මහලු හදවත | Mahalu Hadawatha
මහලු හදවත
-----------------------
උදෑසන සිටම තම ගතට දැනෙන වේදනාවට වඩා වැඩි වේදනාවකින් සිත රිදුම් දෙද්දී සිරිසේන මහතා සෙමින් සෙමින් තම දයාබර බිරිඳ මිහිදන් කර ඇති සොහොන් ගැබ දෙසට පියවර තැබීය.
පසුව සොහොන අවට යන්තමින් හිස ඔසවමින් තිබූ වල් පැල සියල්ල උදුරා දැමූ ඔහු එහි සවිකර තිබූ තම දයාබර බිරිඳගේ ඡායාරූපය රෙදි කඩකින් පිස දැමීය.
" උඹ මාව දාල ගිහින් අදට අවුරුදු පහක් වෙනව ලතෝ.
දැන්නම් උඹ හොඳ තැනක ඉපදිලත් ඇති.
ලොකු සැපක් නොවින්දට තිබුන දේවල් පිරිමහගෙන මාත් එක්ක ජීවිත කලෙම ළඟින් හිටියට උඹට පිං.
වෙන ගෑණු වගේ අපිට වඩා යමක් තියන උන් දිහා බලල අඬන්නෙ නැතුව අපිට තරම් වත් නැති උන් දිහා බලල උඹ සතුටින් ජීවත් උන හැටි දැක්කම මට හරි පුදුමයි.
ලැබෙන දේ පිරිමහගෙන දරුවන්ව හොඳ තැනකට ගේන්න උඹ වෙච්ච මහන්සිය දන්නෙ මම විතරයි.
පෙර පිනකට මට උඹව මේ ආත්මෙ ලැබුනට මිනිහෙක් පෙරුම් පුරල ලබන්න ඕන ගෑනියෙක් ලතෝ උඹ.
ආයි සංසාරේ කවද හරි අපි මුණ ගැහෙයි.
පුළුවන් නම් එදාටත් මේ ආත්මෙදි වගේ උඹ මගෙම වෙයන් "
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
බෑගයක් හා මල් වට්ටියක් අතැතිව සෙමින් සෙමින් පන්සල වෙත එන සිරිසේන මහතා දුටු ලොකු හාමුදුරුවෝ ඔහු පැමිණෙන බලා සිටියේය.
" දැන් අසනීප තත්වෙ එහෙම කොහොමද සිරිසේන මහත්තය "
" කියන්න තරම් ගුණයක් නෑ හාමුදුරුවනේ "
" තාම දවස් දෙක තුනකට වඩා නෑනෙ.
බෙහෙත් වේල් ටික වෙලාවට ඇඟට වැටෙන කොට ඕක අඩුවෙලා යයි "
" එහෙමයි හාමුදුරුවනේ "
" ළමයිගෙන් ආරංචියක් එහෙම නැද්ද "
" නෑ හාමුදුරුවනේ.
අනික දැන් නම් මට උන් ගැන දැන ගත්ත කියල වැඩකුත් නෑ "
" ඒ මොකද මහත්තය "
" මටත් වඩා උන් එනකල් කියල බලාගෙන හිටියෙ උන්ගෙ අම්ම.
උන්දගෙ අන්තිම හුස්ම යනකල්ම ආවෙ නැති දරුවො දැන් ඇවිල්ල මොනව කරන්නද හාමුදුරුවනේ "
" ඇයි සිරිසේන මහත්තය දරුවො දකින්න ආස නැද්ද "
" උන් ඉන්න තැනක සතුටින් ඉන්නව නම් හිටපුවාවෙ.
මම කියල තව වැඩි දවසක් ඉන්නෙ නෑනෙ.
මේ ටික කාලෙත් මම මෙහෙම ඉදල මැරිල ගියාවෙ අපෙ හාමුදුරුවනේ "
" අපි ඔය ගැන පස්සෙ කතා කරමු.
දැන් සිරිසේන මහත්තය බුදුන් වැදල එන්නකො "
" හොදමයි හාමුදුරුවනේ "
----------------------------------------------------------------
" ආ .... මහත්තය ආවද?
ඉන්න මම කෑම ටික බෙදල දෙන්නම් "
" කෝ ලතෝ දරුවො ටික.
උන් කෑම කෑවද? "
" ඔව්.
ඔන්න අද වේලපහම කෑම කාල නිදාගත්ත "
දරුවන්ගේ නිදන කාමරය අසලට ගිය සිරිසේන මහතා මද වේලාවන් ඔවුන් දෙස බලා සිටියේය.
" පව් බන්.
අතට කීයක් හරි හම්බවුනාම මුන් තුන්දෙනාව කොහෙ හරි රවුමක් එක්ක යන්න ඕන "
" ඔව් ඔන්න අදත් කිය කිය හිටිය මේ නිවාඩු කාලෙ වත් තාත්ත කොහෙ හරි එක්ක යයිද දන්නෙ නෑ කියල "
" ඒ උනාට අපි මුල් තැන දෙන්න ඕන ඕවට නෙමෙයි ලතෝ අපේ දරුවන්ට හොදට උගන්නන්න.
අපි කොහොම හරි උන්ට උගන්වල හොද තැනකට ගෙනාවොත් ඔය ආසාවල් හැම එකක්ම ඉශ්ඨ කරගන්න උන්ට පුළුවන් වෙයි "
" අපේ අම්මලට අපිට උගන්නන්න සල්ලි තිබුනෙ නැති නිසා මෙහෙම දුක් විදින්න උනාට අපේ දරුවන්ට එහෙම වෙන්න දෙන්න බෑ "
" කවද හරි අපේ දරුවො හොද තැනකට ආවම අපිටත් හොදට සලකයි නේද මහත්තය "
" අපිට නම් සැලකුවෙ නැතත් කමක් නෑ උන් හරි සැපෙන් හිටියොත් මදැයි ලතෝ "
" නෑ මහත්තය මං දන්නව.
අපේ ලමයි කවදාවත් අපිව අමතක කරන්නෙ නෑ "
-----------------------------------------------------------
බුදුන්ට මල් පහන් පූජා කල සිරිසේන මහතා බෝ මලුවේ පසෙකින් වාඩි විය.
" උඹට පිං දෙන්න බණක් කියල දානයක් දෙන්න තරම් හයියක් මට නෑ ලතා.
ඒත් පුළුවන් හැමවෙලාවකම මම බුදුන් වැදල උඹටත් පිංදෙනව.
උඹයි මායි බලාපොරොත්තු උන විදිහටම අද අපේ දරුවො ගොඩක් හොද තැන්වල ඉන්නව.
ඒ ගැන මටත් වඩා උඹට සන්තෝෂ ඇති.
මොකද මම උඹල වෙනුවෙන් සල්ලි හොයන්න මහන්සි වෙනකොට උන්ගෙ හැම ඕනෑ කමක්ම හොයල බලල කරේ උඹ නිසා.
උන්ට උගන්නන්න වැඩිපුරම මහන්සි උනේ උඹ නිසා.
උන් ඉගෙන ගත්තෙ උඹේ හයියෙන් නිසා.
හොදට ඉගෙන ගෙන හොද රස්සාවල් හොයා ගත්ත අපේ දරුවො අපිට හැබෑකරල දෙන්න බැරි උන හැම හීනයක්ම හැබෑ කරගෙන ඇති.
උඹ වගේම මාත් අපේ දරුවො දකින්න ආසයි.
ඒත් උඹ වගේ අන්තිම හුස්ම යන වෙලාව වෙනකල් උන් එනකල් බලාගෙන ඉදල ඒ ආසාව ඉශ්ඨ කරගන්නෙ නැතුව මැරෙන්න මට උවමනාවක් නෑ.
අපිට ඕන උනේ උන්ගෙ සතුට.
ඉතින් උන් සතුටින් ඉන්න වනම් අපි ගැන නොබැලුවත් මොකද ලතෝ.
මගෙ පණ කෙන්ද යනකල් මම පුළුවන් තරම් පිං කරන්නම්.
උඹයි මායි වෙනුවෙන් මට කරන්න පුළුවන් එච්චරයි "
මෙච්චර වෙලා තමන්ගෙ බිරිඳත් එක්ක හිතින් දොඩමලු උන සිරිසේන මහත්තය දොහොත් මුදුන් දීල නමස්කාරය කියන්න පටන් ගත්ත.
