකි විය.
👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉
කතෲ - සුමිත් ප්‍රියදර්ශණ
( කතෲ අවසරයකින් තොරව උපුටාගැනීම සම්පූර්ණයෙන්ම තහනම් )
පසුවදන
( මෙම සත්‍ය කතාව ඉතාමත් කෙටි කර ලිවීමට සිදුවීම නිසා යම් යම් කරුණු කීපයක් සවිස්තරාත්මකව ලිවීමට නොහැකි වූ බව කරුණාවෙන් දන්වමි.කතාවේ අවසාන කොටස පමණක් ඇගේ ඉටු නොවූ බලාපොරොත්තුවක් වන අතර ඇය තවමත් ඒ වෙනුවෙන් වෙහෙසෙමින් මහත් ධෛර්යයෙන් ජීවිතයට මුහුණ දෙමින් සිටී )
👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉
