බාල පෙම්වතා ( පළමු කොටස ) | Bala Pemwatha 01 Kotasa
බාල පෙම්වතා ( පළමු කොටස )
" අද හවස මං එන්නද "
" එපා අනිද්දා ඔයාගේ වෙඩින් එක "
" කමක් නෑ..මං එන්නම් "
" දුකක් ඒක..අපි දෙන්නටම "
" මට වෛර කරනවද චේති "
" ආදරේ කරපු හිතකින් වෛර කරන්න බෑ කවදාවත් "
" ඒත් මට වෛර කරන්න "
" ඔයා සතුටින් ඉන්නෝන චනූ මල්ලී හැමදාම "
" මල්ලි............."
" ඔව් අනිද්දා ඉදන් ඔයා මට සහෝදරයෙක් "
" ඒත් මල්ලි කියන්නෙපා චේති...විකාරයක් ඒක "
" ඔයා දන්නෑ චනූ...මේ වේදනාව තේරෙන්නෑ ඔයාට "
එහෙම කියපු මම ෆෝන් එක අරන් ඇද උඩට විසික්කරලා දැම්මේ අත පුරෝලා උඹට කනට එකක් ගහන්න බැරි නිසා...මොකද ආදරෙන් සිපගත්තු ඔය කම්මුලකට රිදෙන්න ගහන්න තියා ඇහිපිල්ලමකින්වත් උඹට සීරිමක් වෙනවට මම තාමත් කැමති නෑ..ජීවිතේ ඒ දවසට ආයේ යන්න ලැබුණොත් සත්තයි මං උඹේ දිහා නම් හැරිලාවත් බලන්නෑ....
" අඩෝ..චේතනා ගතිම ගති කෑල්ලක් ඉන්නවා...මෝඩයෙක් වගේ හැරෙන්නෙපා කියපු ගමන්ම "
මගේ හොදම හොද යාළුවෙක් වුණු සහංගි එක්ක දවල් කෑමකට ගිය අවන්හලේදි තමයි මේ සිදුවීම වුණේ....
" අනේ කොච්චර ලස්සන වුණත් මොකටද බන්...කොල්ලෝ ඔක්කොම එකයි..නම විතරයි වෙනස් "
මම කිව්වේ සහංගි පෙන්නපු ඒ කොල්ලා දිහා නිකමටවත් බලන්නේ නැතුව...මම ඔළුවත් පහත් කරගෙන කෑම කනගමන් හිටියේ...
" හලෝව් සහංගි අක්කා....."
ගැස්සිලා ගියේ ළඟ ළඟින්ම ඇහුණු ඒ පිරිමි කටහඩට...කටට දාගත්තු බත් කට හිමින් සැරේ හපන ගමන් මම මූණ උස්සලා බැලුවේ....අම්මෝ......කෙල්ලෙක්ගේ හීන කුමාරයෙක් කොහොමද ඇස් ඉස්සරහ ජීවමාන වෙන්නේ කියලා මට හිතුණා..ඒ තරම්ම කඩවසම් පිරිමි පෞරුෂයක් මම ජීවිතේටම දැකලා තිබුණේ නෑ ...බාගෙට හප හපා ඉදපු බත් ටිකත් හිරවුණා එක පාරටම...මම ඉක්මනටම වතුර වීදුරුවක් අරන් බීගෙන බීගෙන ගියා....
" අනේ මට අදුරගන්න බැරිවුණා චනුත් මල්ලි...තමුසේ ලස්සන වෙලා හලෝ...හැන්ඩි වෙලා "
" ඔයත් ලස්සන වෙලා සහංගි අක්කේ....අදුරගන්නත් බැරිවුණා "
" අපිටත් අදුරගන්න බැරිවුණා මල්ලිව..මම චේතනාටත් පෙන්නුවා අන්න ලස්සන කොල්ලෙක් ඉන්නවා කියලා..බැලින්නම් තමුසෙනේ "
වක්කඩ ඇරියා වගේ සහංගි කියාගෙන කියාගෙන යනවා..මොනවා වුණත් කොල්ලගේ දිහා අපි බැලුවා කිව්ව එකනම් සවුත්තුයි කියලා මට හිතුණා....
" එහෙනම් අපි කැපුණා..මෙන්න නම්බර් එක..මැසේජ් එකක් දානෝ....එන්නම් සහංගි අක්කේ "
එහෙම කියපු අර කොල්ලා ආපහු යන්න ගිහින් ආයෙත් මොකක්දෝ මතක් වෙලා වගේ හැරුණා...
" යන්නම් "
ඒ ඇස් දෙක ඒ තත්පරේදි මගේ ඇස් එක්ක පැටළුනා..ඇග පුරාම විදුලි සැරයක් දිව්වා වගේ දැණුනේ...
" චේතනා උඹ ගල් වෙලාද "
සහංගි මගේ උරහිසෙන් අල්ලලා හෙල්ලුවා..මටත් පිස්සුනේ..ඕනවට වඩා හිතනවා....අපි දෙන්නම බඩ පැලෙන්න තරම් කාලා නිදහසේ ගෙදර ආවා...රෑ ෆෝන් එකත් අරගෙන ඇදට ආවම සහංගිගෙන් මිස් කෝල් බරගාණක් ඇවිත් තිබුණ නිසා මම ආයෙමත් ඇමතුමක් ගත්තේ....
" මට ඇහුණේ නෑ සහංගි...මොකෝ හදිස්සියක් ද"
" නෑ නෑ බන්..චනුත් උඹේ නම්බර් එක ඉල්ලනවා..දෙන්නද "
" ඒ කවුද "
" අද දවල් ලන්ච් වෙලාවේ හම්බුණු මල්ලි බන් "
" ආහ්..හා...කුණුගොඩක් වෙයිද දන්නෑ නේ "
" නෑ නෑ....ඌ එහෙම නෑ බන්..හෙන හොද එකා..."
" හ්ම්..එහෙනම් දීපන් "
එහෙම ඇරඹුණු මිතුදම මෙවන් අකාලික අවසානයක් කරා ළගාවෙයි කියලානම් මම කවදාවත්ම හිතුවේ නෑ...
" බෝයි කෙනෙක් ඉන්නවද "
" හ්ම් ..ඔව් "
" කෝ ඒත්...එයා එක්ක එපැයි එහෙනම් මේ වෙලාවේ කතා කරන්න "
" එයා ඉන්නවා "
" කෝ ඉතින් "
" මගේ හිතේ ඉන්නේ "
" ඔයාටත් පිස්සු චේති "
" චේති........ "
" ඔව් මං ඔයාට චේති කියන්නම් "
" චේති අක්කා කියන්න චනුත්..මං ඔයාට වඩා අවුරුදු තුනකට වැඩිමල් "
" ඉතින් මොකෝ...මං කියන්නේ චේති කියලා "
" වැඩිහිටියන්ට ගරු කරන්න පුරුදු වෙන්න මල්ලි "
" අනේ චේති මේ...ඔය මල්ලි කෑල්ල අයින් කරගන්න අප්පා "
" චනුත්...මොනවද මේ කියන්නේ ඔයා "
" මං ආදරෙයි "
" මොකක් "
" ඔව් මං ආදරෙයි....හරස් ප්‍රශ්න අහන්නෙපා "
" පිස්සු නටන්නෙපා මල්ලි "
" ආයේ මල්ලිලු..."
" ඔයාට කෙල්ලෙක් ඉන්නවා නේද "
" ඔව් ඉන්නවා...ඉතින් "
" ඉතින් කියන්නේ "
" ආදරේ කරන්න බාහිර සාධක බලපාන්නෑ චේති..."
" ඔයා තාම පොඩී ළමයෝ...ඕක වැරැද්දක් "
" මං ආසයි ඒ වැරැද්ද කරන්න "
ඔව් උඹ හිතුවක්කාරකමින් ජයගත්තා...විරහා වේදනාවෙන් හෙම්බත් වෙලා ඉදපු මට ආදරේ කියන හැඟීම ආයෙමත් උඹ හිතට කාවැද්දුවා...වරදක් බව දැන දැනත් වරදේ බැඳෙන්න තරම් මම හැඟීම්වලට වහලියක් වෙලා හිටියේ....
" මාව දාලා යන්න වෙනවා කවදහරි ඔයාට "
" මගේ හිත හැමදාම ඔයා ළග තියලා යන්නේ චේති "
" ඇයි මාව ඔයාගේ කරගන්න බැරි "
" මම කැමති නෑ පොරොන්දු කඩන්න "
" කාටද පොරොන්දු වුණේ "
" අහස්නාට "
" ඇයි පොරොන්දු දුන්නේ "
" ඒක ලොකු කාලෙක එෆෙයාර් එකක් චේති...අහස්නාට මං ප්‍රොමිස් වුණා..එයාව මැරි කරනවා කියලා "
" පොරොන්දු රකින්නෑ චනූ හැමෝම "
" මම හැමෝම වගේ නෙමෙයි චේති...වෙනස් "
" ඔයාගේ අතින් අහස්නාට මොනවාහරි වුණාද "
"පිස්සුද චේති..මං අසහනකාරයෙක් නෙමෙයි "
" හ්ම්..මං දන්නවා "
එතනින් එහාට උඹ එක්ක ඒ ගැන කතා කරන එකම මට මහා පීඩනයක් වුණා..උඹ වචන දෙකේ මිනිහෙක් නෙමෙයි කියන එක අත්දැකීමෙන්ම මම දැනගෙන හිටියා...ඒත් උඹ නැතුව ජීවත්වෙන දවසක් ගැන හීනෙකින්වත් මම හිතන්න කැමති වුණේ නෑ ....
- අවසන් කොටස හෙට -
( සත්‍ය අත්දැකීමක්...මනඃකල්පිත නමක් වුණත් චනුත්ගේ විවාහය අනිද්දා අහස්නා එක්ක....)
Anjana Muthukumarana 💪🏻💪🏻✍🏻✍🏻ලස්සන කතාවක්...
