කුස්සි කෙල්ල👩‍🍳 | Kussi Kella



කුස්සි කෙල්ල👩‍🍳

😍🍮🍮🍮🍮🍮🍮🍮🍮🍮🍮🍮🍮🍮🍮🍮🍮🍮🍮🍮🍮😍

"එහාට වෙන්න මහත්තයො....
උයන්න එපැයි මං... කෝ ඉතින්....
නැගිටින්න දෙන්නකො අප්ප......
හපනව ඔන්න හරිද...
කවදත් සුපුරුදු අමේෂිගෙ ගෝරනාඩුවට අමේෂ් ඇයව තව තවත් තුරුලට ගෙන ගුලි උනා...

දුක සතුට පිරි වසර පහක ප්‍රේම කතාවේ මල් පීදී ඔවුන් එක වහලක් යට කූඩු උනේ මසකට ඉහතදි දෙමාපිය ආශිර්වාදය මැද්දෙන්.

එතැන් පටන් අමේෂිගේ දින චර්‍යාව, ඇය ඔහුගේ ඕනෑ එපාකම් සපුරමින් ඔහුගේ ආදරණීය බිරිඳ ලෙස ගෙවූවේ බොහෝම සතුටින්...

රූපවාහිනී නාලිකාවකට අයත් කාර්‍යාල ශාඛාවක පුවත් සහයක සංස්කාරකවරයෙක් ලෙස සේවය කල අමේෂ්ගේ කෙතරම් සුන්දර ලලනාවන් පිරිවරාගෙන උන්නත් ඔවුන් අසලදී සසල නොවූ හිත හෙල්ලුනේ දඟකාර කටකාර නිහතමානී ඒහෙත් තමාගේ වැදගත්කමට සරිලන ලෙස හැසිරුනු සුන්දර අමේෂිගේ හිත ලඟයි....

ඇය එම නාලිකාවේම සේවය කලේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නියක් ලෙස වුවත් අහම්බෙන් ඇය ඔහුගේ නෙත ගැටුනේ ඔහු පුවත් සංස්කරණය කලේ එහි පිහිටවා තිබූ අනු ශාඛාවක සිට නිසායි...

එදා මෙදා තුර පෙම් කතාවේ කෙළවර විවාහයම වූ නිසා අමේෂිත් ඔහුත් සිටියේ උතුරා යන සතුටින්...

අමේෂිට අවශ්‍ය උනේ ඇගේ පවුල් ජීවිතය වෙනුවෙන් ම කැප වන යුවතියක් වෙන්න... ඒ නිසාම අවුරුදු විසි දෙකක් උන ඇය ඇගේ රැකියාවට පවා සමු දුන්නේ ඔහු ඇගේ මුලු ජීවිතයම කර ගනිමින්....

සෑම හිමිදිරියකම කාර්‍යාලයට ගිය අමේෂ් නැවත නිවසට එන තුරු ගෙවා දැමුවේ අසීරු කාලයක්....
ඔහුට කාර්‍යාලයේ කාර්‍යබහුලත්වයෙන් මිදී සෑම විටම අවශ්‍ය උනේ ඇය සොයා පියඹා එන්නට...
ඒත් ඔහු ඔහුට පැවරුනු සියළු කාර්‍යන් නොපිරිහෙලා ඉටු කල යුතුවම තිබුනා....
ඒ නිසාම සවස පහ හෝ හය වන විට ඔහු නිවසට පැමිණුනේ ඉතා වෙහෙසකර දිනක් ගෙවා දමායි....

ඒත් අමේෂි ගෙවුවේ ඊට හාත්පසින්ම වෙනස් ජීවිතයක්.....

උදෑසනම අවදිව ඇය ඔහුට නැවුම් කිරි වීදුරුවක් පිළියෙල කර දී ඇගේ දෑතින්ම ඔහුට දිවා ආහාරය සකසා දුන්නා....
එයින් නොනැවතුනු ඇය ඔහුට උදෑසන ආහාරය පිළියෙල කර දුන්නේ හැමදාමත් ප්‍රමාද වී ඇහැරෙන ඔහුට කඩිමුඩියේ බෝජන ගැනීමට පහසු වන පරිදියි...
බොහෝ අවස්ථාවල සිදු උනේ ඔහු සූදානම් වනතුරු කුඩා දරුවෙකුට මෙන් ඇය ඔහුට ආහාර කැවීමයි...
ඔහු ඒ නිසාම හිතාමතාම ප්‍රමාද වූ අවස්ථාද නැතුවාම නෙවෙයි...

"දැන් ඉතින් ඔය හුරතල් උනා මදැයි මහත්තයො.... මේ අන්තිම කටත් කාල යන්න....."

එදිනත් ඇය පිඟානෙ තිබූ අවසන් බත් කට ඔහුට දිගු කලේ කණ්නාඩියෙන් පෙනෙන ඔහුගේ රුව දෙසටයි...
සූදානම් වී ඔහු ඇගේ පිටුපසින් විත් ඇයව වැළඳගෙන තිබුනා....

"ආ මෙන්න චූටි පැටියා වතුර එකත් බොන්න.....
යකෝ මේක හරි මගුලක්නෙ.... මට ළමයෙක් හදාගත්තොත් එහෙම බෙල්ලෙ වැළ දාගන්න වෙනව පොඩි උන් දෙන්නෙක්ව හුරතල් කරන්න ගිහින්....."

අමේෂි කිව්වේ බොරු තරහක් මවාගෙන නෝක්කාඩුවෙන්....

"ඉතින් අපිට දැම්ම පැටව් ඕනි නෑනෙ මගෙ අම්මියෝ....
මේ මාව බලාගත්තම මදැයි......"

අමේෂ් පවුලේ එකම දරුවා නිසා ඔහු පවුලේ හුරතලාද උනා... ඒ නිසාම ඔහු අමේෂිත් සමඟද ගෙවුවේ ඊට නොදෙවෙනි දිවියක්....

අමේෂිත් පුංචි එකෙකු බලාගන්නවා වගේ ඔහුව බලාගත්තේ හරිම ආදරෙන්...

"හා... හා...
අපිට පැටව් ඕනි නෑ...
නාකි වෙලා හොම්බෙන් යන කාලෙකත් හුරතල් වෙයන් මහත්තයො මටම....."

අමේෂි රිදෙන්නට ඔහුගේ කොපුලක් හපමින් කිව්වා...

"පරක්කු වෙනව මෝඩ උලව්වේ...
දැන්වත් යන්නකො අප්පා...."

ඇය ඔහුව සුපුරුදු පරිදි දොර දෙසට තල්ලු කරන් ගියේ පෙරපාසල් දරුවෙක් බලෙන් පෙරපාසලට ඇතුල් කරන්න යන්නා වගේ....

"අනේ කෙල්ලෙ අද මට යන්න බෑ වගේ අප්පා.. මං ඉන්නම්කෝ..."

දොර අසලින් නතරව ඔහු කීවේ හිසත් කසමින්...
අමේෂිත් හිනාව ගිලගෙනම ඉනටත් දෑත් තියන් දෑස් හීන් කර ඔහු දෙස බලා උන්නා...

"ගුටි කනවද
වැඩට යනවද ආ....
ගෙදර උන්නම ආණ්ඩුවෙන් සහනාධාර එවනවද අපිට කන්න බොන්න ආ...."

තරවටු හඬින් එසේ පවසමින් ඇය ඔහු අසලට ගොස් ඔහුගේ බඳ වටා දෑතම යවා ඔහුගේ පපුවේ හිස තියාගත්තා....

"මේ අහන්නකො මහත්තයො....
මට තේරෙනව ඔයාව...
ගොඩක් මහන්සි වෙලානෙ ආපහු එන්නෙ...
ඒත් වැඩට නොගිහින් කොහොමද සල්ලි හොයන්නෙ ම්ම්....
මමත් දැන් ජොබ් එක කරන්නෙ නෑනෙ...
ඒ නිසා හොඳ මහත්තය වගේ දැන් පරිස්සමට ගිහින් එනවද කියන්න......"

ඇය හිස ඔසවා ඔහුගේ දෑස් දෙස එක එල්ලේ බලමින් ඇසුවා... එවරනම් ඔහුගේ දෑසේ තිබුනේ දීප්තියක්.. ඇගේ උත්තේජනය නිසා ඔහු හඬ අවදි කලේ පෙරට වඩා උද්‍යෝගිමත්ව.

"මං මහන්සි වෙලා එන හැම හවසකම මේ ලස්සන චූටි කෙල්ල ඉන්නවනෙ සුවඳ ගගහ ඇවිත් මගෙ කරේ එල්ලිලා මහන්සි නිවන්න..
ඉතින් මොකටද මං නොගිහින් ඉන්නෙ...
මං එනකන් පරිස්සමින් ඉන්න මගෙ සුදු නෝනා ම්ම්
ගිහින් එන්නම් මං....."

ඇගේ හිස සිඹ ඔහු ඇයට සමු දුන්නා..
ඇයගේ හිතේ පිරුනේ ලෝබකමක්... නමුත් ඇය සතුටින් ගෙතුලට දිව ගියේ ඇගේ දිනය අරඹන්නයි...

ඔහු ගිය පසුත් ඇය තනිවම වුවත් වැඩපල කලේ සිනාමුසු මුහුණින්...
නිවස අස්පස් කර දැමූ ඈ රෙදි සෝදා දමා ඇඟ සෝදාගෙන සුපුරුදු පරිදි මුළුතැන් ගෙට ආවේ ඔහු පැමිණි පසු ඔහුව පුදුම වන ආකාරයේ ආහාරයක් පිළියෙල කරන්නට හිතාගෙනයි....

එය ඇගේ පුරුද්දක්ව තිබූ නිසාම අමේශ්ටත් ඇගේ අතින් සෑදූ අලුත් කෑමක් නොකා නින්ද ගියෙත් නැති තරම්..
ඇගේ මේ ක්‍රියාවන්ට අමේශ් පුදුම තරම් ඇළුම් කලේ ඇය මේ සියල්ල සිදු කරන්නේ තමා කෙරේ සෙනෙහසින් ආදරයෙන් බව දන්නා නිසාමයි...

අමේෂි එදින සැදුවේ අතුරුපසක්.....
රාත්‍රී ආහාරයෙන් පසු ඔහුට එය රස විදින්නට ලබා දීම ඇගේ අරමුණ උනා....
චොකලට් මූස් කේක්...... ඇය අන්තජාලයෙන් සොයාගත් ආකාරයටම එය සාදා නිම කරගත්තේ සිතට දැනුණු සතුට නිම් හිම් නොමැතිව යද්දී....

හිතුවාටත් වඩා වේලාවක් ගිය නිසාම ඇය එය ශීතකරණයේ බහා නාන කාමරය වෙත දිව ගියේ ඔහු පැමිණෙන්නට පෙර ස්නානය කර අලුත් ඇඳුමකින් සැරසීමේ බලාපොරොත්තුවෙන්..

තුවායත් ඇඳගෙන නාන කාමරයෙන් ඇය පිටතට ආවේ තෙත කොණ්ඩය පිසදාමින්...
එවිටම අමේශ් ත් පැමිණ ඇඳේ වැතිරී සිටියේ දෑස් පියාගෙන... ඔහුගේ මුවේ තිබුනේ විඩාබර පෙණුමක්...
සෙමින් අඩි තබමින් ඔහු අසලට ගිය අමේශි තෙත කොණ්ඩය ඔහුගේ මුවට ඉහලින් ගසා දැමුවේ ඔහුගේ මුලු ඇඳුමත් මුවත් දිය බිඳිති වලින් වැසී යන්නට....

"ඔහ්... හොර කෙල්ල....
යකෝ බය උන තරමක් මං..... හම ගහන්න එපැයි මේකිව"

අමේෂ් එකවරම ඇයව සිරුර මතට ඇදගත්තේ එසේ කියමින් ඇගේ කනක් රතු වෙන්නට මිරිකමිනුයි..

"ආ....ව්.... වතුර පොඩ්ඩක් ගෑවුනාම මෙයාට යන කික් එක.. ගිහින් වොශ් එකක් දාන් එන්නකො එහෙනම් අනේ......"

"වොශ් දාන්න කලින් තේ එකක් බොමුකො සුදු කෙල්ලේ....... මහාන්සී බං අද මාර විදියට...."

"ම්ම්... ඉන්න ඉක්මනට ගේන්නම්...."

"ඔහු හිටු හිඹුටි.. ඇඳුමක් දාන් පල මගෙන් ගුටි නොකා...."

යන්නට ගිය අමේශිව අතින් ඇඳ නවතාගත් ඔහු පැවසුවේ ඇගේ පස්සටත් තට්ටුවක් දමමින්....
ඔහු දෙස නෝක්කාඩුවෙන් බැලූ ඇය ඇඳුමක් ඇඳගෙන දිව ගියේ ඔහුට තේ එකක් සාදා දෙන්නටයි....

'රෑට දෙන්න හිටියේ ... ඔන්න ඔහේ දැන්ම දෙනවා අනේ... තේ බොන ගමන් කන්නෙ නැතැයි'

අලුත් කෑමේ ගුණ අගුණ ඔහුගේ මුවින් අහගන්නට ඇයත් උන්නේ ඉස්පාසුවක් නැතිව නිසාම ඇය තමාටම මුමුනා ගත්තේ කේක් එක කපා බන්දේසියක් මත තබා තේ දෙකක්ද සාදා ට්‍රේ එක මතින් තබමිනුයි...

ඇය යනවිට ඔහු කමිසය ගලවා දමා සැහැල්ලු සරමක් ඇඳගෙන උන්නේ රූපවාහිනිය නරඹමින්...
අසල තිබූ ස්ටූලය මතින් බන්දේසිය තැබූ අමේෂි ඔහු අත තේකක් තැබුවේ දිදුලන දෑසින්....
අමේෂ්ගේ මුවේ සිහින් සිනාවක් ඇඳුනේ බන්දේසිය මත තිබූ කේක් කැබලි දෙක දැකීමෙන්...

"මටනම් ෆයිව් ස්ටාර්ස් සෙවන් ස්ටාර්ස් වලින් කන්න මහන්සි වෙන්න ඕනි නෑ මගෙ සුදු නෝනා පොඩ්ඩ ඉන්නකන්....
හෝටල් සංස්ථාවම අපේ ගෙදරනෙ ඉතින්......"

එසේ කියමින්ම ඔහු කේක් කෑල්ලක් ගෙන රස බලමින් ඈ දෙස බැලුවා...
ඔහුගේ වදනින් ඇයට දැනුනේ සියුම් ආඩම්බරයක්...
ඊලඟට ඇය උන්නේ ඔහුගේ ප්‍රතිචාරයක් අපේක්ශාවෙන් නොඉවසිල්ලෙන්....

"රසයි කෙල්ලෙ... රසම රසයි....
ඔයාගෙ අත් ගුණේ ඉතින් මම දන්නවනෙ..."

ඇසකුත් ඉඟි මරමින් ඔහු පැවසූ ලෙසට ඇයට ලැජ්ජාවෙන් සිනා සුනා...
ඔහි කෙඳිනකවත් ඇයගේ ආහාරයන්ට දොසක් නොකීවේ විටෙක කන්නට බැරිම ලෙස තිබුනත් ඒවා ඇය කරන්නේ ඉතාමත් ආශාවෙන් ඔහු වෙනුවෙන්ම බව දන්නා නිසාම ඇගේ සිත රිදවීම සුදුසු නොවන නිසාමයි...

රුවින් ගුණයෙන් මෙන්ම අත් ගුණයෙන්ද ඇය අනූන නිසා එවන් අවස්ථානම් ඉතාමත් අල්ප උනා....

කාලය ගෙවී ගියේ විදුලි වේගයෙන්..........

වසර දෙකක් පමණ ගත වන විට අමේෂ් පෙරටත් වඩා කාර්‍යබහුල උනේ ඔහු පුවත් සංස්කාරකවරයෙක් ලෙස උසස් කෙරුණු නිසා...
ඒ නිසාම මොවුන් දෙදෙනාගේම ජීවිත ඒකාකාරී උනේ අමේෂිට දරාගත නොහැකි ලෙස අමේෂ්ගේ ක්‍රියා කලාපයන් වෙනස් කරමින්....

එහෙත් ඇය සුපුරුදු ලෙංගතුකමින්ම ඔහු හා ගත කලා... සමහර දින වල ඔහු නිවසට ආවේම නැති තරම්.... මේ ලෙසින් සතියට දෙවරක් පමණ ඔහු නිවසට නෑවිත් සිටියා...
නමුත් අමේෂි ඇගේ සියළු කටයුතු නොපිරිහෙලා ඉටු කලේ පතිභක්තිය හිතේ පෙරටු කරගනිමින්....

ඒකාකාරී උනත් ඇය ජීවිතය කඩා වැටෙන්නට දුන්නේ නෑ... ඒ වෙනුවට ඇය මුළුතැන්ගෙය ජීවිතය කරගත්තා...
විවිධ ආහාර වර්ග අත් හදා බලමින් ඇය පොතකුත් ලිවුවා...

නමුත් එක් දිනක් රාත්‍රියේ...... ඔහු සිටියේ තද නින්දේ.... ඇය සිටියේ බර කල්පනාවක.... මාස කීපයක සිටම ඔහු ඇයව ප්‍රතික්ෂේප කරන සෙයක් ඇයට දැනුනා... ඒ නිසාම අමේෂිගේ යටි හිතේ තිබුනේ බුර බුරා නැගෙන වේදනාවක්... සෑම රාත්‍රියකම කාටත් රහසේ සිහින් ඉකිබිඳුමක් ලෙස ඇය ඒ වේදනාව පිටමං කර දැමුවා.....

"ශේ.......න්.... ශේන්... ශේන් මගෙ කෙල්ලේ....."

අමේෂිට දැනුනේ හිස මත අකුණු දහසක් පුපුරවා යන සෙයක්....
අමේෂ් සිහිනයෙන් දොඩවන මේ ශේන් කවුද....
ඇය නාන කාමරය වෙත දිව ගොස් රැයේ මැදියමද නොතකා වතුර මල යට සිටගෙන දුක දිය වී යන තුරුම හැඬුවා...
අවසානයේ පාන්දර වන විට ඇය සිටියේ දැඩි තීරණයක...
ඒ කුමන දේ සිදු උනත් ඔහුව අත් නොහරින දිවුරුම තමාටම දෙමින් ඇය මුළුතැන්ගෙට ගොස් ඔහුට කාර්‍යාල රැගෙන යාමට ආහාර පිළියෙල කලා...
ඔහුව අවදි කරවීමට කිරි එකත් රැගෙන ඔහු වෙත ගිය ඈ ඇගේ සීතල දෙතොල් ඒ නලල මත තබා කිරි එක අසල තිබූ ස්ටූලයක් මත තබා එතනින් නික්මුනේ ඔහු අවදි වූ බව ඔහුගේ කෙඳිරියෙන් සැක හැර දැනගෙන...

කඩිමුඩියේ ලෑස්තිව අමේෂ් කාර්‍යාලයට පිටත් උනේ උදෑසන ආහාරය හෝ නොගෙන..

"මහත්තයො ඔහොම ඉන්න.."

අමේෂි වෙනසක් නොපෙන්වාම දොරකඩට ගොස් ඇඟිලි තුඩු වලින් ඉස්සී ඔහුගේ නලල මත හාදුවක් තබමින් ඔහුට සමුදුන්නේ ඒ හිස මත දෑතම තබමින්...

"බුදු සරණයි රත්තරනේ... පරිස්සමින් ..."

ඔහු ඇගේ දෑස් මග හැරම යන්නට ගියේ "ම්ම්" පමණක් කියමින්...

අමේෂ් තමාගේම මෝටර් රථයක් ගත්තේ මෑතකදී...
මගක් දුරට යන විට ඔහුගේ දුරකතනය නාද උනත් ඔහු රථය නවතන විට ඇමතුම විසන්ධි උනත් ඔහු බැලුවේ ඇමතුම කාගෙන්ද කියායි...
ඇමතුම පැමිණි නාඳුනන සිම් පතින්ම ඒ වන විට කෙටි පණිවිඩයක් විත් තිබූ නිසාම ඔහු එය විවෘත කර බැලුවා...

"Petiyo I'm shen. Podi karadarayak wela mage phone eka missing una. Ane ikmanatama 'health soon' hospital ekata enna. There is no time to talk. Please hurry up."

අමේෂ්ගේ සිහියද නැතිව ගියා සේ ඔහු රථය හරවා ඇය කියූ රෝහලේ රථ ගාල වෙත පිවිසියේ කෙසේදැයි ඔහුවත් නොදැන සිටින්නට ඇති... රථයෙන් බැසගත් ඔහු දිව ගියේ සුවිසල් රෝහලේ කෙසේ හෝ ඇයව සොයා ගැනීමේ අරමුණින්.. මන්ද ඒ වන විටත් පෙර ඇය ඇමතූ දුරකතනය විසන්ධිව තිබුනා...

විදුලි සෝපානය භාවිත නොකරම ඔහු පඩිපෙල දිග දිව ගියේ එක් එක් තට්ටුවේ රෝහල් කාමර වල ශේන් සොයමින්...
එවිටම ඔහුගේ දුරකතනය නාද උනා...

"හෙලෝ ශේන්......."

ඔහු දුරකතන තිරය දෙස නොබලාම ඇමතුම සම්බන්ධ කරගත්තේ පිස්සෙකු මෙන්...

"තර්ඩ් ෆ්ලෝ එකේ ඩොක්ට සයිමන්ගෙ රූම් එකට එන්න..."

ඒ හඬේ කිසියම් අමුත්තක් තිබුනද අවසිහියෙන් උන් අමේෂ්‍ට ඒ කිසිවක් වගක් උනේ නෑ...
ඔහු ඇය කියූ දෙසට දිව ගොස් ඩොක්ට සයිමන් ලෙස නම සඳහන් පුවරුව එල්ලා තිබූ කාමරයේ දොරට තට්ටු කලා.

"යෙස් කමින්........"

ඇතුලතින් ඇසුනු හඬට දොර විවර කරගෙන එතුලට පිවිසි අමේෂ්ගේ දෙපා දොර අසලම ගල් ගැසී නතර උනේ වෛද්‍යවරයා අසල අහිංසක සිනාවකින් මුව සරසාගෙන උන් අමේෂිගේ රුව දැකීමෙන්...

අමේශ්ට සිදු වුනේ කුමක්දැයි වටහා ගැනීමට නොහැකිව ඔහු තවත් දොර අසලම ලතවෙද්දී අමේශි නැගිට ගොස් ඔහුගේ බාහුවකින් අල්ලාගත්තේ වෙනසක් නොපෙන්වමයි...

"මගෙ මහත්තයට මට වඩා ශේන්ව වටිනව උනාට කමක් නෑ... මං මේ පැයකට විතරක් ඔයාට ශේන් උනේ මට මගෙ රත්තරන් මහත්තය තමයි මේ ලෝකෙ වටිනම සම්පත නිසා..."

ඒ දෑස් දෙස බැලිය නොහැකිව ඔහු ඉවත බලාගත්තේ පසුතැවිල්ලෙන් උනත් ඒ මුවේ තිබුනේ කලබලකාරී පෙනුමක්...

"මෙතනින් ඉඳන්නකො මහත්තයො... කලබල වෙන්න එපා.. හැමදේම කියන්නම්...."

ඔහු ඇගේ අණට කීකරුව වෛද්‍යවරයා අසල පුටුවට බර උනේ හිසත් වේදනාවෙන් ඇදුම් කද්දී...

"මිස්ට අමේශ්.... කලබල වෙන්න එපා... ඔයාගෙ වයිෆ් මේ හැමදේම කලේ ඔයාව එයා ලඟම තියාගන්න.
එයා ඊයෙ රෑම ඔයාගෙ ෆෝන් එකේ සිම් එක මාරු කරල ඒක ඔයා දැනගන්න කලින් අද උදේම ශේන් විදියට ඔයාට මැසේජ් කලේ ඔයාව මගෙ ලඟට ගේන්න ඕනි නිසා...
දැන් ඉඳන් ඔයා මං අහන ප්‍රශ්න වලට ඇත්තම විතරක් කියන්න මිස්ට අමේශ්....
මොකද ඔයා වෙනුවෙන් මෙච්චර දෙයක් දරාගත්තු ඔයාගෙ වයිෆ් වෙනුවෙන් ඔයාට ඒකවත් කරන්න බැරිනම් ඔයා අදම ඩිවෝස් නඩුවක් ෆයිල් කරන එකම තමයි හොඳ..."

ඔහු එසේ කීවේ අමේශ්ගේ දෑස් දෙස බලාගෙන ඔහුගේ ඉරියව් හොඳින් නිරීක්ෂණය කරමින්...
ඒ බසට අමේශ් ගැස්සී ගොස් අමේෂි දෙස බැලුවේ කලකිරුනු ලෙසින්...
ඇගේ දෑස් කඳුලින් බොඳවී ගොස් තිබුනා...
වසර හය හමාරකට ඉහතදී ඈ ගැන හිතේ ඇති වූ ස්නේහය නැවතත් ඔහුගේ හදවත තෙමමින් තිබුනේ ඇගේ නොසිතූ විරූ මේ ක්‍රියාවන් නිසාමයි......

"නෑ ඩොක්ට... මං ඇත්තම කියන්නම්... හැමදේම..... ඒත් මගෙ පුංචි කෙල්ල ඉන්න තැන මට මේක කියාගන්න තරම් ආත්ම ශක්තියක් නෑ ඩොක්ට... ඒ නිසා............"

අමේශ්ගේ ව්‍යාකූලතාවය වෛද්‍යවරයා ට හඳුනා ගැනීමට අපහසු උනේ නෑ... ඒ නිසාම ඔහු අමේෂිට දෑසින් ඉඟි කලේ මෙතැනම රැඳී ඉන්නා ලෙසයි....
අනතුරුව ඔහු අමේෂ්වත් කැටුව කුඩා කාමරයක් වෙත පිවිසියා...
එහි තිබුනේ දිගු පුටුවක්, කුඩා විදුලි බුබුලක් හා මෝහන චක්‍රයක් පමණයි....
කාමරය තරමක් අඳුරේ තිබුනා.. විදුලි බුබුල අසලින් පිටුවේ අමේෂ්ව ඉන්ඳවා වෛද්‍යවරයා ඔහුගෙන් ප්‍රශ්න කිරීම ඇරඹුවා....

"අමේශ් මං ඔයාගෙ යාලුවෙන් කියල හිතන්න... මුලින්ම ඔයාට ගැටළුවක් ඇති වයිෆ් කොහොමද ශේන් ගැන දැනගත්තෙ කියන එක.... ඔයා හීනෙන් ඒ නම කියල තිබුනා... ඒ නිසා කරපු උපකල්පනයක් ඔස්සේ වයිෆ් බොහොම බුද්ධිමත් විදියට කටයුතු කරල තියනවා...
මට මුලින්ම කියන්න අමේශ්........
කවුද මේ ශේන්.......?"

තප්පර කීපයක නිහැඬියාවක් දෙදෙනා අතරම තිබුනා.. ඒ නිහැඬියාව බිඳිමින් අමේශ් හඬ අවදි කලා..

"ශේන් කියන්නෙ මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඩොක්ට... දැන් මාස තුනක් වෙනව මේ එෆෙයා එකට... එයා ගොඩක් ලස්සනයි. සෙක්සි.. ඒ වගේම සුවඳයි...."

"අමේශ් ඔයා සුවඳ කියල අදහස් කලේ මොකද්ද...."

වෛද්‍යවරයා ඔහුගේ කතාවට බාධා කරමින් හරස් ප්‍රශ්ණයක් නැගුවා...

"පර්ෆියුම් ඩොක්ට... වෙන ක්‍රමයක් නෑනෙ මේ ගඳ ගහන ඇඟ සුවඳ කරන්න...."

වෛද්‍යවරයාට ඔහුගේ බොලඳ මානසිකත්වය වටහා ගැනීමට වැඩි වේලාවක් ගත නොවුනත් ඔහු දිගටම ප්‍රශ්න කලා...

"හරි.... එතකොට අමේෂිව එපා වෙන්න හේතුව මොකද්ද...."

"නෑ ඩොක්ට.. මට අමේෂිව එපා උනේ නෑ.. ඒත්...."

"දිගටම කියන්න අමේශ්...."

"ඒත් ඩොක්ට මැරි කරල කාලයක් යද්දි හැමදේම ඒකාකාරී උනා... එයා මට ගොඩක් ආදරෙයි... ඒත් එයා බැලුවොත් කුස්සියෙමයි.. හැබැයි මං ගෙදර ඉන්න වෙලාවට මගෙ ලඟමයි.. ඒත් එයා ලඟ කුස්සි ගඳයි........."

මෙය සිතින් මවාගත් මනෝභාවයක් නිසා ඇති වූ තත්ත්වයක් බව වෛද්‍යවරයා ඉතා ඉක්මනින්ම වටහාගත්තා.... ක්‍රමයෙන් ඔහුව මෝහනයට පත් කල යුතුයැයි සිතූ ඔහු ඔහුව මෝහන නිද්‍රාවට පත් කරමින් කතාව දිගින් දිගටම ගෙන ගියා...

"මං එයාගෙ කොණ්ඩෙ ඉඹිනකොට මට දැනෙනවා පොල් තෙල් ගඳ...
එයාගෙ මූණ ඉඹිනකොට මට දැනෙනවා සුදු ළූණු ගඳ....
එයාගෙ බෙල්ලෙ මට සැමන් හාල්මැස්සො කරවල මාළු මස් ගඳක් දැනෙනවා.. එයාගෙ ඇඟිලි ළූණු ගඳයි......"

"හොඳයි.. මුල් කාලෙත් මේවා මේ විදියටම දැනුනද...."

"නෑ...."

"කොයි කාලෙද මුලින්ම දැනෙන්න ගත්තෙ..."

"ශේන්ව දැක්ක මුල්ම කාලෙ... මාස හතරකට විතර උඩදි...."

"ඒ කියන්නෙ ශේන්ව දැක්ක මුල් දවසෙමයි ශේන් ගැන ආදරයක් ඇති උනේ..."

"ඔව්"

"ඒ දවසෙමයි අමේෂි ලඟින් ගඳක් ආවෙ"

"ඔව්"

"අමේශි ඔයා ලඟට ආවෙ නාලා එහෙමද...."

"ඔව්.. හැමදාම එයා සෝදන්නෙ නැතුව මගෙ ලඟට එන්නෙ නෑ... මට එයාව එපා වෙයි කියලා.."

මේ කතා බහෙන් අනතුරුව වෛද්‍යවරයා තීරණය කලා ඔහු මුහුණපා ඇති තත්ත්වය කුමක්දැයි....

වෙනත් කාන්තාවක් වෙනුවෙන් සිතේ ආකර්ශනයක් ඇති වූ පසු ස්වභාවයෙන්ම තම බිරිඳගේ අඩුපාඩු පේන්නට ගන්නවා.. ඉන් අනතුරුව ඇති වන තත්ත්වය නම් බිරිඳගෙන් ඈත්ව අලුත් අත්දැකීමක් වෙත පිවිසීමේ උත්සුකභාවය නිතැතින්ම සිතේ හටගන්නවා.. අනතුරුව විවාහ ජීවිතයේ පසුබෑම ආරම්භ වනවා...

අමේෂ් හට අමේෂිගේ කිසිඳු වරදක් නොතිබුනත් ඔහු සිතින් සිතමින් ඇයව වරදකාරී කරනවා.. ඒ නම් ඇය ලඟ ගඳක් ඇති බවයි... ඒ හැඟීම ඔහු සාධාරණීකරනය කරන්නේ තවත් කාන්තාවක්ම වන ශේන් ලඟින් ඔහුට දැනෙන සුවඳ සිහි කරමින්....

වෛද්‍යවරයා අමේශ්ගේ සිතුවිලි මෝහන නිද්‍රාවේදීම විභාජනය කොට අනවශ්‍ය ලෙස ගොඩ නැගුණු ව්‍යාජ සිතිවිලි ඉවත් කොට බිරිඳගේ වටිනාකම පහදා ඇගේ මතකයත් ඔහුට අලුත් කර දෙනවා...
හැඟීම් පාදක චිකිත්සාවක් ඔහුට ලබා දී ඔහු කල වරද වටහා දෙනවා...

අමේශ් මෝහන නිද්‍රාවෙන් අවදි වෙන්නේ නව පනක් ලද්දෙකු මෙන්...
ඔහුට කල වරද වැටහුම් ගොස් අමේෂි පිළිබඳව ඇති වුනේ කියා නිම කල නොහැකි සෙනෙහසක් මෙන්ම ගෞරවයක්...

වෛද්‍යවරයා අමේශ්ව පිටතට යවා අමේෂිට සියළු කරුණු කාරණා පවසා ඇයටත් උපදේශන දුන්නා...
ඇය සරල යුවතියක් නිසාම ඇගේ ජීවන චර්‍යාව වෙනස් නොකල යුතු බවත් මුළුතැන්ගෙයි කටයුතු වලදී නිතරම පිරිසිදුව සිටීමට අත් මේස්, අත් පිස්නා, අත් සේදුම් නිතරම භාවිතා කරන ලෙසත් උපදෙස් ඇයට ලැබුනා..

දෙදෙනාම නිවස බලා පැමිනියේ කතා බහකින් තොරවයි...

නිවස අසලදී අමේෂිව රථයෙන් බස්සවා ඔහු නැවත රථය පණ ගන්වාගත්තා...

"මං ඔෆිස් එකට ගිහින් එන්නම් අමේෂි.. මං එනකන් පරිස්සමින් ඉන්න..."

ඔහුගේ ආදරණීය ආමණ්ත්‍රණය නිසාම ඇය හිස වනා ගෙතුලට පිවිසියා...

අමේශ් සේවා නිම වී නිවසට එන විට රෑ බෝ වී තිබුනා... ඔහුට සැබවින්ම එදින වැඩ අධික දිනයක් උනා.. නිවසේ විදුලි බුබුලු කිසිවක් නොදල්වා කාමරයේ පමණක් විදුලි බුබුලු දල්වා තිබුනා...

මහන්සිය නිසාම නාන කාමරයට වැදී ඔහු නාගත්තේ අමේෂි මුළුතැන්ගෙයි ඇතැයි සිතන්...

ඔහු නාගෙන පැමිණි පසු කාමරයේ විදුලි බුබුලද නිවා දමා ඉටිපන්දම් කීපයක් දල්වා ඇඳ මත ඔහුට සුදු පැහැ කුර්තා රෑ ඇඳුමක් තබා තිබුනා...
සිනහවක් මුවේ රඳවගෙනම එය ඇඳගෙන හැරී බලන විටයි ඔහු දැක්කේ දොර අසල සිට කාමරයෙන් පිටතට දෙපස ඉටිපන්දම් දල්වා සකසා තිබුණු පාර..
ඔහු ඒ දිගේ දිගටම පා තබා යද්දී ඒ මාවත කෙළවර ඔහු දුටුවේ ඇස් අදහාගත නොහැකි ලෙස නිවසෙන් පිටත මිදුලේ අලංකාර ලෙස සරසා රාත්‍රී ආහාරය පලසක් මත පිළියෙල කර ඇති අයුරු... බලන්නට ලස්සන ලෙස ඉටිපන්දම් සහ විදුලි බුබුලුත් මල් සැරසිලි වලත් රස විඳින ඔහු හැරෙන්නට හදන විටම අමේෂි ඔහුගේ පිටුපසින් විත් ඔහුව බදාගත්තේ වේගයෙන් ඉතා තදින්....

"හැපි ඇනිවසරි මහත්තයෝ.... අයි ලව් යූ සෝ මච්... දාලා යන්න එපා මේ අසරණීව... ඔයා නැතිව බෑ මට....."

වරින් වර හඬ බිඳී අවසානයේ හැඬුමක් වූ ඇගේ හඬ ඔහුගේ හදවත කම්පා කලේ සියුම් රිදීමක් සමඟයි...

"නෑ මැණික නෑ... හැමදේම ඉවර කරල මං අද ආවෙ... දැන් මං මගෙ සුදු කෙල්ලගෙ විතරයි... මට සමාවෙන්න මැනික.. සමාවෙන්න.....
ඔයාට ගොඩක් රිදෙව්ව මං.. හේතුවක් නැතුවම.. ආය කවදාවත් එහෙම වෙන්නෙ නෑ.. ප්‍රොමිස්.....
අයි ලව් යූ ටූ කෙල්ලෙ..."

ආහාර තැබූ පලසේම අමේෂිව වැතිරවා ඔහුත් ඇගේ ලය මත හිස තියාගෙනම එසේ කියාගෙන ගියේ ස්තීර හා පැහැදිලි හඬින්...
අමේෂිට දැනුනේ ජීවිතය සර්ව සම්පූර්ණ වූ හැඟීමක්....

දෙදෙනාම ඒ තරු මල් ඇතිරූ අහස් වියන යට රාත්‍රිය ගත කලේ බොහෝ දේ කතා කරමින්...................

නිමි.

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

Comments System WIDGET PACK