හිමි අහිමි | Himi Ahimi


හිමි අහිමි
-----------------

" සහේලි.
මේ වෙලාවෙ මම මේ වගේ දෙයක් අහන එක හරිද කියල දන්නෙ නෑ.
ඒත් මට මේ හැමදෙයක්ම පටලැවිල "

" මම දන්නව ඔයා අහන්න හදන දේ.
සනුක මාව රැවැට්ටුව විදූෂ.
ඔයා දන්නවනෙ මම එයාට කොච්චර ආදරේ කරාද කියල.
ඒ ආදරේ නිසා මම මගෙ ජීවිතේම එයාට දුන්න.
ඒ ලෙවල් රිසාල්ට් එන්න කිට්ටු වෙන කොට සනුක නිසා මම අම්ම කෙනෙක් වෙන්න හිටියෙ.
ඒක නිසා එයා එක්ක එනව ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ.
එයා කෙලින්ම මාව අරගෙන ආවෙ අපි හිටපු ඔය ගෙදරට.
හීන කෝටියක් තියාගෙන සනුක එක්ක ජීවත් වෙන්න හීන මවපු මම මේ ජීවිතේට හුරුවෙන්න හිතාගත්තෙ එයාගෙ ආදරේ වත් මට තියනවනෙ කියල හිතාගෙන.
එයාට හරි හමන් ජොබ් එකක් තිබුනෙ නෑ.
එයා මොනව කරනවද කියල මට කිව්වෙත් නෑ.
ලමයට යන්තම් මාස හය පිරෙන කොට කුඩු විකුණනව කියල ආරංචි වෙලා සනුකව පොලිසියෙන් අල්ලන්න යන කොට පැනල යන්න හදල වෙඩි තියල එතනම නැති උනා.
මිනිහෙක් නැතුව මේ පරිසරය ඇතුලෙ ගෑනියෙකුට ජීවත් වෙන්න බෑ විදූෂ.
මෙහෙ මිනිස්සු ඉන්න සමහර ගෑනුත් කරන්නෙ මේ රස්සාවම තමයි.
දරුවව ජීවත් කරන්න මට වෙන කරන්න දෙයක් නැති උනා.
කවද හරි දවසක මගෙ දරුවව හොද තැනකට ගේනව කියල හිතල මාත් මේ ජරා රස්සාවට පුරුදු උනා.
මම මහ කාලකණ්ණි ගෑනියෙක් විදූෂ "

සහේලි කියන්නෙ විදූෂගෙ පලමු ආදරය.
ඔවුන් දෙන්න ගොඩක් ආදරෙන් හිටියත් සනුකගෙ කඩවසම් බවටයි දඟකාර වැඩ වලටයි හිත ගිය සහේලි විදූෂව අමතක කරනව.
මොකද විදූෂ කියන්නෙ ගොඩක් නිවුනු තැන්පත් කෙනෙක් නිසා.
කොච්චර වේදනාවක් උනත් ඇයගෙ කැමැත්තට ඉඩදෙන විදූෂ ඇගෙන් සමුගන්නව.

ඉකිගගහ අඬන තමන්ගෙ ප්‍රථම ප්‍රේමය සනසන්න විදූෂට ඕන උනත් දැන් ඔහු ආදරණීය හිතක ප්‍රේමවන්තයෙක් නිසා ඒ හැඟීම මැඩගන්නව.

මේ ලෝකෙ අපි කැමති දේවල්ම විතරක් සිද්ධවෙන්නෙ නෑනෙ.
ඒ වගේ හොඳ දරුවෙක් ලබන්න ඔයා ගොඩක් පිං කරල තියන්න ඇති.
ඔයා වගේ අම්ම කෙනෙක් ලබන්න ඒ දරුවත් ගොඩක් පිංකරල තියෙන්න ඇති.
ඒත් ඔය දෙන්නම ගිය ආත්මෙක කරපු ලොකු පවක් නිසා එයාට ජීවත් වෙන්න ගෙනාපු ආයුෂ ඔච්චරයි වෙන්න ඇති.
දැන් ඔයා කොච්චර කල්පනා කලත් දරුව ආපහු එන්නෙ නෑනෙ.
ඒක නිසා කොහොම හරි හිත හදාගන්න බලන්න "

තාමත් දරුව ගැන හිත හිත ඉන්න සහේලි දිහා බලල විදූෂ කියනව.

" මට තේරෙනව විදූෂ.
ඔයාට ගොඩක් පිං.
මම ගිය ආත්මෙක ගොඩක් පව් කරල ඇති.
ඒකනෙ ඔයා වගේ ගොඩක් හොද කෙනෙක් අතඇරල සනුක වගේ කෙනෙකුට ආදරේ කලේ.
දරුවගෙ අවසන් කටයුතු ටික කරන්න වගේම මාව සනීප කරන්න ඔයා කොච්චර මහන්සි උනාද.
අහම්බෙන් හරි ඔයාව හම්බවුනේ නැත්නම් මෙලෙහකට මාත් දරුවත් එක්කම ..... "

කියන්න ගිය දේ ඉවර කරන්න කලින් ඇගේ ඇස් ආයිත් කඳුලින් පිරෙනව.

" මම කිව්වනෙ සහේලි ඒ හැම දෙයක්ම අමතක කරන්න කියල.
දැන් ඔයා ඉස්සරහට කරන්නෙ මොකක්ද හිතන්නකො "

" මං තීරණයක් අරගෙන තියන්නෙ විදූෂ.
ඔයාට මම ඒක පස්සෙ කියන්නම්කො "

* * * * * * * * * * * * * * * * * * * * * * * * * *

" මහත්තය "

කවුරු හරි කතාකරනව ඇහුන නිසා විදූෂ හැරිල බලනව.
හෝදලම පඬු පාට වෙච්ච ඇඳුමක් ඇඳගත්ත අවුරුදු දහයක් විතර වෙන කොලු පැටියෙක් තමන් දිහා බලාගෙන ඉන්නව ඔහු දකිනව.

" මහත්තය.
මගෙ අම්මට හොදටම සනීප නෑ මහත්තය.
බෙහෙත් ටිකක් ගේන්න යන්න සල්ලි කීයක් හරි දෙන්න පුළුවන්ද?
මහත්තයට පිංසිද්ධවෙනව "

ඇස් දෙකේ කඳුළු පුරෝගෙන එහෙම කියන පොඩි එකා දැක්කම ඔහුගෙ පපුව පිච්චිලා යනව.

" ඇයි පුතා අම්මට මොනව වෙලාවද?
කෝ ඔයාගෙ තාත්ත නැද්ද? "

තත්පර කීපයක් නිහඬව හිටපු කොලු පැටිය බිම බලාගන්නව.

" මගෙ තාත්ත කව්ද කියල මම වත් දන්නෙ නෑ මහත්තය.
අම්මට දැන් දවස් දෙක තුනක ඉදලම හොදටම උණ.
පැනඩෝල් බිව්වට පොඩ්ඩක් වත් අඩු උනේ නෑ මහත්තය "

කඳුළු බේරෙන කොල්ලගෙ ඇස් දෙක දැක්කම තමන් ඒ වගේ ප්‍රශ්නයක් අහපු එක වැරදි දෙයක් කියල විදූෂට හිතෙනව.

" මම සල්ලි දුන්නොත් පුතාට අම්මව හොස්පිටල් එකකට එක්කගෙන යන්න පුළුවන්ද "

" ම ... ම කොහොම හරි එක්කගෙන යන්නම් මහත්තය "

" ම් ...... "

දාහෙ කොල කීපයක් කොලුවගෙ අතේ ගුලි කරල යන්න හැරෙද්දිම කොලුව විදූෂගෙ දෙපා ලග වැද වැටෙනව.

" එ ... එපා පුතා "

" මහත්තයට පිංසිද්ධවෙනව "

කඳුළු අතරින් හිනාවෙලා කොලු පැටිය කියනව.

" හරි පුතා අම්මව ඉක්මනට හොස්පිටල් එකට අරගෙන යන්නකො "

ඔහු එහෙම කිව්ව ගමන් හිනා වේගන පාරට පැන්න පොඩි එකාව කාර් එකක වැදිල අඩි ගානක් දුරට විසිවෙලා ගිහින් බිමට වැටෙනව.
දරුව වැටුන තැනට දුවල ගිය විදූෂ දිහා ඔහු යන්තම් ඇස් ඇරල බලනව.

" ම ... හ ... ත් ... ය ම ... ගෙ අ ... ම් ... ම "

අතේ ගුලිකරගෙන හිටපු ලේ තැවරුන දාහෙ කොල කීපය විදූෂට පෙන්නපු කොලු පැටිය සදහටම දෑස පියාගන්නව.

" මේ අර නෙලුම්ගෙ කොල්ල නේද?
පව්.
මිනිහත් නැතුව ගෑණි කොච්චර අමාරුවෙන්ද කොල්ලව හදාගත්තෙ "

" ගෑණිට දවස් ගාණක ඉදන් සනීප නෑ "

" කොල්ලට මෙහෙම දෙයක් උනා කියල දැන ගත්තොත් ඒ ගෑණිගෙ පපුව පැලිල මැරෙයි "

" පව් අහිංසක කොල්ල.
මූත් අම්මට පණ ඇරල "

එතනට ආපු කීප දෙනෙක් කියනව විදූෂට ඇහෙනව.
මනුස්සයෙක් පොලිසිය එනකල් කියල අසල තිබුනු බැනර් එකක් ගලවල පොඩි එකාගෙ මිනිය වහනව.
විදූෂට මතක් වෙන්නෙ දරුවගෙ අන්තිම වචන ටික.

" ම ... හ ... ත් ... ය ම ... ගෙ අ ... ම් ... ම "

ඔහු දරුවගෙ අම්ම ඉන්න තැන දන්න කෙනෙක් එක්ක ඇයව හම්බවෙන්න යනව.
නගරෙ මැදින් ගලාගෙන යන ඇල අයිනෙ බලු කූඩූ පේලියක් වගේ තියන ලෑලි වලින් හදපු මඩුවක් ලඟට ගිය ඒ මනුස්සය ටිකක් හයියෙන් කතා කරනව.

" නෙලුම් නංඟි ........
නෙලුම් නංඟි ........ "

" ඒකිට ඊයෙ ඉදන් සනීප නැතුව ඉන්නෙ ලැන්ට අයියෙ.
මේ මොකද බන්.
ඒ පාර මහත්තයල ඒකිව ගේ ලගටම හොයාගෙන ඇවිත්ද "

විදූෂව එක්කගෙන ආපු මනුස්සයට කතා කරන සද්දෙට අනිත් ලෑලි මඩුවකින් එලියට ආපු ගෑණු කෙනෙක් කියන්නෙ විදූෂ දිහා අමුතු විදිහකට බලල හිනා වෙන ගමන්.

" උඹට පිස්සුද බන්.
නෙලුම්ගෙ කොල්ල වාහනේකට යටවුනා.
මේ මහත්තයයි මායි ආවෙ ඒකිව එක්කගෙන යන්න "

ලැන්ටි කියන මනුස්සය ඒ ගෑණු කෙනාට කියනව.

" දෙයි හාමුදුරුවනේ .........
මේ රත්තරං කොල්ලට මොකක්ද දෙයියනේ උනේ.
දැන් මේකී ඕක දැනගත්ත ගමන් පපුව පැලිල මැරෙයි.
ලෝකෙන්ම කයි කතන්දර අහගෙන මේකි ඔය කොල්ලව ලොකු මහත් කරේ කොච්චර බලාපොරොත්තු තියාගෙනද.
ඇයි දෙයියනේ අපි වගේ අහිංසක උන්ටම මෙහෙම වෙන්නෙ "

" යකෝ උඹ මෙතන කෑගහන එක නවත්තල පොඩ්ඩක් ඒකිට කතා කරපන් "

" හරි හිටපන්කො මම බලන්න "

" නෙලුම් නංගි "

ඇය දොර ඇරගෙන ලෑලි කාමරේ ඇතුලට යනව.

" ලැන්ට අයියෙ ඉක්මනට වරෙන් මේකිටත් මොනව හරි වෙලා වගේ "

" ගේ ඇතුලට ගිය ඇය කෑ ගහනව "

විදූෂයි ලැන්ට අයියයි ගේ ඇතුලට ගියහම දකින්නෙ මුලු ඇගම සීතල වෙලා ඉන්න නෙලුම්ව.
ඇගේ මූණෙ හුරු පුරුදු ගතියක් දැනුන නිසා විදූෂ ඕන කමින් ඇය දිහා බලනව.

" දෙ .... දෙයියනේ ස ..... සහේලි "

" සහේලි.
ඒ කව්ද මහත්තය "

" න් ...... නෑ කවුරුත් නෑ.
අපි ඉක්මනට මෙයාව හොස්පිටල් එකට ගෙනියමු "

ලැන්ට අයියගෙයි ඒ කාන්තාවගෙ උදව්වෙනුයි විදූෂ ඇයව රෝහලකට අරගෙන යනව.

** * * * * * * * * * * * * * * * * * * * * * * * *

ටිකට් කපපු සහේලිට ඇගේ ගෙදර යන්න ඕනම කියන නිසා විදූෂ ඇයව ගෙදරට ඇරලවනව.
හැබැයි ආයිත් කවදාවත්ම පරණ රස්සාව නොකරන බවට ඇය ඔහුට පොරොන්දු වෙනව.
තමන්ගෙ කාර්‍ය බහුලත්වය නිසාම දින කීපයක්ම ඔහුට ඇයව බලන්න එන්න නොහැකි වෙනව.
ඇයගෙ දුරකථනයත් ක්‍රියා විරහිත කරල නිසා ඔහු ඇයව සොයාගෙන ඇගේ ගෙදරට එනව.

" සහේලි.
සහේලි "

ඔහුගෙ හඩ ඇහිල කාන්තාවක් ගෙදරින් එලියට එනව.

" මේ.
සහේලි ඉන්නවද "

" සහේලි නම් දැන් මෙහෙ නැහැ මහත්තය.
මම හිතන්නෙ මහත්තයගෙ නම මෙ .... මේ ... වි .... ද් "

" විදූෂ "

" අ ..... ආ අන්න හරි
ඉන්න මහත්තයට දෙන්න කියල සහේලි නංගි ලියුමක් කෑල්ලක් දුන්න "

ඔහු කාන්තාව දුන්නු ලියුම් කෑල්ල දිග ඇරල බලනව.

* * * * * * * * * * * * * * * * * * * * * * * * * *

" ඔය ඇත්තට මෙතන හොයාගන්න අමාරු උනාද "

" නෑ මෙහෙණින් වහන්ස.
මම මෙහාට එන්න කලින් විස්තර දැනගෙන ආවෙ "

" මේ ඉන්නෙ නෝන වෙන්න ඇති "

" ඔව්.
දවසක් මම මගේ නෝනට ඔබ වහන්සේ ගැන කිව්ව.
එදා ඉදලම මට මෙයා කරදර කලා ඔබ වහන්සේ බලන්න ආසයි කියල.
ඒත් ඔබ වහන්සේව හොයාගෙන එන්න එපා කියපු නිසා මම ආවෙ නෑ.
නෝනට දරුව ලැබෙන්න කලින් ඔබ වහන්සේව දකින්න ආසයි කිව්ව නිසා තමයි මම එක්කගෙන ආවෙ "

" විදූෂ කියන්නෙ හරි පුදුම කෙනෙක්.
එයා වගේ කෙනෙකුගෙ ආදරේ ලැබෙන්න ගොඩක් වාසනාවන්ත කෙනෙක් වෙන්න ඕන.
ඒකයි මට මෙහෙණින් වහන්සෙව දකින්න ආස හිතුනෙ "

" ඔය වගේ තත්වෙක ඉන්න කොට මොන හේතුවක් නිසා හරි මේ වගේ පිං බිමකට එන්න හිතුන එකම ලොකු පිනක්.
ජීවිතේදි අපිට ලැබෙන්නෙ අපිට උරුම දේවල් විතරයි.
ලෞකික ජීවිතයක් ගෙවන ඕනම විවාහක යුවලකගෙ ප්‍රාර්ථනාව නීරෝගී දරුවෙක්.
නෝන බයවෙන්න එපා ඔය ඇත්තිගෙ මහත්තය බොහොම පිංවන්ත කෙනෙක්.
ඒ නිසා මහත්තය වගේම පිංවන්ත දරුවෙක් ලැබෙයි.
පුළුවන් තරම් යහපත් දේවල්ම කරන්න.
හැමවෙලාවෙම පිං රැස්කරගන්න.
එතකොට මේ ආත්මෙට වගේම ඊලඟ ආත්මෙටත් යහපතක් වෙයි.
මාත් මේ ශාසනේට ඇතුලත් වෙලා පුළුවන් තරම් පිං රැස්කරන්නෙ මගෙ අතින් උනු වැරදි කමාකරගන්න වගේම මගෙ නැති වුන දරුවටත් පිං ලැබෙන්න.
මම කරන පිං වලින් කොටසක් ඔය ඇත්තටයි ඔය ඇත්තගෙ පවුලෙ අයටයි ලැබෙන්න කියල මම හැමදාම ප්‍රාර්ථනා කරනව.
ඒ එක්කම නීරෝගී දරුවන් ලැබිල ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගතකරන්න ලැබෙන්න කියලත් මම ප්‍රාර්ථනා කරනව "

" එහෙනම් අපි යන්නම් මෙහෙණින් වහන්ස "

" හොදයි.
එහෙනම් බොහොම පිං මාව බලන්න ආවට.
තෙරුවන් සරණයි "

* * * * * * * * * * * * * * * * * * * * * * * * * *

Comments System WIDGET PACK