අහිමි ආදරය | Ahimi Adaraya
අහිමි ආදරය
- - - - - - - - - - - -
" මෙත්මි විහාරා හේවාවිතාරණ වන මම,
මෙහි සිටින,
නදුන් පැහැදුල් සිරිවර්ධන වන අයව මාගේ ස්වාමිපුරුෂයා වශයෙන් බාර ගන්නා බවට ............. "
මෙත්මිගේ මුවින් ඒ වචන පිටවනවාත් සමග තවත් අසන්නන්ට යමක් ඉතුරු වී නොමැති බව වටහාගත් පහන් තම මිතුරා දෙසට හැරිනි.
" උඹට පිංසිද්ධවෙනව කවිය.
මගෙ රත්තරං කෙල්ල අද සුරංගනාවියක් වගේ.
මම හැමදාම ප්‍රාර්ථනා කලා වගේ ඒ කෙල්ල අද සතුටින්.
මට දැන් මගෙ ජීවිතේ නැති උනත් කමක් නෑ බං.
මම යන්නම් "
" ජීවිතේ කියන්නෙ ඔහොම තමයි පහන්.
අපි හිතන විදිහටම හැමදෙයක්ම සිද්ධවෙන්නෙ නෑ.
දැන් ඉතින් මේ හැමදෙයක්ම අමතක කරල දාල පරිස්සමෙන් ගෙදර පලයන් "
තවත් වරක් තම මිතුරා දෙස බැලූ පහන් තමාගේ ත්‍රීරෝද රථයට ගොඩ විය.
* * * * * * * * * * * * * * * * * * * * *
උදෑසනම ලැබුනු හයර් එක අවසන් කල පහන් රේල් පාරට සමාන්තරව වැටී කුඩා අතුරු පාර දිගේ ඉදිරියට යන විට එකවරම දුටුවේ රේල් පාර අසල වාඩි වී හඩමින් සිටිනා තරුණියකි.
පහන්ගේ ත්‍රීරෝද රථය පාරේ ගමන් කරන බව වත් ඈට නොදැනුනු බව පහන්ට දැනුනේය.
ඒ සමගම ඈතින් දුම්රිය එන හඩ ඇසෙනවාත් සමගම නැගී සිටි එම තරුණිය රේල් පාරේ දිගාවෙන අයුරු දුටු පහන් ත්‍රීරෝද රථය පාර මැදම නතර කර ඒ දෙසට දිව ගියේය.
" එ .... ඒයි ඔය මොකද පිස්සු හැදිලද
මෙන්න මෙහාට එනව "
තරුණිය අසලට ගිය පහන් ඇයව දුම්රිය මාර්ගයෙන් ඉවතට අදිනවාත් සමගම ඇය කරකැවී විත් ඔහුගේ පපුවට හේත්තු විය.
සැනෙකින් ඇයව මදක් ඉදිරියට තල්ලු කල පහන් ඇයගේ උරහිසින් අල්ලවා ගත්තේය.
" මම දන්නෙ නෑ තමුන් ජීවිතේ නැති කරගන්න හැදුවෙ මොන හේතුවකටද කියල.
ඒත් මෙච්චර ලොකු මහත් වෙනකල් නොකා නොබී තමුන්ව උස් මහත් කරපු ,
උගන්වල මේ තත්වෙට ගෙනාපු දෙමව්පියො ගැන හිතන්න තරම් වත් මොලයක් නැද්ද.
ගොඩක් උන්ට කොහෙවත් ඉන්න එකෙක් හම්බවුනාම තමන් වෙනුවෙන් මුලු ජීවිතේ කැප කරපු දෙමව්පියො මතක නෑ.
ප්‍රශ්නයක් ආවම ජීවිතේ නැති කරගන්න එක නෙමෙයි කරන්න ඕන.
ඒවගේ තත්වෙකට පත්නොවෙන්න ජීවත් වෙන එකයි කරන්න ඕන "
පහන් ආවේගයෙන් කෑගහන විට එක්වරක් ඔහුගේ මුහුණ දෙස බැලූ ඇය හඩමින්ම බිම බලාගත්තාය.
ඇගේ කදුළු පිරි දෙනෙත් දුටු විට පහන්ගේ කේන්තිය මදක් තුනී වී ගියේය.
" මම දන්නෙ නෑ නංගි ඔයා මේ වගේ දෙයක් කරන්න හේතුව මොකක්ද කියල.
ඒත් ටිකක් හිතන්න.
ඔයාගෙ අම්ම තාත්ත
සහෝදර සහෝදරියො
ඔයාට එයාල කොච්චර ආදරෙයිද
ඔයා මෙහෙම දෙයක් කරගත්තොත් එයාල කොච්චර දුක් වෙයිද "
එම තරුණිය බිම බලාගෙන හැඩුවා විනා වචනයක් වත් කතා නොකලාය.
" ඔයාට දරාගන්න අමාරුම ප්‍රශ්නයක් තියනව නම් හිතවත්ම කෙනෙකුට ඒක කියන්න.
කියල හිත නිදහස් කරගන්න.
එතකොට ඔයාගෙ හිතට ලොකු නිදහසක් දැනේවි "
" මල්ලි ලව් කරන්න ඕන ලව් කරාට කමක් නෑ.
අපිට පාරෙ යන්න මේ වාහනේ අයින් කරල "
වාහනයක පැමිණි පහන් හදුනන අයෙක් ඔවුන් දෙස බලා පැවසීය.
" එන්න යමු.
ඔයා කොහෙද ඉන්නෙ
මම ගෙදරට ඇරලවන්නම් "
පහන් ඉක්මනින් ඇයවත් රැගෙන ත්‍රීරෝද රථය වෙත ගියේය.
" සොරි අයියෙ "
" ඒකට කමක් නෑ මල්ලි ඒත් වාහනේ පාර මැද නොදා අයිනට වෙන්න දාල ගියා නම් තමයි හොඳ "
සිනාසෙමින් ඔහු පැවසුවේය.
" කොහෙද නංගි ඔයා ඉන්නෙ "
" ඇරව්වල "
" දැන් හැමදෙයක්ම අමතක කරල ගෙදර යන්න.
හිමින් සැරේ ප්‍රශ්න වලට විසදුම් හොයාගන්න.
උත්තර නැති ප්‍රශ්න මේ ලෝකෙ නෑ "
ඇය සෙමින් ඔලුව වැනුවාය.
" ඔයා මාව අදමයි දැක්කෙ.
මට ඒක කියන්න පුළුවන් නම්
එහෙම දෙයක් කියන්න තරම් මාව විස්වාස නම් ඔයාගෙ ප්‍රශ්නෙ මට කියන්න "
" නෑ අයියෙ.
අයිය කිව්ව වගේ දෙයක් තමයි අයියෙ.
මම කෙනෙකුට පණ වගේ ආදරේ කලා.
ඒත් එයාට වෙන කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් තියනව කියල මම අදයි දැන ගත්තෙ.
ඒක ඇහුව කියල එයා මට බැනල මාව අතඇරල ගියා "
" ඉතින් නංගි එයා ඒ වගේ කෙනෙක් නම් ඇයි ඔයා මේ වගේ මෝඩ තීරණයක් ගත්තෙ.
ඇයි එයාගෙන් ඔයාට ......... "
" අනේ නෑ අයියෙ එහෙම දෙයක් නෑ "
" එහෙනම් ඇයි නංගි ඔයා මෙහෙම දෙයක් කරගන්න ගියෙ "
" මම එයාට ගොඩක් ආදරේ කලා අයියෙ.
අපේ ආදරේට අවුරුද්දකටත් වැඩී.
එයා බොරුවට ආදරේ කලාට මම ආදරේ කලේ ඇත්තටමනෙ අයියෙ "
" ඒක හරි නංගි.
ඒත් අපි ආදරේ කරන්න ඕන අපි වගේම අපිටත් ආදරේ කෙනෙකුට.
ඒක නිසා ඔය ගැන සම්පුර්ණයෙන්ම අමතක කරල දාන්න.
කවද හරි ඔයාට ආදරේ කරන
ඔයත් ආදරේ කරන කෙනෙක් ලැබෙයි "
පලමුවරට දුටු මේ පුද්ගලා කියන දේවල් වලට තරුණිය උවමනාවෙන් සවන් දුන්නාය.
අහම්බෙන් හමු වී සමුගත්තද ඔවුන් දෙදෙන නැවත කීප සැරයක්ම හමු වූයේ පෙම්වතුන් වශයෙන් ලංකරමිනි.
* * * * * * * * * * * * * * * * * * * * * *
" පහන් "
" ම් ....... "
" දෙවියෙක් වගේ ඔයා ඒ වෙලාවෙ එතනට ආවෙ නැත්නම් මම මෙලහකටත් ........... "
" මේ හැමදෙයක්ම ඉබේ සිද්දවෙන දේවල් නෙමෙයි මෙත්මි
අම්මට මාව එපා නිසා අනාත නිවාසෙට බාර දීල.
තාත්ත කවුද කියල වත් මම දන්නෙ නෑ.
කාත් කවුරුවත් නැතුව ජීවත් වෙන්න ඕන නිසා ජීවත් වුන මට ඔයා වගේ කෙල්ලෙක් හම්බවෙලා ආදරේ කරයි කියල මම කවදාවත්ම හිතුවෙ නෑ "
" පහන්
මීට පස්සෙ ඔයාට කාත් කවුරුවත් නෑ කියල කවදාවත් කියන්න එපා
කවුරු නැති උනත් ඔයාට මම ඉන්නවනෙ "
" හ්ම්.
ඔයාට පිං රත්තරං
මං වගේ අනාතයෙකුට ආදරේ කලාට "
" ඔය ඉතින්.
මගෙන් ගුටි කනව ආපහු ඔය කතාව කිව්වොත් "
" හරි හරි ආයිත් කවදාවත් මම එහෙම කියන්නෙ නෑ "
වැඩිකාලයක් යන්නට මත්තෙන් ඔවුන්ගේ සම්බන්ධය ගැන මෙත්මිගේ ගෙදරට දැනගන්නට ලැබින.
" උඹට පිස්සුද ත්‍රීවීල් එලවන අනාතයෙක් හොයා ගත්තෙ.
උඹට උගන්නල මේ වගේ තැනකට ගෙනාවෙ ඔය වගේ එකෙක් එක්ක යන්නද.
අපි උඹට හොඳ මනුස්සයෙක් හොයල දෙන්නම් "
ඇයගේ ගෙදරින් ඔවුන්ගේ සම්බන්ධයට ලැබුනේ මෙවැනි පිලිතුරකි.
" ලබන ඉරිද මනමාලයෙක් එනවළු මාව බලන්න.
අපි මොකද පහන් මේකට කරන්නෙ "
" මොනව කරන්නද මැණික.
අම්මලගෙ හිත් රිද්දල අපිට එකතු වෙන්න බෑනෙ.
ඔයා මනමාලය ආවම එයා එක්ක කතාකරල මං ගැන කියන්න.
ටිකක් කල් යනකොට අපිට අම්මලගෙ කැමැත්ත ගන්න බැරි වෙන එකක් නෑ "
කොපමණ අකමැත්තක් පෙන්වුවද දෙමව්පියන් සෙවූ මනමාලයා තමා බැලීමට එන දිනයේදී ඊට මුහුණ දීමට මෙත්මිට සිදුවිය.
සෙමින් සෙමින් මනමාලයා සමීපයට පැමිණි ඇය නිකමට මෙන් ඔහු දෙස බැලීය.
ඉතාමත් කඩවසම් තරුණයකු සිහින් සිනාවක් සමගින් ඇයගේ මුහුණ දෙස බලා සිටියේය.
ඔහු සමග කතා කිරීම සදහා නිවසින් එලියට ගිය ඇයට දැක ගත හැකි වූයේ ඔහුගේ නවීන පන්නයේ කාරයයි.
ඒ සමගම මෙතෙක් වේලා ඔහු හා කියන්නට සිතා සිටි සියල්ල තම මුව තුලම ගිලී යනු ඇයට දැනින.
අනාගතය පිලිබදව අලුත් බලාපොරොත්තු ගොන්නකින් ඇගේ සිත පිරී යන්නට විය.
දෙමව්පියො හමුවේ මනමාලයාට කෙලින්ම කැමැත්ත නොදුන්නා මෙන්ම අකමැත්තක් පෙන්වීමද ඈ නොකලේය.
කාලයත් සමග ඇගේ සිතද නිරායාසයෙන්ම ඔහු වෙතට ඇදී ගියේය.
එහෙයින් ඇය සෙමින් සෙමින් පහන්ගෙන් ඈත් වන විට ඔහුට සියල්ල දැනගන්නට ලැබින.
මෙත්මිගේ සතුට ගැන හැමවිටම සිතූ පහන් ඇයගේ සතුට වෙනුවෙන් තම දුක සගවා ගත්තේය.
* * * * * * * * * * * * * * * * * * * * *
පහන්ට මෙත්මි හමුවූ දා සිට අද දක්වාම සිදුවූ සියලුම සිදුවීමී සිතුවමක් සේ මැවී පෙනුනි.
තම ජීවිතයේ ලද එකම ආදරය අහිමි වීමේ වේදනාවෙන් හදවත පුපුරා යන්නට එනවාක් මෙන් ඔහුට දැනෙන්නට විය.
එම වේදනාව තව දුරටත් දරාගැනීමට නොහැකි හෙයින් ජීවිතයට සමු දීමට තීරණය කල පහන් ඉදිරියෙන් වේගයෙන් පැමිණෙන ලොරි රථය දෙසට ත්‍රීවීලරය ධාවනය කලේය.
" බස් රථයක ත්‍රීරෝද රිය ගැටීමෙන් තරුණයකු මරුට "
පසුදින පුවත් පතක එසේ සටහන් වී තිබින.
* * * * * * * * * * * * * * * * * * * * * * *
" ප්‍රශ්නය තමාගේ වන තෙක් පිළිතුර දාර්ශනිකයි "
වැඩි දෙනෙකු පිලිගන්නට අකමැති නමුදු සත්‍ය මෙයයි.
( ඒ වගේම මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ කියන ගොඩක් අය
බොහොම ඉක්මනට අපිට අපේ පාඩුවේ ජීවත් වෙන්න දෙන්න කියල වෙන කෙනෙක් ලගට යනව.
ආදරේ කරන ගොඩක් අය කරන්නෙ බොරු )
