එක ගෙයි කෑ දා | Eka Gei Ka Da


" එක ගෙයි කෑ දා"
******************
දහවල් අව් රෂ්මියෙන් පිච්චිලා ගියපු ශරීරයට යාන්තම් සැනසීමක් ලැබෙන්නෙ රාත්‍රි අදුර උදාවෙන ගොම්මන් යාමයට තමයි.

දොළෙන් ස්නානය කරගෙන කුඹුර අයිනෙ පැල්පත ළඟ බංකුවක් උඩ වාඩිවෙලා බීඩියක් පත්තු කරගෙන බුලත් විටකුත් හපන ගමන් කකුලක් පිට කකුලක් දාගෙන තනිකම මිතුරෙකු කරගත් සයිමන් කියන්නෙ වයස අවුරුදු හැට හැත්තෑවක මනුස්සයෙක්.

දරුවන් හය දෙනෙකුගෙ පියෙක් වුනු ඔහුගෙ බිරිඳ නිවෙසට කැන්දාගෙන එන්න සිද්ද වුනේ දෙමව්පියන්ගෙ කැමැත්ත පරිදි.

" ලොකු එකෝ... උඹ අර ඉහළ ගෙදර ලමිස්සි එක්ක තියෙන ගණුදෙනුව නවත්වන්න ඕන ""

" උඹලගෙ මනස්ගාත අම්මෙ.. එහෙම පලහිලව්වක් නැතුවා ඒකි එක්ක..."

'" එහෙනම් ගම්මු කියන්නේ කට කහනවටද...?"

" ගම්මු කට කතා කියන්නේ ..උඹලා ඔව්වා ඔලුවට නොගනිල්ලා.."

" ගම්මු හබරල කාලා නෑ කතා හදන්න...උඹ නස්පැත්තියක් කරගන්න කලින් එන සුමානෙ අල්ලපු ගමේ කෙල්ලෙක් ඉන්නවා යමන් බලන්න "

ඒ තමයි සයිමන්ගෙ මීට අවුරුදු පනහකට විතර එහා ගියපු අතීත ආවර්ජනය.
වාද කෙරුවත් වැඩක් වුනේ නෑ. ඉහළ ගෙදර කෙල්ල කියන්නේ සුමනාවතී එක්ක තිබුන පෙම් හුටපටයක් නවත්වන්න තමයි බේබි නෝන කරකාර ගන්න වුනේ..

" සීදේවි කෙලී..."

" මේකා අර ඉහළ ගෙදර උඩවැඩික්කිය උස්සන් එයි කියලා බය මේ මගුල් තීන්දු වෙන්න කලින්..."

" උඹලගෙ මනස්ගාත එහෙම අහවල් එකක් නෑ බොලව් "

" එහෙනම් උඹ ඒ පැත්තෙ නොගිහින් ඉදපන් "

සුමනාවතී එක්ක තිබුන ඒ ප්‍රේම කතාව අවසන් කරන්නවත් කාලයක් නෑ....
ආයෙමත් ඒ පැත්ත පලාතෙ පස් පාගන්නවත් හැටියක් වුනේ නෑ...

නම්බුකාර පවුලක් වුනු සයිමන් හදවතින් ආදරය කරපු ඒ සුමනාවතී ගැන මතකය හිත අස්සෙ හංගගෙන බේබි නෝනා කරකාර ගත්තා.

" කාටද කසාද අයිතිය?

රිජිස්ටාර් තැන එහෙම ඇහුවෙ ලියාපදිංචි කරන්න ගිහාමයි.. ඔක්කොම වෙන්නෙ දෙමාපියන් මතේට හින්දා සයිමන් කට වහගෙන හිටියේ ගොලුවෙක් වගේ.. තුන්හිතකින්වත් බේබි නෝනා කෙරෙහි ලෙංගතුකම් නැති හිත අප්‍රාණික වෙලා තිබුණෙ.

" සයිමන්ට තමයි මහත්තයො ... බහුපුරුෂ විවාහයක් කොරන්‍ටයි ඕන ..."

මීට අවුරුදු ගාණකට කලින් දේපොළ පිට යනවට එක ගෑණිට මිනිස්සු දෙන්නෙක් ලියවුණු කාලයක් තිබුනා.

සයිමන්ට සිද්ද වුනා තමුන්ගෙ මල්ලි සිරිදාස එක්ක ඒ බහුපුරුෂ විවාහයට ඇතුල් වෙන්න.

එදා ඉදන් සයිමන් නැහීගෙන කුඹුරු යාය අස්වද්දන කාර්‍ය් සිද්ද කරා. සිරිදාස රබර් කිරි කපාගෙන රබර් වත්ත සංවර්ධනයට යොමුවෙලා හිටියේ..

බේබිනෝනා වදක භාර්යාවක් වුනේ සයිමන්ගෙ හිත තවත් මරලා දාමින්.

විවාහය සිද්ද වෙලා කාලය යද්දි බේබි නෝනා අවුරුද්දක් පාසාම දරුවන් බිහිකරන්න පටන් ගත්තා.

පළවෙනි කොලු පැටියනම් හතර කෝරළේවත් නෑ ලස්සන කොල්ලා.

" ඇරපු අතක් නෑ සයිමා වගේමයි "

කතාවට මිනිස්සු කියන්න ගත්තා.

ඊළඟට ආපු දරුවොනම් තාත්තා කවුද කියලා වෙන් වෙන්ව අදුරගන්න බෑ.
බහුපුරුෂ විවාහය කියන්නේ අයියා මලෝ දෙන්නගෙම භාර්යාව වුනේ බේබිනෝනා.

" මොන හත් ඉලව්වක්ද යකෝ කොයි වෙලාවෙන් මුගෙ කම්බාය දොරේ එල්ලිලා "

සයිමන් , බේබිනෝනා හොයාගෙන යන අවස්ථා කීපයකදිම සිරිදාසගෙ කම්බාය දොරේ එල්ලලා. ඉතින් විස්සෝප හිතේ තද කරන් ක්‍රමයෙන් ක්‍රමයෙන් කුඹුරු අයිනෙ පැලක් අටවගත්තෙ ඕන විගඩමක් නටාගන්න දීලා.

ඒත් කුඹුර එක්කම ඔට්ටු වෙද්දි තේ කහට ටිකක්වත් ගේනවනම් කියලා අනන්ත අප්‍රමාණ හිතුවා. එහෙම වෙලාවට ගෙදර ගිහින් බේබිනෝනා එක්ක වචන හුවමාරුවක් කරගන්න එකත් දින චර්යාවට එකතු වුනා.

" දවල් දවසම අර කුඹුරට වෙලා නැහෙන්නේ යකෝ... උඹට කහට ටිකක් ගේන්න බැරිද යෝදියෙ?"

" ඔව්... මෙතන දරුවො බෝ කරලා කරලා දැන් මෙවුන් එක්ක යුද්දෙ කරන්නෙ මම... ඔහේට පිපාසෙ නිවන්න මට බෑ..."

බේබිනෝනා වැඩි අවධානය යොමු කරේ සිරිදාස වෙත. ඉතින් සයිමන් හෙමින් හෙමින් කුඹුර එක්ක ජීවිතය අවසාන කාලයේදිත් පැලට වුනේ තනිකම දරාගෙන.

තරුණ අවදියේ සුමනාවතී එක්ක පෙම් හුටපටය කඩලා දාන්න අම්මලාගේ මැදිහත් වීමෙන් කරකාර ගත්තෙ මෙහෙම තනිවෙන්නද?

කළවමේ හැදුණු ළමයි පණ්ඩිත කම් සීමාවක් නෑ. වුන් සිදාදියේ ඉගෙන ගෙන සිදාදියටම හින්න වෙලා ගියා. සයිමන් වුන්නද මලාද බැලුවෙ මුදල් උවමනාවක් වුනාම විතරයි.

ඉඩමක් උගස් කරලා හරි ළමයිගෙ යුතුකම් ඉෂ්ට කරන්න කැපවුණු සයිමන් එක දරුවෙක් හෝ ආදරෙන් කතා කරයි කියලා හිතුවෙ.
ඒවා හිත අස්සෙම ඉපදිලා හිතේම මැරුණ හීන විතරයි.

වයස අවුරුදු හැට හැත්තෑවක් වුනාම කවුරුත්ම බැලුවෙ නෑ සයිමන් ගැන. අතේ පයේ හයියෙන් යාය අස්වද්දලා ප්‍රතිඵල අරන් මුදල් කරන්න සයිමන් නිරන්තරයෙන් මහන්සි වුනා.

ගමේ කසිප්පු මුදලාලිගෙන් කසිප්පු පැකට් එකක් අරන් එක හුස්මට ඇදලා දාන්නෙ බේබදු කමට නෙවෙයි.දවසෙ වෙහෙස නිවාගෙන හොඳට නින්ද යන්න..

බිව්වා කියලා කාටවත් කරදරයක් නෑ.. ඒත් වදක භාර්යාවක් වුනු බේබිනෝනා කවදාවත් සයිමන්ගෙ හදවත තේරුම් ගත්තෙ නෑ.

" මගෙ කරුමෙට දීග ඇවිත් ....

" මහ මිනිහා වගේ නෙවෙයි දරුවො ටික ....

" ජරාව බීලා ගන්දස්තාරෙ බෑ...."

ඔයවගේ අපවාද නිමක් නෑ..

වචනයක් නොකියාම මුළුතැන්ගෙයි මඩොක්කුවෙන් වහපු බත් එක අරගෙන හුස්මට දෙකට කන්නෙ නයි මිරිස් කරලක් බත් එකේ තියාගෙන.. ඒ සැරට සාස් සූස් ගාන්නෙ.

" කාපන්කො මිනිහො පිරිය ඇතිව..."

" මළපෙරේතයෙක් වගේ හතර වටේ ගාගෙන කන හැටි...."

කන්න ගත්තත් ඇහුනේ එහෙම..

නෑහුනා වගේ කුඹුර අයිනෙ පැලට රිංගාගත්තෙ කණක් ඇහිලා නිදාගන්න..

තරුණ කාලෙ ආදරය ගෙදර අයගෙ කීමට කැපකරා. මැදිවිය දරුවන්ට කැපකරා.. මහළු විය තනිකම එක්ක ගෙවන්න වුනා..

ඉහළ ගෙදර කියන්නේ නම්බුකාර අඩු පවුලක්.. ඒකයි කෙල්ලට අකමැති.

" බම්බු නම්බුව... මේ තනිවුනු එකද නම්බුව..."

තමන්ගෙන්ම අහපු සයිමන් නින්ද එක්ක යාලු වුනා. නින්ද ඇවිත් දෙනෙත් වසාගත් විට කිසිවක් මතක නෑ.

ඒත් ඒ නින්ද සදාකාලික නින්දක් වුනා... නින්දෙන්ම මියගිහින් හිටපු සයිමන්ගෙ නිසල සිරුර පසුදා දහවල් ගැමියෙක්ගෙ පණිවිඩයක් හින්දා දැක්කෙත්.

කවදාවත් සතුටක් නොවිඳ
අවසාන මොහොතේ නින්දෙන් මැරිලා යන්න පිනක් තිබුන සයිමන්ගෙ අවසන් කටයුතු අවසන් වෙලා හත් දොහොකින් තැන තැන එල්ලුණු සුදුකොඩිත් සමහරු කපලා දැම්මා.....

ඒ විතරක් නෙවෙයි .....සයිමන් එක්ක ජීවත් වුනු කුඹුරු යායෙත් අවසන් ගමන එහෙමම ලියැවුණා.. ඒවා පුරන් වෙලා වල්වැදී ගිහින් තාම හිස් අහස දිහා බලන් ඉන්නෙ දැන් දැන් නියර උඩින් උදැල්ල කරේ ගහන් සයිමන් ඒවිමයි කියලා වෙන්න ඇති.
************************
නිමි....


Comments System WIDGET PACK