අහිමි පතිවත 🌻🌻🌻 | Ahimi Pathiwatha
අහිමි පතිවත 🌻🌻🌻
"මදූකා... මදූකා....."
"ඇයි කසුන්... මම රෙදි ටික හෝදලා එන්නම්..."
"කෝ මේ ලාච්චුවේ තිබුනු සල්ලි. තමුසෙ මොකද ඒවට කලේ."
"අනේ මම ගත්තේ නෑ කසුන් . මම ගත්තා නම් ඔයාට කියනවනේ... අනික මට ඊයේ පඩි නේ මට සල්ලි ඕනි උනේ නෑ..."
"එහෙනම් කෝ මේ ලාච්චුවේ තිබුනු සල්ලි. පන්දාහේ කොළ දෙකක් තිබුනා. දහයේ කාසියක් විතරයි තියෙන්නේ ..."
"මම කියනවනේ කසුන් ඔයාට ලාච්චුවට යතුර දාන්න කියලා . මමත් උදේට ගෙදර නෑ නේ..."
"තමුසෙ කියන්නේ දැන් මගෙ අක්කා ගත්තා කියලද? නැත්නම් අම්මා ගත්තා කියලද????"
"යකෝ... මගෙ එවුන් හොරකම් කරන්නේ
නෑ... උඹට වඩා මම එයාලා ගැන දන්නවා..."
"කෑ ගහන්න එපා කසුන්. එයාලා ගත්තා කියනවා නෙමෙයි මේ ගෙදරට කී දෙනෙක් එනවද????"
"කටවහ ගනින් ගෑනියේ.... මේ කාමරේට වෙන මොකෙක්වත් රිංගන්නේ නෑ.... උඹ මොකෙකුට හරි සල්ලි දෙන්න ඇති..."
"මෙන්න මගෙ කාඩ් එක ඔයාට ඕනි තරම් සල්ලි ගන්න. මම ඔයාගේ සල්ලි ගත්තේ නෑ මහත්තයෝ ...."
"උඹ බබා ..."
මාව පිච්චිලා යන්න රවපු කසුන් මගෙ කාඩ් එකත් උදුරගෙන ගෙයින් පිට උනා.
බයික් එක නොපෙනී යනකන් කුසට අත තියන් බලාගෙන හිටපු මම ලොකූ හුස්මක් පිට කලේ හිතේ දැවෙන වේදනාව ටිකක් හෝ සමනය කර ගැනීමට .
මම සමාධි මදූකා මායාදුන්න . මම විද්‍යා පීඨ ගුරුවරියක් . මගෙ මහත්තයා කසුන් ප්‍රදීප් විජේසිංහ . පොළිස් නිළධාරියෙක් . ආදර සම්බන්ධයකින් විවාහ දිවියට පා තැබූ අපි දෙන්නාගේ ආදරේ තිබුනේ මාස කිහිපයක් පමණයි. කසුන්ගේ අම්මා , තාත්තා වගේම අක්කාත් අපිත් එක්ක හිටියේ...
"සමාධි.... මොකද මල්ලි කෑ ගැහුවේ බන්..."
'මොකුත් නෑ අක්කා . කසුන් ඉතිං කතා කරද්දී කොහොමත් සද්දෙයිනේ...."
"මෙන්න මේ බ්ලව්ස් එක මැදලා දියන්කෝ. ටවුන් යන්න."
කසුන්ගේ අම්මා තාත්තාගේ වගේම අක්කාගේ වැඩත් මම අතින් ම තමයි කලේ. මම සත් මස් ගැඹිනියක්. කිසිම කෙනෙක්ගෙන් අනුකම්පාවක් නෑ. මොනවා කරන්නද ලබා උපන් හැටි තමයි.
''මේ සාරිය ලස්සනයි නේද බන්... රමණිගේ වෙඩින් එකට ගත්තේ.. රුපියල් අට දාහක් බන්."
අක්කා ටවුන් ගිහින් ඇවිත් සාරියක් පෙන්න පෙන්න මට කියනවා.
"අනේ.. හරි ම ලස්සනයි අක්කා"
මම එහෙම කියලා කාමරේට ගියා.
රස්සාවක් නොකර ගෙදර ඉන්න අක්කාට කොහෙද එච්චර වටිනා සාරියක් ගන්න සල්ලි.
නිතර නිතර ගෙදර සල්ලි වගේ ම මගේ ලස්සන අලුත් ඇදුම් කොන්ඩෙ බූල් කටු වගේ දේවල් නැති වෙන්න ගත්තා.
"ඇ... පුතේ... උඹේ ගෑනී රස්සාවකුත් කරද්දී මොකද බන් හොරකම් කරන්නේ. ගුරුවරියක් නේද?? ඔහොම ද බන් ළමයි ආදර්ශයක් වෙන්න ජීවත් වෙන්න එපැයි.මාස දෙකක මගෙ පිං පඩි තිබුනා අල්මාරියේ එවාත් නෑ.. අනේ මන්දා බන් මේවා කියලාත් බෑ නොකියාත් බෑ.."
දවසක් උදේ පාන්දර අම්මා කසුන්ට කේලම් කියනවා. අක්කා සල්ලි ගන්න ඇතී කීවට විශ්වාස කරන්නේ නෑ කියලා මම දන්න නිසා නිහඩව හිටියා.
අම්මාගේ අක්කාගේ කේලම් අහපු කසුන් හැමදාමත් මට කලේ මී හරකෙක්ට වගේ තඩි බාපු එක. මගේ කුසේ දරුවෙක් ඉන්නවා නේදෝ කියන එක කාටවත් ගානක්වත් නෑ...
මම හැම දුකක් ම ඉවසුවේ මගෙ අහිංසක අම්මා අප්පච්චී ගැන හිතලා.
"කසුන් ... ඔයාට කෝල් එකක්..."
කසුන් වොෂ් රෑම් එකේ නිසා මම දුරකථන ආන්සර් කලා.
"හෙලෝ... කසුන් මොකද බබා ලේට් මම දැන් පාරේ.ඔයාගේ ගෑනි වාතයක් වෙලාද???"
මාව පිච්චිලා ගියා. ෆෝන් එක කට් කරලා ඇස්වලින් ගලාගෙන යන කදුළු පිහ පිහ එළියේ බංකුවෙන් ඉද ගත්තා.
කසුන්ගේ ෆෝන් එකේ එක එක ගෑනුන්ගේ ජරා ෆොටෝස් තියනවා මම දවසකුත් දැක්කා.
අහන්න ගියොත් ලෝකේ තියන ජරා ම වචන ටික අහ ගන්න වෙන බව දන්න නිසා මම ඉවසුවා
"සමාධි මම එළියට යනවා. එන්න රෑ වෙයි කාලා නිදා ගනින්."
කසුන් ලස්සනට ඇදලා බයික් එකේ ගියා.
මට කසුන් විතරක් උනාට කසුන්ට තව ගෑනු කිහිප දෙනෙක් ම ඉන්නවා කියන දේ මට තේරුනා .
මුළු ගෙදර සියළුම වැඩ මගෙ අතින් නිම වුනත් කිසිම කෙනෙක්ගේ අනුකම්පාවක් ආදරයක් මට ලැබුනේ නෑ. හැමදාමත් අම්මා අක්කා කසුන්ට කේලම් කිය කිය මට ගැස්සෙව්වා.
දරුවා ලැබෙන්න දින ළං වෙද්දී අපේ අම්මා ඇවිත් මාව ගෙදර එක්කන් ගියා.
💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
"සමාධි... දැන් දරුවාටත් මාස තුනක් වෙන්න ආවා උඹ ආපහු මිනිහ ගාවට යන්නේ නැද්ද???"
"අම්මා .... අම්මාට මාව බරක් ද???"
''දෙමව්පියන්ට කවදාවත් තමන්ගේ දරුවෝ බරක් වෙන්නේ නෑ බන්. ඒත් ඉතිං ඒ උඹ යන්න එපැයි. උන්ට නම් උඹව එක්ක යන්න උවමනාවක් නෑ වගේ."
"මම පුතා හදාගෙන මෙහෙ ඉන්නම් අම්මේ . මට රස්සාවත් තියනවානේ . මට ඒ අපායට යන්න බෑ"
"හ්ම්ම්ම්ම්..... හොදට හිතලා තීරණයක් ගනින් දුවේ. මට උඹ දුක් විදිනවා බලන්න බෑ....
ඒ මිනිස්සු දරුවා බලන්න ඉස්පිරිතාලෙට ආවත් හරි තාම උන්නාද මලා ද බලන්න ආවේ නෑ... පුදුම මිනිස්සු තමයි ..."
"ඔව් අම්මා මම රැවටුනා . කසුන් කියන්නෙත් මහ ජරා මිනිහෙක් . රට හැම තැන ම ගෑනූ..
සිංහ හම පොරෝගත්ත නරියෙක්"
"පවුලක් නැති කර ගන්නවා කියන දේ නම් හරි ම ලේසි ඒත් දුව පවුලක් රැක ගන්නවා කියන එක තමයි කරන්න අමාරු . දුව කල්පනා කරලා තීරණයක් ගන්න."
අම්මා මගෙ ඔලුව අත ගාලා ගෙට ගියා.
මම තීරණයක් ගත්තා. ඔව් මම කසුන්ගෙන් නීතියෙන් ම වෙන් උනා. පුතාලා අයිති අම්මාට නිසා නීතියෙන් දරුවා මට ලැබුනා.
පුතා එක්ක මම මහ ගෙදරට වෙලා අලුත් ජීවිතයක් පටන් ගත්තා. මම ඉස්කෝලේ යද්දී අම්මා අප්පච්චී එකතු වෙලා පුතා බලා ගත්තා.
දුකයි තමයි . ඒත් පුංචි කාලේ ඉදන් බොළද කෙල්ලක් නොවුනු නිසා මම ශක්තිමත් ව ඒ දුකට මූන දුන්නා.
💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
තප්පර කට්ට කැරකෙන්නේ අපිටත් නොදැනෙන්න. දින සති ගෙවෙමින් කාලය වේගයෙන් ගමන් කලා.
දැන් පුතා ඉස්කෝලේ එක වසරේ. මම වැඩ කරන පාසලට ම පුතා ත් යන නිසා මට ලේසි උනා.
කසුන්ගේ මතකයන් ටිකින් ටික හදවතින් ඈතට යද්දී තමයි මට තරංග හම්බ උනේ. ව්‍යාපාරිකයෙක් උන ඔහුගේ බිරිඳ අත හැර දියණියත් සමග දුක්බර ජීවිතයක් ගත කරන තරුණයෙක් විදිහට තමයි මම තරංගව දැක්කේ.
දවසින් දවස ඔහු සමග ජීවිතය බෙදා ගන්න මම පෙළඹුනේ මගේ හිතටත් හොරා.
"සමාධි මම ඔයලාගේ ගෙදර එන්නද හෙට "
" ඒ මොකද තරංග හදිස්සියෙන් ම "
" අම්මා අප්පච්චීගේන් ඔයාව ඉල්ල ගන්න "
" අහ්... එන්නකෝ එන්නකෝ...."
අම්මා අප්පච්චී තරංගගේ නිහතමානී ගතිගුණවලට ගොඩක් කැමති උනා. කසාද බැදලා නෑදෑයන්ට පුංචි සංග්‍රහයක් දීලා මම පුතා එක්ක තරංගගේ කැදැල්ලේ කූඩු උනා.
" සමාධි.... මැණික ..."
"ම්ම්ම්ම්ම් මොකද "
"අපි දුවටයි පුතාටයි නංගියෙක් හරි මල්ලියෙක් හරි ගෙනත් දෙමු නේද??? පව්නේ...."
"අනේ.... තාත්තිට දුක හිතිලා. හ්ම් හ්ම් ගේමුකෝ..."
ලස්සනට මේ පවුල ගලා ගියේ ටික කාලයක් විතරයි. මම තරංගගේ දුවට මගේ පුතාට කියලා කිසිම වෙනසක් කලේ නෑ. කාගේ උනත් දරුවෙක් නේ. දරුවෝ දෙන්නාට ම මම එක වගේ ආදරය කලා. කිසිම වෙනසක් කලේ නෑ..
" අනේ අප්පච්චී .... මල්ලී මගෙ පොත් අදිනවා.."
දුව කෑ ගහනවා පුතාට ගහ ගහ
" අනේ.. දුව මල්ලි චූටිනේ..ගහන්න එපා.. පුතා අක්කිගේ පොත් අදින්න එපා.."
මම පුතා වඩා ගත්තා.
" මොකද්ද සමාධි මේ කොල්ලා මගෙ දෝණිට පාඩම් වැඩ ටික කර ගන්න දෙන්නේ ම නෑ.හැමදාම පොත් පත් අදිනවා. මහ මිනිහ වගේ ම මිනිස්සුන්ට කරදර කරනවා"
" අනේ... පුතාට තේරෙන්නේ නෑනේ තරංග . අනික මහ මිනිසුන්ගේ වැරදිවලට දරුවෝ පළි නෑ නේ..."
දවසින් දවස තරංග මගේ දරුවාට වෙනස්කම් කරන්න පටන් ගත්තා.
" අප්පච්චී .... මෙන්න මේ මල්ලී මට කෑම කන්න දෙන්නේ නෑ. පිගානෙන් අදිනවා.අයියෝ... ඉදුල් පිටින්"
මට මොකුත් හිතා ගන්න වෙලාවක් නෑ කුස්සියේ ඉදන් සාලෙට එද්දී තරංග පුතාට වේගෙන් පහරක් ගැහුවා. දරුවා විසික් වෙලා ඇවිදින් මගෙ කකුල් දෙක ළගට වැටුනා.
" තරංග ඇයි මේ මෙච්චර කේන්තියෙන්. එහෙම දරුවන්ට ගහන්න හොද නෑ... මේ කිසිම දෙයක් නොදන්නා කිරි සප්පයන්‍ට ගහලා අපායේ යන්න එපා"
" තමුසෙට මම ගාව ඉන්න ඕනි නම් මේ කාලකණ්නි කොල්ලා මහ ගෙදරට ගිහින් දාලා එනවා."
"අනේ දෙයියනේ ......"
" තමුසෙ ගුරුවරියක් නේද තේරෙන්නේ නැද්ද මගෙ දරුවා ඉගෙනගන්න දක්ෂ ළමයෙක් කියලා . මේ මූසල කොල්ලා දෝණිට වැඩක් කරන්න දෙන්නෙත් නෑ.. "
" එහෙම කියන්න එපා තරංග දරුවෝ දෙන්නා ම මගේ කියලා හිතාගෙන මම හැම දේම කරන්නේ.මමත් දෝණිට ආදරෙයි."
දවසින් දවස තරංග පුතාට කරන වෙනස්කම් වැඩි උනා. පුතා පොඩි නිසා කොච්චර කීවත් කියන දේ අහන්නේ නෑ. අනික තරංගගේ දුව හරි ම නපුරුයි. බොරුවට තරංගට කියලා පුතාට ගැස්සෙව්වා.
මේ දේවල් ඉවසලා ඉවසලා බැරි තැන මම දරුවාත් අරන් මහ ගෙදරට ගියා.
"දුවේ අර පිලවත්තේ ඉඩන් කෑල්ල මල්ලි විකුනමු කියනවා. උඹේ ඉඩම් පංගුව බෙදලා අයින් කර ගනින්. කොල්ලාට එපැයි."
" විකුනලා සල්ලි බෙදා ගම්මු අප්පච්චී . මම මේ වත්ත පහළින් ගේ හදා ගන්නම්. පුතා ටික ටික ලොකු වෙනවනේ . මට තනියක් නෑ.
ඉඩම විකුනලා ඒ සල්ලිවලින් ගේ හදන්න පටන් ගත්තා. පුතාට බයිසිකලයක් අරන් දුන්නා. දැන් මගේ එක ම හීනේ පුතාට හොද ට උගන්නන .
" අම්මේ.... හෙට උදේ 10 10ට නැකත. කිරි බත් ටිකක් උයමු නේද"
" ඔව් බන්... මම කැවුම් ටිකකුත් හදන්න හාල් ටිකක් පෙගෙන්න දැම්මා."
අද මගෙයි පුතාගෙයි අලුත් ගෙදරට ආවා. ගෙදර එච්චර ලොකූ නැතත් හරි ම ලස්සනට මට ඕනි විදිහට හැදුවා .
ජීවිතේ කියන්නේ දුකක්. සතුට දුක කියන දේ එක්ක ගලා යන ජීවිතේට ශක්තිමත් ව මූණ දෙන්න මම තීරණය කලා. මම ගුරුවරියක් විදිහට සමාජයට ආදර්ශයක් වෙන්න ඕනී. ජීවිතේ එන ප්‍රශ්නවලින් පැන යනවා වෙනුවට නිර්භීතව මුහුණ දෙන්න මම තීරණය කලා.
පුංචි පුංචි පපුවට තුරුලු කරන් මම ඇස් දෙක පියා ගත්තේ ගොඩක් සැහැල්ලුවෙන් .
..............අවසානයී.............
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
යාලුවනේ .. මේ සත්‍ය කතාවක් මම ලීවේ. මගෙ චූටි අක්කා දවසක් නැන්දයි මමයි එක්ක කුස්සියට වෙලා රස ම රස තේ එකකුත් බිබී කියපු කතාවක් තමයි මම අකුරු කලේ. ඔයාලාටත් තියනවා නම් මේ වගේ කතා මට කියන්න මම අකුරු කරන්නම්. කතාවකින් ජීවිතේට එක් කෙනෙකු හෝ ආදර්ශයක් ගනී කියලා මම හිතනවා.
අලුත් කතාවකින් හමුවෙමු .........
