ගැහැණිය.... | Gahaniya
ගැහැණිය....
"අපි සන්තෝසෙන් ඉන්නෙ.....දුක සෝකය නෑ දන්නේ....."
"නොදකින් කරුමෙ ඔය එන්නෙ අදත් කනමදයා වගේ බීගෙන..."
පොළොවට ඇන තබා හිඳගෙන ලිපට පිඹිමින් සිටි සිරිමා බටලීය පොළවේ ගැසුවේ ඇගේ සැමියා වන රත්නෙගේ වෙරි වූ කටහඬ ඇසීමෙනි.....
"සිරිමෝ බඩගිනී ගෑණියේ දීපිය කන්ඩ...."
ඇය අබ පුපුරන තරම් පුපුරු ගසන කෝපයකින් නැගී සිටියේ හැඳ සිටි චීත්තයේ ගැටය තද කරමිනි.....
"කන්ඩ....කන්ඩ මොනා දෙන්ටද මිනිහෝ....කන්ඩ තමුසෙ ගෙනත් දුන්නද....
ඇයි ඔය කලා බීලා ඇවිත් තියෙන්නේ...."
ඇගේ කෝපවත් හඬින් කුපීත වූ රත්නෙ ඇය අසලට පැමිණියේ වැනි වැනීය....
"කට කට වහපිය...."
එසේ පවසමින් අත ඔසවා පහර දෙන්නට ගිය රත්නෙව සිරිමා පසෙකට තල්ලු කර දැමුවේ රත්නෙ හතර ගාතින් බිමට පතිත වන විටය....
ඇය වේගවත් ගමනින් නිවසේ ඉදිරිපසට ගොස් පිළ මත හිඳගෙන මිදුලේ සෙල්ලම් කරමින් සිටින කුඩා දියණිය සහ පුතු දෙදෙනා දෙස බලා හීල්ලුමක් පිට කළේ සුසුමකිනි....
ඔවුන් පාසැල් යන වයසේ දරුවන් දෙදෙනෙකි.....එහෙත් අගහිඟකම් රජයන නිවසේ වේලක් හැර වේලක් පිරිමහගන්නේද සිරියා රබර් කිරි කපා හම්බ කරනා සොච්චමෙනි.....ඉතින් දරු දෙදෙනාට උගන්වන්නට නොහැකිව ඇය තැවෙන්නීය....
ඉතා පොඩි වයසකින් රත්නෙ සමග හඳ පානේ පැන ආ සිරිමලී ගමේ කොයි කාටත් සිරිමා වූවාය....එදා සිට අද දක්වාම ඇය විඳි දුක් පීඩා අපමණය.....
රැකියාවකට නොගොස් ගෙයි වළඳ පවා විකුණා කසිප්පු ගසනා රත්නෙට ඔහු තාත්තා කෙනෙක් වගද අමතකව ගොස්ය....සිරිමා කුඩා පැලේ ගෘහ මූලිකයා වීද දරු දෙදෙනාට මව මෙන්ම පියාද වූවාය....
දිරා ගිය කඩමලු හැඳගෙන මිදුලේ සෙල්ලම් කරනා දරු දෙදෙනා දැක දෑසට ඉනූ කඳුළක් ඇය උරහිසෙන් පිස ගත්තාය.....
"දවස් දෙකක පඩි එකතු කරලා වත් කොල්ලටයි කෙල්ලටයි අලුත් ඇඳුමක් අරන් දෙන්ට ඕන.....ඒත් එතකොට කන්න වෙන්නෙ පස් තමයි...."
සිරියා තමන්නට කියා ගන්නීය.....
දින එක දෙක ගෙවෙන්නේ එළෙසමය.....මතින් මත් වුණු රත්නෙ සහ සිරියා අතර ඇතිවන අඬදබර ගුටිකෙළි වලින් හෙම්බත්ව සිටියේ සිරියා පමණක්ම නොව දරු දෙදෙනාත්ය....
"දීපිය යකෝ මට සල්ලි...."
ඒ කසිප්පු ගැසීමට මුදල් නොමැතිව උමතුවී නිවසට පැමිණි රත්නෙය....රබර් වත්තේ සිට නිවසට පැමිණි සිරිමා සිටියේ පිළිකන්නේ තබා ඇති වතුර කළයෙන් මුහුණ දොවා ගනිමිනි.....රත්නෙගේ ගෝරනාඩුව ඇසුණු ඇය ගෙල මුලට ගුලිකර තිබූ කෙස් වැටිය කඩා යලි ගැට ගසාගන්නා අතරම ඒ දෙසට ගියේ කෝපයෙනි......
"කිව්වම දීපිය යකෝ සල්ලි හංගලා තියෙන තැන් වලින්....."
"කොහෙ හංගලා තියෙන සල්ලිද මිනිහෝ...."
"ඇයි ගෑණියේ තෝ අර රබර් කෑල්ලෙ වැඩ කරන්නෙ පිනටද...?"
සිරියාගෙ මුහුණ පුරා දහඩිය දමා තිබුණේ අධික කෝපය නිසාය....
"ඒ සොච්චමෙන් තමයි යකෝ දරු පැටව් දෙන්නට වේලක් ඇර වේලක් හරි කන්න දෙන්නෙ....මිනිහෙක් ඉන්නවා නමට.....ඒකට තාත්තා කියලා දරුවෝ ගැන කැක්කුමක් තියෙනවද....ගෙදර තියෙන බඩුමුට්ටු සේරම විකුණගෙන කසිප්පු ගහලා එනවා මෙතන සල්ලි ඉල්ලගෙන...."
"උඹ මට පිච්චර් පෙන්නන්ඩ ලෑස්ති වෙන්ඩ එපා ගෑණියේ.....ඇයි අර රබර් වත්තෙ හාමුට ගොට්ට අල්ලලා උඹ හොයාගන්න සල්ලි කෝ...."
බලා සිටිද්දීම සිරියාගේ දෑසින් කඳුළු ගලා ගියේ රත්නේ පැවසූ නොහොබිනා කතාවටය.....
"සහ ගහන කතා කියන්ට එපා මිනිහෝ....තොට හොඳක් සිද්ධ වෙන්නෑ අපිට කරන දේවල් වලට....."
"කට වහගනින්....උඹට මං"
එතැන් සිට ගුටි බැට හුවමාරුවක් සිදුවූ අතර කුඩා දරුවන් දෙදෙනා ගැහී ගැහී එකම කාමර කෑල්ල දෙකට වෙන්කර දමා තිබෙන රෙද්දට මුවා වී ඒ දෙස බලා සිටියෝය.....
ගුටිබැට අතරේම කුඩා දියණියව දුටු රත්නේ ඇයව ඇද ඉදිරියට ගත්තේ දියණිය බියේ ගැහෙමින් ඉකිගසා හඬන විටය....
"අත ඇරපං මිනිහෝ මගෙ කෙල්ලව"
"මේ පොඩි කෙල්ලට මොකටද යකෝ රත්තරං කරාඹු....මෙන්න මෙහෙ දීපිය"
කුඩා දියණිය හඬනා අතරේම ඇයට රිදවමින්ම ඔහු ඇගේ අරුංගල් දෙක ගලවා ගත්තේය.....
"අනේ දෙයියනේ මගෙ පොඩි එකීගෙ කන් දෙක.....ඔය රත්තරන් නෙමෙයි මිනිහෝ ඉමිටේසන් කරාඹු දෙකක්....තෝ ගෙනත් දීලද රත්තරන් බඩු.....නොදකින් තිරිසනා..."
එය හරියට නෑසුණු රත්නෙ එතැනින් පිටවූයේ රටක් රාජ්‍යක් ලැබුණු විලසයට....
සිරියා දරුවන් දෙදෙනා තුරුළු කරගෙන හඬා වැටුණාය.....
පෙළක් මිනිසුන් එසේමය.....ජීවිතය ගෙන යන්නට කරන අරගලය බර වැඩිය....අපමණ දුක් කම්කටොලු විඳ දරාගෙන ජීවිතය ගැට ගසා ගන්නට වෙර දරන සිරියා වැනි කාන්තාවන් මේ මහ පොළොවේ ඕනෑ තරම්ය.....
"හොඳටෝම හවස් වෙලා පැටව්නේ....උඹලා දෙන්නට බඩගිනිත් ඇති.....හිටපං මං අර පිටි ඩිංගිත්තෙන් රොටියක් හදලා දෙන්ඩ.....බාගෙ බාගෙ කාපල්ලා....හිටපල්ලා දරකෝටු ටිකක් හොයාගෙන එන්ට විගහට ලිප අවුලන්ට"
දරු දෙදෙනාගේ හිසද ආතගාගෙන සිරියා ගෙයි පිළිකන්නෙන් පිටව ගියේ ඒ අවටින් දරකෝටු කිහිපයක් සොයා ගන්නටය.....
"අම්මේ...."
එසේ බෙරිහන් දුන් දියණියගේ හඬට සිරියා හැරී බැලුවේ තිගැස්සීය.....
"මොකද කෙල්ලෙ මේ බෙරිහන් දිදී ගාල කඩාගත්ත හරකි වගේ දුවගෙන එන්නෙ"
"අම්මෙ....අම්මෙ....තාත්තා....මල්ලි"
"කියපං කෙල්ලෙ මල්ලි මොකද"
හති දමන දියණිය සිරිමාගේ ඉවසීම පන්නා ඇති හැඩකි....
"තාත්තා මල්ලිව අරගෙන ගියා....සල්ලි නැති නිසා කිව්වා"
"මොකක් දෙයියනේ මගෙ කොල්ලා සල්ලි නැති එකට කම් කොරන්නද...."
අත තිබූ දර කැබලි කිහිපයත් එතැනම බිම දමා සිරියා වහා දිව ගියේ ගෙතුලට වූවත් ඒ වන විට රත්නේ පුතුව නිවසින් ගෙන ගොස් තිබුණි....ඇය එලෙසින්ම වහා පාර දිගට දිව ගියේ මහ හඬින් හඬා වැලපෙමිනි....දියණියද ඇය පසුපසින් දුවගෙන ආවේ හඬමිනි....
"දෙයියනේ කවුරු හරි මගෙ කොල්ලව දැක්කද....මගෙ මිනිහා මගෙ කොලු පැටියව අරන් ගිහින්....."
ඇය මග දිගට හමුවන සෑම සියලු දෙනාගෙන්ම එලෙස විමසමින් ගියාය....
"සිරියා අක්කෙ ආන්න රත්නයා උඹෙ පොඩි එකාවත් උස්සන් ලියන මහත්තයාලා දිහා ගියා"
"මේ මිනිහා මොන නස්පැත්තියක් කරන්ට යනවද දෙයියනේ...."
ඇය වහා ගියේ ලියන මහත්තයාගේ නිවස වෙතය.....ඇය එහි යන විට ලියන මහත්තයාගේ නිවසේ මිදුලේ රත්නෙත් ලියන මහත්තයාත් තව හොඳින් හැඳ පැළඳගෙන සිටි පුද්ගලයෙකුත් ඇගේ දරුවාත් සිටියෝය....
"මොකටද මිනිහො මගෙ පොඩි එකාව මෙහෙ ගෙනාවේ....."
සිරියා වහා දිවගොස් තම පුතා වැළඳ ගනිමින් හැඬුවාය.....
"සිරියෝ අන්න අහකට පලයං.....මේ කොළඹ මහත්තයෙක් ඇවිත් තියෙන්නෙ අපෙ කොල්ලව ගෙනියන්ට....මං ඒකාව විකුණව්වා....හොඳ ගාණකුත් හම්බුණා අන්න අහකට වෙයං....."
රත්නේ සිරියාව සහ පුතුව එතැනින් වෙන්කරන්නට උත්සාහ දරමින් පැවසුවාය.....
"කාලකණ්නි තිරිසනා.....තෝ තාත්තෙක්ද බොල....."
ඇය රත්නෙ සමග පොරබදිමින් සිටි අවස්ථාවේ පැමිණ සිටි පුද්ගලයා කුඩා දරුවා ඔසවාගෙන රැගෙන ගියේ මෝටර් රථය වෙතය.....
"මගෙ දරු පැටියා දීපං.....මගෙ කොල්ලා මට දීපං....."
ඇය වැලහින්නක් ලෙස හඬා වැටුණාය.....ඒ හා සමානව රත්නෙ ගැන උපන් කළකිරීම,කෝපය වෛරයකට හැරෙමින් තිබුණි......එවිටම ඇගේ නෙත ගැටුණේ දර කොට කිහිපයක් අසල තිබෙනා පොරොවය.....දෙවරක් නොසිතා එය රැගෙන ආ සිරියා ඇයට පිටුපා සිටි රත්නෙගේ පිට හරහා එක දිගටම කොටා දැමුවාය.....
"මැරියං තෝ තිරිසනා...."
ඔහුගේ ප්‍රාණය නිරුද්ධ විය.....
"මගේ දරුවව අත ඇරපිය....නැත්තම් මං තෝවත් කොටලා දානවා"
ඇය එසේ පැවසුවේ දරුවා ඔසවාගෙන සිටි පුද්ගලයාටය....
ඇග පුරා ලේ විසිවී පොරව අත තබාගෙන වියරුවෙන් සිටි සිරියා දැක එම පුද්ගලයා වහා දරුවා බිම තබා එතැනින් නික්මුණේ ලියන මහත්තයාද ඇගේ ස්වරූපය දැක සලිත වූ අවස්ථාවේය....
අත තිබූ පොරොව බිමට දැමූ සිරියා බියවී හඬමින් සිටි දරුවන් දෙදෙනා වැළඳ ගත්තේ අපමණ මාතෘ සෙනෙහසිනි......
එදා රත්නෙ ඝාතනය කිරීම සම්බන්ධව බරපතල වැඩ සහිතව හය වසරක සිර දඬුවමක් ඇයට ලැබෙන විට ඥාතීන් කිසිවෙකු නොසිටි දරු දෙදෙනා පරිවාස බාරයට ගත්තේය.....
"මගෙ මිනිහා මරපු එකට මට දුක නෑ....ඒකත් එක්ක මම ජීවත් වුණා නම් මගෙ දරුවො දෙන්නා මට නැති වෙනවා....දැන් පරිවාසෙ ඉඳන් උනත් උන් දෙන්නා හොඳට ඉගෙන ගනී....මං මග බලාගෙන ඉන්නෙ මගෙ පැටව් දෙන්නගෙ මූල බලාගන්ට"
ඒ ඇය වන්ම තවත් රැඳවියෙකුට සිරියා පැවසූ වදන් කිහිපයය.....
ඉතින් දිනෙක ඇය දරුවන් සමග සතුටින් ජීවත් වනු ඇත....ඔවුන්ට පීඩා ගෙන දෙන්නට රත්නෙ එදිනට නොසිටිනු ඇත....
අම්මා එසේමය.....දරුවන් වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට හැක්කේ ඇයටම පමණි....අම්මා කවදත් යකඩ ගැහැණියකි....මේ තුන් ලොව මෙවැනි අපමණ දුක් ගැහැට විඳිනා දරුවන් අම්මලා ඕනෑ තරම්ය.....ගැහැණිය අම්මා වූ පසු ජීවත් වන්නේ දරුවන් වෙනුවෙනි.....දරුවන් රැකෙන්නේ එවැනි යකඩ ගැහැණුන් අසලය....
______________________
ස්වප්නා.....
