සිතුවිලි | Sithuwili
උදේට හැමදාම තාත්ත වැඩට යද්දි අම්ම නිදි. තාත්ත තමා උදෙන්ම ඇහැරල තේ එක හදල මාවත් ඇහැර වන්නෙ. රෑ උයපු බත් එකයි එලෝලුවයි රත් කරල බත් එකක් මටත් දෙනව ස්කෝලෙ ගෙනියන්න. බයිසිකලෙන් මාව ස්කෝලෙට ඇරවලවල තාත්ත වැඩට යනව. තාත්ත කරන්නෙ පිටකොටුවෙ එලවලු මාකට් එකෙ මුට්ට කරගහන එක. හවසට ගෙදර ආවාම තාත්තගෙ ඇග කොහේ හරි හීරිල නැති දවසක් මන් දැකල නෑ..ඒවට තෙල් ගාන්නෙ මන්..අම්ම කරන්නෙ ගෙදර උයන එකයි ගේ අස් කරන එකයි විතරයි.
අම්මයි තාත්තයි එකට සහයෝගෙන් හිනාවෙල වැඩක් මන් දැකල නෑ..එක්කො තාත්ත අම්මගෙ අඩු පාඩුවක් කියනව..නැත්තන් අම්ම තාත්තගෙ අඩුපාඩුවක් කියනව..ඒ පාර දෙන්න රන්ඩු.. ඒ වෙලාවට මන් කරන්නෙ මේසෙ යටට වෙල අඩන එක..මට දුකයි ඒ දෙන්න රන්ඩු වෙද්දි..ඒ රන්ඩු වලට හේතුවනන් මන් දන්නෙ නෑ...සමහර දාට තාත්තත් බීගෙන එනව..ඇවිල්ල මටයි අම්මටයි හොදටම බනිනව..ඒ වෙලාවට මාව සනසන්නෙ අම්ම..අපේ අම්ම හොදයි වෙලාවකට..මට හිතෙනව තාත්තගෙ වැරදි හන්දමයි අම්ම තාත්තගෙන් ඈත් වෙලා ඉන්නෙ කියල..
හවසට තාත්ත නරකයි..අම්ම හොදයි..උදේට අම්ම නරකයි. තාත්ත හොදයි.. මේ දෙන්නම දවල්ට හොද ඇති කියල මට හිතෙනව..ඒත් දවල්ට මේ දෙන්න එකට නෑනෙ..අද අපේ ස්කෝලෙ දෙමාපිය රැස්වීම..අනික් ගොඩක් ලමයිගෙ අම්ම හරි තාත්ත හරි ඇවිල්ල..මන් මේ බලන් ඉන්නෙ අපේ ගෙදරින් කවුරුහරි එනකන්..උදේ අම්ම අඩව්වක් ඇල්ලුව තාත්ත එක්ක..ඒ අම්මගේ අතින් තාත්ත අල්ලනව මන් දැක්ක..අම්ම අත ගසල දාල..ඊය ඕයි අල්ලන්නෙප මගෙ අතින් කිව්ව..ඒ ගමන දෙන්න රන්ඩු. මන් හිතන්නෙ අතින් අල්ලන එක වැරැද්දක් වෙන්න ඇති..
ටීචර් මගෙන් ඇහුව කෝ පුතේ අම්ම කියල..මට දෙන්න උත්තරයක් නෑ..අනික් ලමයිගෙ රිපෝට් බලල අම්මල තාත්තල ඔලුව අත ගානව..කැන්ටිමෙන් කෑම අරන් දෙනව..සමහරුන්ටනන් බනිනව. එත් ඉතින් බනින්නවත් අපේ අම්ම නෑනෙ. පන්තිකවේ ඉවර වෙනකන් මන් ගේට්ටුව දිහා බලන් හිටිය..අම්ම ආවෙ නැ..අන්තිමේදි ටීචර් රිපෝට් එක මට දීල අම්මවත් එක්කන් මට වෙන දවසක එන්න කිව්ව..මන් 35 වෙනිය..පන්තියෙ ලමයි 40ක් ඉන්නව..
එක දවසක් මට උන ගැනුන.අම්ම කොත්තමල්ලි ටිකක් තම්බල බොන්න දුන්න මට..අම්ම ගෙදර එහාට යනව මෙහාට යනව මන් දැක්ක..අන්තිමේදි අම්ම මන් ලගට ඇවිල්ල කිව්ව ලෑස්ති වෙන්න ගමනක් යන්න කියල..මන් යද්දි ඇහුව අම්මෙ කොහෙද යන්නෙ කියල..අම්ම කිව්ව අදුරන අන්කල් කෙනෙක් හම්බෙන්න යනව..මේව තාත්තට කියන්න ඕනෙ නෑ..දන්නවනෙ තාත්තගෙ හැටි කියල.. අම්ම මෝනා කලත් තාත්තට වැරදීනෙ..මන් හිතුව මේක කිව්වත් තාත්ත බනී කියල.
ඒ අන්කලුයි අපේ අම්මයි හිනා වෙවී කතා කරනව මන් දැක්ක. මට කිව්ව ගිහින් සෙල්ලන් කරන්න කියල..එතන තව අන්කල්ල ඇන්ටිල අත් අල්ලන් හිනා වෙවී කතා කරන තැනක් කියල මන් ඇවිදිද්දි දැක්ක..අපරාදෙ. අපේ තාත්තවත් එක්කන් මේ තැනට එන්නයි තිබ්බෙ..එහෙනන් අම්මයි තාත්තයි දෙන්න හිනා වෙවී කතා කරනවනෙ. මන් පැත්තක වෙලා කම්මුලට අතත් තියන් කල්පනා කලේ ඒ ගැන..මන් දැක්ක ඒ අන්කල් අපේ අම්මගෙ අතින් අල්ලන් ඉන්නව..ඒක වැරදි වැඩක්නෙ. එදා තාත්ත අල්ලද්දි අම්ම බැන්න...දැන් අර අන්කල් අතින් අල්ලද්දි හිනා වෙනව..මට මේක ලොකු ගැටලුවක්..මන් හිතන් හිටියෙ අතින් අල්ලන එක වැරැද්දක් කියලනෙ. මන් ඒක ගෙදර එද්දි අම්මගෙන් ඇහුව..අම්ම කිව්ව උබට ඒ පැහිච්ච කන් වලින් වැඩක් නෑ කියල.
ඔහොම කාලයක් යද්දි ටීචර් කිව්ව අපේ පවුල නැමැති මාතෘකාව යටතේ චිත්‍රයක් ඇදන් එන්න කියල..මන් ඇදන් ගියා අම්මයි තාත්තයි මායි දවල් වේලාවක ඉන්න එකක්..ඒකත් මන් හිතේ මාවාගෙන ඇන්දෙ මෙහෙම වෙන්න ඇති කියල .මොකද මන් දැකල නෑ ඒ දෙන්න දවල්ට ඉන්න වෙලාවක් .අනික් වෙලාවට රන්ඩුනෙ.. රන්ඩු වෙනව අදින්න මට අමාරුයි..මන් චිත්‍ර අදින්න වැඩිය දන්නෙ නැ. මේක ලේසි. අපි තුන් දෙනා වෙන වෙනම ඉන්නව ඇන්ද..එක්කෙනෙක් වැරදි එකක් ඇදන් ඇවිල්ල..මන් කිව්ව ඕක වැරදියි ටීචර් බනී කියල..එයා ඇහුවෙම නෑ..ඒ පාර අපි දෙන්න රන්ඩු උනා..මන් කොලේ ඇද්ද..ඒක ඉරුන..
ඒ නඩුව ටීචර් ගාවට යන්න වැඩි වෙලාවක් ගියේ නැ. ටීචර් අපි දෙන්නවම ගෙන්නල ඇහුව මොකද රන්ඩු උනේ කියල..මන් සිද්දිය කිව්ව.." ටීචර් මෙයා අම්මයි තාත්තයි අතින් අල්ලන් ඉන්නව ඇදල..මන් ඒක වැරදි කිව්වට ඇහුවෙම නෑ.." කියල මන් කිව්ව..ටීචර් ඇහුව කවුද පුතාට ඒක වැරදී කිව්වෙ කියල..මන් කිව්ව හැමදාම වගේ අම්මගෙ අතින් තාත්ත අල්ලන්න යද්දි අම්ම බනිනව කියල. ඒක නිසා ඒක වැරැද්දක් වෙන්න ඇති කියල මන් හිතුවෙ කිව්ව. ටීචර් මගේ චිත්‍රය දිහා බලල ඇහුව මොකද මේ ඉර ලොකුවට ඇදල තියෙන්නෙ කියල..මන් කිව්ව ඒ දවල් කාලෙ පෙන්නන්න කියල..ටීචර් ඇහුව ඇයි පුතේ දවල් කාලෙ පෙන්නන ඔච්චර උස්සහ ගත්තෙ කියල..මන් කිව්ව ඒ වෙලාවට අපේ ගෙදර රන්ඩු නෑ..ඒක අදින්න ලේසි කියල.
අන්තිමේදි ටීචර් කිව්ව රන්ඩු වෙච්චි ලමයගෙ අතින් අල්ලල සමාව ගන්න කියල..මන් කිව්ව මුහුදු වෙරලට යන් කියල..ටීචර් ඇයි ඇහුව..මන් කිව්ව එතන අතින් ඇල්ලුවට වැරැද්දක් නෑ..අපේ අම්මගෙ අතින් අන්කල් කෙනෙක් මුහුදු වෙරල ගාවදි අතින් ඇල්ලුවාම අම්ම හිනා උනා කියල..ටීචර් සාරියෙන් කට වහ ගන්නව මන් දැක්ක..මගේ කතාවට ටීචර්ට හිනා ගියාද දුක හිතුනද කියල මන් දන්නෙ නැ.