බාල පෙම්වතා ( අවසන් කොටස ) | Bala Pemwatha 02 Kotasa


බාල පෙම්වතා ( අවසන් කොටස )

" චේති..මම ආවා..එළියට එන්න "

" මට බෑ චනුත්..ඔයා යන්න "

" අනේ මාව මගාරින්නෙපා චේති...එකම එක පාරක් එන්න "

" දුක ඔයාට නෙමෙයි මට "

" මට දුක නෑ කියලද ඔයා කියන්නේ "

" ඔව්..ඔයාට මං නැති වුණාට අහස්නා ඉන්නවා..ඒත් මට ඔයා නැතිවුණාම කවුරුත් නෑ "

" මං ආදරේ අහස්නාට නෙමෙයි..ඔයාට "

" ඇති දෙයියනේ...දැන්වත් ඕක නවත්තගන්න "

" මට ආදරේනම් තාම...එකම එක පාරකට එළියට එන්න චේති "
අනිද්දා උඹේ කසාදය තියාගෙන අදත් උඹ මාව බලන්න ඇවිල්ලා මගේ හිතේ ඇවිලෙන ගින්නට පිදුරු දානවා නේද කියලා මට හිතුණා..මමත් ඔය ඇස් දැකගැනීමේ පිපාසාවකින් පෙලුනත් ඒ හැඟීම නිසා මම තව තවත් විඳවාවි කියලා මගේ යටිහිත සෑහෙන්න බයවුණා..ඒත් උඹේ තනිකඩ ජීවිතයේ අන්තිම වතාවට එකම එක පාරක් ඔය දෙතොල එක්ක පැටළෙන්න මගේ දෙතොළට ඕන වුණා..අනිද්දා ඉදන් උඹ විවාහක ස්වාමිපුරුෂයෙක් ....එතකොට මගේ හැඟීම් උඹ එක්ක බෙදාගන්න බෑ...ඒක අසම්මතයි...හිතට ආපු ක්ෂණික සිතුව්ල්ලක් මත ඇඳිවත පිටින්ම එළියට දුවලා ගියපු මම අපේ ගේට්ටුව ඉස්සරහ නතර කරලා තිබුණු උඹේ වාහනයට නැග්ගා...ඒත් ඇස් උස්සලා උඹේ ඇස් දිහා බලන්න තරම් ආත්මශක්තියක් නම් මට තිබුණේ නෑ...උඹත් මගෙන් වචනයක්වත් අහන්නේ නැතුව වාහනය පදවගෙන ගියේ අපි වෙනදා මුණගැහෙන සුපුරුදු තැනට..වෙනදා පිස්සියෙක්වගේ හුරතලේට ඔය උණුහුමට ගුළිවුණාට අද මට උඹේ ළඟින් නුපුරුදු ගෑණු සුවඳක් දැණුනා..මං හිතන්නේ අද දවසම උඹ අහස්නා එක්ක එහේ මෙහේ දුවන්න ඇති...සමහරවිට ඔය පපුවට මම වගේම අහස්නා තුරුළුවෙලා ඉන්නත් ඇති..ඒත් මගේ හිත එහෙම පිළිගන්න නම් කොහෙත්ම කැමතිවුණේ නෑ..

" චේති...එන්න මගේ ළඟට..."
අත් දෙක දෙපසට විහිදලා උඹ කිව්වේ හරි අසරණ විදියට...මගෙත් අහස්නාගෙත් අතර උඹ කොච්චර හිරවෙලාද කියලා මම දන්නවා...

" අප්පිරියයි ද මාව "
විනාඩි ගාණක් යනකන්ම මම ප්‍රතිචාරයක් නොදක්වපු නිසා උණ ආයෙමත් ඇහුවා...මගේ හිත පිච්චිලා ගියේ ඒ වචනෙට..මම ඇස් වලින් කඳුළු බේරි බේරීම උඹේ පපුවට වාරු වුණා..මගේ කදුළු වල තෙතට උඹේ කමිසය පෙඟිලා ගියේ හරි ඉක්මනට...

" මට හෙන ගහනවා චේති....ඔයාව මෙහෙම අඬවනවට "

" නැහැ චනූ...ඔයා සතුටින් ඉන්නෝනි....හැමදාම "

" ඔයා නැතුව මට මොන සතුටක්ද චේති "

" අහස්නා ඔයාව සතුටින් තියාවි "

" පිස්සුද ඔයාට...එයා දන්නේ බොරු හේතු හදන් රණ්ඩු කරන්න විතරයි "

" ඇයි චනුත් දැන දැන ගිනි ගොඩකට පනින්නේ "

" මම දිව දෙකේ මිනිහෙක් නෙමෙයි චේති..අනික ගෙවල් වලින් ඊට පස්සේ මට දෙන පීඩනේ දරාගන්න බෑ මට..."

" ඔයා පවු චනූ "

" මං විතරද....ඇයි ඔයා "

" මං කොහොමත් පවුකාරියෙක් චනූ..ඒකනේ කලබල තීරණ නිසා නොගැළපෙන බැඳීම්වල පැටලිලා දුක් විදින්නේ "

" නොගැළපෙන බැඳීම මමද චේති "

" ඔව් චනුත්...අපිට කලින් හිතන්න තිබුණා නේද "

" ආදරේ කරේ නැද්ද මට "

" එච්චර ආදරේ කරපු නිසා තමයි චනුත් මෙච්චර දුකක් "

" රෑ වෙනවා චේති...අපි යමු "

" ආයේ අපි මුණගැහෙන එකක් නෑ චනුත්...නේද "

" මොනවා වුණත් ඔයා මගේ හොර ගෑණි කියලා ලේබල් වදිනවට මම කැමති නෑ චේති...ඔයා හොදින් ඉන්නෝනි "

" පින් සිද්ධවෙනවා චනුත් "

" ඇයි ඒ..මොකටද "

" අවුරුද්දක්ම මාව සතුටින් තිබ්බට...අනිද්දා ඉඳන් අහස්නාව සතුටින් තියන්න..ලස්සන ජීවිතයක් තියේවි ඔයාලට "
එතනින් එහාට උඹ වචනයක්වත් කිව්වේ නෑ..නිහඬවම වාහනය අපේ ගේට්ටුව ඉස්සරහට ගෙනැල්ලා නැවත්තුවා විතරයි...

" විශ් යූ අ හැපි වෙඩඩ් ලයිෆ් මයි ලවු "
ඇස් අගිස්සෙන් බේරෙන කඳුළු වලට ඉඩදීලා මම උඹේ ඇස් දෙක දිහා බලගෙන සුභපැතුවා....

" එක ඉල්ලීමක් තියෙනවා චේති "
උඹේ ඇස් වලින් ගලන කඳුළුවලටත් ඔහේ ගලායන්න දීලා උඹ ඉඩදීලා තිබුණා..

" කියන්න චනූ "

" ලබන ආත්මේ මට පස්සේ ඉපදෙන්න...හැබැයි කාටත් කලින් මගේ වෙන්න "
උඹේ ඒ පපුව පසාරු කරගෙන වචනවලට මට දෙන්න උත්තර තිබුණේ නෑ..වාහනේ දොර ඇරගත්තු මම අඩිය ඉක්මන් කරලා මගේ කාමරේට දුවලා දොර වහගත්තා...ඔව් සමහරවිට තාමත් උඹ අපේ ගේට්ටුව් ඉස්සරහට වෙලා අඬනවා ඇති...මං ආයේ දුවලා එයි කියලා බලාගෙන ඉන්නවත් ඇති...ඒත් ආයේ කවදාවත් මගේ හිතට එන ක්ෂණික හැඟීම්වලට ඉඩදීලා දුක් විදින්නේ නෑ කියලා ඉකිගහන අතරේම මගේ හිතට මං පොරොන්දු දුන්නා....

- අවසානයි -
Anjana Muthukumarana✍🏻✍🏻❤️❤️

ඇත්ත කතාව හැබැයි තාම මතුසම්බන්ධයි ..💔🥺


Comments System WIDGET PACK