ඔබ නිසා | Oba Nisa


ඔබ නිසා (කෙටිකතාව )
---------------

දොහොත් මුදුන් දීගෙන බණ අහන්න වාඩි උන කවී ධර්ම දේශනාවට වැඩිය ධම්මාලෝක හාමුදුරුවන්ගෙ කටහඬ ඇහෙන කොටම ගැස්සිල වගේ නැගිටිනව.

" දෙ .... දෙයියනේ එ .... ඒ වි .... විහඟගෙ කටහඬ නේද "

තරමක් ඈතින් ඉන්න හාමුදුරුවන්ව අදුරගන්න අමාරු නිසා ඇය නැවතත් වාඩිවෙලා බණ අහන්න පටන් ගන්නව.
ධර්ම දේශනාව ඉවර වෙනකල්ම තමන්ගෙ අතීත සිතුවිලිත් එක්ක පොර බඳිමින් හිටපු කවී තමන් අසලින් වඩින හාමුදුරුවන්ගෙ මුහුණ දිහා මහත් ඕනෑකමින් බලනව.

" ඔව් දෙයියනේ මේ ඉන්නෙ විහඟ තමයි "

ඇස් දෙකින් එළියට පනින්න දඟලන කඳුළු මහත් ආසාසයකින් නතර කරගන්න ඇය උන් වහන්සේගෙ දෙපා වදිනවා.

" සුවපත් වේවා "

එසේ කියමින් ඇය දිහා බලපු ධම්මාලෝක හාමුදුරුවන්ටත් ඇයව හදුනගන්න අපහසු වෙන්නෙ නෑ.
********************************
යෝජනාවකින් හදුන ගත්ත කවීයි විහඟයි වැඩි කාලයක් නොගොස්ම විවාහ වෙනව.
මිතුරන් එක්ක ගමේ පොදු වැඩ වලට එකතු වෙන විහඟ තම විවාහ ජීවිතෙත් සතුටින් ගෙවාගෙන යනව.
විවාහය නිසා කාලයත් ඈත් වෙලා හිටියත් කවීගෙ මිත්‍රශීලී හැසිරීමත් එක්ක විහඟගෙ මිතුරන්ට ඔහුගෙ නිවස නැවතත් සුපුරුදු තැනක් වෙනව.
හැම කෙනෙක් එක්කම සිනා මුසු මුහුනින් කතා කරන කවී ගැන විහඟගෙ හිතේ ලොකු පැහැදීමක් ඇති වෙනව.
විවාහ ජීවිත වලට උරුම දුක , සතුට , කඳුළු සිනහව එක්ක ඔවුන්ගෙ ජීවිත ගලාගෙන යන අතරෙ විහඟට සමහර නිවාඩු දවස් වලත් වැඩට යන්න වෙන එක ගැන කවී ඉන්නෙ කනගාටුවෙන්.

" දැන් මාව දැක්කම කවීට පුදුම හිතෙයි.
නිවාඩු දවසෙවත් එයත් එක්ක ඉන්නෙ නෑ කියල කේන්තියෙන්නෙ හිටියෙ "

තම දයාබර බිරිඳව පුදුම කරන්න හිතාගෙන වේලාසනින්ම ගෙදර ඇවිත් දොරට තට්ටු කරන්න හදන කොටම ඇය කාත් එක්ක හරි කතාකරන සද්දයක් විහඟට ඇහෙනව.
ඒ එක්කම ඔහු දොරට අත තියන කොටම දොර ඇරෙනව.

" දොර ලොක් කරලත් නෑ
කව්ද දන්නෙ නෑ ආවෙ "

එහෙම හිතමින් ඔහු ගේ ඇතුලට යනව.

" ම් .....
කෝ .... කවුරුවත් පේන්න නෑනෙ "

ඔහු හිමින් හිමින් ඇයගෙ හඬ ඇහෙන නිදන කාමරය දෙසට යනව.
එහිදි ඔහු දකින්නෙ සිහිනෙකින් බලාපොරොත්තු නොවුන දෙයක්.
ඔහුගේම මිතුරෙකුට තුරුළු වෙලා නිදන ඇදේ ඉන්න තමන්ගෙ බිරිඳ දැක්කම ඔහුගෙ හදවත එක තැනම නතර වෙනව.
දුකත් කලකිරීමත් මුහු වෙච්ච වේදනාවකින් හදවත පුපුරන්න යද්දි මොහොතක් වත් එතන රැදෙන්නෙ නැතුව පිටත් උන ඔහු කෙලින්ම නතර වෙන්නෙ ගමේ පන්සලට ඇවිල්ල.
*********************************
" උඹේ අතින් වෙලා තියන්නෙ ලොකු වැරැද්දක් කවී
පිරිමි කියන්නෙ ගෑනියෙක්ව කොයි වෙලාවෙද වැරැද්දට පොළඹවා ගන්නෙ කියල බලාගෙන ඉන්න ජාතියක්.
ගෑනු අපි දැනගන්න ඕන උන්ගෙන් බේරිලා ඉන්න.
විහඟගෙ යාලුවො එක්ක උනත් උඹ ඕනෑවට වඩා කතාවට නොගිහින් හිටිය නම්
උඹල අතර තියන ප්‍රශ්න උන් එක්ක කතා නොකල නම්
අද මේව මෙහෙම වෙන්නෙ නෑ.
මේ ප්‍රශ්නෙදි උඹ විතරක් වැරදි නෑ කවී විහඟ උනත් දැනගන්න ඕන යාලුවො කියන උන්ව අතේ දුරින් තියාගන්න.
ගින්දරයි පුලුනුයි ළඟින් තියන කොට ඇවිලෙනව කියල නොතේරෙන්න තරම් විහඟ මෝඩයෙක් නෙමෙයිනෙ.
කෝ දැන් විහඟ "

" ම .... මම දන්නෙ නෑ පහන්දි.
ඊයෙ හවස ඇවිත් ගොඩක් වෙලා කල්පනා කර කර හිටිය.
ඊට පස්සෙ ගිහින් නිදාගත්ත.
උදේ මම නැගිටල බලන කොට මේ ලියුමයි , ගෙදර ඔප්පුවයි මෙතන තියල තිබුන "

" මොනවද ලියුමෙ ලියල තියන්නෙ "

" මායි සහසුයි රූම් එකේ හිටපු එක එයා දැක්ක.
ඔයා කැමති විදිහකට ජීවත් වෙන්න.
එයා යන තැන ගැන හොයන්න එපා
එයාට එයාගෙ පාඩුවේ ඉන්න දෙන්න
මේ ඉඩමයි ගේයි මගේ නමට ලියල ඇති
ඔප්පුව ලෝයර්ගෙන් ඉල්ලගන්න
ඩිවෝස් පේපර් වලට එයා සයින් කලා
ඒවත් ලෝයර්ගෙන් ඉල්ලගන්න
එයා ගැන අහන අයට එයා මාව දාල ගිහින් කියල කියන්න කියල ලියල තියනව "

ඇස් දෙකේ කඳුළු පුරෝගෙන කවී කියවගෙන යනව පහන්දි බලාගෙන හිටිය.

" දැන් උඹ මොකක්ද කරන්න හදන්නෙ "

" මට මෙහෙ ඉන්න බෑ පහන්දි
මැරෙන්න හිතෙනව "

" පිස්සු කියවන්න එපා බන්
මේ හැමදෙයක්ම අත ඇරල දාල කොහෙ හරි ඈතකට ගිහින් ජීවත් වෙයන්
වරෙන් යන්න අපේ ගමට
මම උඹට එහෙන් ඉන්න තැනක් අරන් දෙන්නම් "

පහන්දි එක්ක ඇගේ ගමට යන කවීට කාලයක් එක්ක හැමදෙයක්ම අමතක කරන්න පුළුවන් වෙනව.
තමන්ට ගැලපෙන කෙනෙක් එක්ක නැවතත් විවාහ වෙන ඇය ඔහුත් එක්ක සතුටින් ජීවත් වෙනව.
ගමේ පන්සලේ බණ කියන්න ලග තියන ආරණ්‍යයෙ හාමුදුරුවො නමක් වඩිනව කියන අරංචියට ඇයත් බණ අහන්න පන්සලට යනව.
*************************************
කවී හිමින් හිමින් ධම්මාලෝක හාමුදුරුවො වැඩ ඉන්න තැනට යනව.
දෙනෙතට කඳුළු ගලාගෙන එද්දිම ඇය දන ගහල උන් වහන්සේගෙ දෙපා අල්ලල වදිනව.

" ම ... මට ස ... සමාවෙන්න හාමුදුරුවනේ "

හදවත පුච්චගෙන එන වේදනාව අතරින් ඇය ලොකු ආයසයකින් වචන ගලපගන්නව.

" සුවපත් වේවා.
මුලින්ම ඔය ඇත්ති පැත්තකින් වාඩිවෙන්නකො "

ධම්මාලෝක හාමුදුරුවො නිවුනු හඬින් කියනව.

" දැන් ඔය ඇත්ති කඳුළු හලන එක නවත්තල හිත සැහැල්ලු කරගන්නකො "

ඇස් වලින් ගලන කඳුළු පිහිදගත්තට
ඇය හිත ඇතුලෙන් මහ හයියෙන් අඬනව.

" දැන් ඔය ඇත්ති මගෙන් සමාව ඉල්ලන්නෙ ගිහියෙක් විදිහට ඉන්න කොට ඔය ඇත්තිගෙන් මට වෙච්ච වැරැද්දටද "

" ඔ .... ඔව් හාමුදුරුවනේ "

" එදා ඔය ඇත්තිගෙ අතින් මට වෙච්ච වැරැද්ද නිසා හිත කලකිරිල මහන උන එක ඇත්තයි.
ඒත් දැන් මම ඒ ගැන ගොඩක් සතුටු වෙනව "

ධම්මාලෝක හාමුදුරුවො එහෙම කියන කොට කවී උන් වහන්සේ දිහා පුදුමයෙන් වගේ බලනව.

" ගිහිගෙය කියන්නෙ දුක් ගොඩක්.
ඒ ගිහි ගේ ඇතුලෙ ඉන්න කල් ආසාවල් වලට වහල් වෙලා
බැඳීම් ඇතුළෙ හිර වෙලා
අපි තව තවත් සංසාරෙට පව් පුරෝ ගන්නව.
ඒත් මම දැන් ඒ දුකින් නිදහස් වෙලා ඉන්නෙ.
මට ඔය ඇත්තිගෙ අතින් උන පවින්
ඔය ඇත්තිව බේරගන්න බෑ.
ඒත් මම කරන පිං වලින් කොටසක් ඔය ඇත්තිටත් අනුමෝදන් කරන්නම්.
ඔය ඇත්තිත් ඔය ඇත්තිගෙ අතින් උන වරද ගැන හිත හිත පසු තැවෙන්න එපා
පුළුවන් තරම් පිංකම් කරන්න.
කවද හරි අපි මැරෙන දවසක අරගෙන යන්නෙ අපි කරන පිං පව් විතරයි "

ධම්මාලෝක හාමුදුරුවන්ගෙ වචන වලින් හිත නිවා ගත්ත කවී නැවතත් උන් වහන්සේගෙ දෙපා වැදල සැහැල්ලු සිතින් නැගිට්ටෙ පුළුවන් තරම් පිං කම් කරල තමන්ගෙ අතින් උන පව් වලින් නිදහස් වෙනව කියල හිතාගෙන.
( නිමි )
කෙටිකතාවක් ලියන කොට මම කියවන කෙනාටත් යමක් හිතන්න ඉතුරු කරනව.
ඒක අඩුපාඩුවක් විදිහට කෙනෙක් දකිනවනම් ඒකට මට සමාවෙන්න.

Author Contact - facebook.com/sumith.priyadarshana.9277

Comments System WIDGET PACK