ලූලා | Lula


ලූලා
- - - - - - - - - - - - - - - - - -

" ඇත්තටම මූට මොකද බන් උනේ.වෙරි මර ගාතෙ කොහෙ හරි වැටුනද දන්නෙ නෑ "

" උඹට පිස්සුද බන්.අපිටත් වඩා හොඳට ඌ මාළු අල්ලපු හැටි උඹ දැක්කෙ නැද්ද "

" එහෙනම් ඉතින් මූ මෙතන ඉන්න එපෑයැ "

" මම කියන්නද.අපි තව ටෝච් දෙක තුනක් හොයාගෙන ඇවිල්ල මේ වටේම හොයමු "

අවට ගෙවල් කීපයකට ගිය වසන්ත විදුලි පන්දම් කීපයක් රැගෙන එන විට එම ගෙවල් වල සිටි තරුණයන් කිහිප දෙනෙක්ද ඔවුන්ගේ උදව්වට පැමිණියේය.
ඇල අවට මෙන්ම වෙල්‍ යාය පුරාම විසිරී ගිය පිරිස නිමල්ව සොයන්නට පටන් ගත්තේය.
මේ වන විට උදෑසන එලඹෙමින් තිබුන අතර අවට පරිසරයද යන්තමින් ආලෝකමත් වෙමින් පැවතින.

" අ .... අයියෙ.මෙතන කවුද වැටිල ඉන්නව "

ඇල පහල සිටි කිසිවෙකුගේ හඬින් සියල්ලන්ම ඒ දෙසට දිව ගියේය.

" දෙ .... දෙයියනේ.නි ..... නිමලය "

මුනින් අතට වැටී සිටින තම මිතුරා දැක චාමර කෑ ගැසුවේය.
* * * * * * * * * * * * * * * * * * * * * * *
වසන්තලෑ ගෙදරට එකතු වී මධුවිතෙන් මත් වුනු නිමල්ගේ මිතුරන්ට ඔහුගේ නිවස අසල වෙල්‍ යායේ ඇති ඇලෙන් මාළු ඇල්ලීමට අවශ්‍ය වන විට රාත්‍රී දහයට ආසන්න වී තිබිණ.

" මේ දවස් වල පායන නිසා ඇලේ මාළු නෑ බන් "

දණ හිස වැසෙන තරම් වත් ජලය නොමැති ඇලෙහි මාළුන් නොමැති බව දන්නා වසන්ත පැවසුවේය.

" බොරු නොකිය හිටහන් බන් අපි එන වෙලාවෙ දැක්ක ඇලේ මාළු ගොඩක් ඉන්නව "

චාමර කීවේය.

" හරි එහෙනම් යමුකො.ගියහම උඹලටම බලාගන්න බැරියෑ "

මධුවිතෙන් මත් වී සිටින තම මිතුරන් සමඟ වාද කිරීමෙන් පලක් නොවන දන්නා වසන්ත පැවසුවේය.
අඳුර වැටුණු පසු අවට ඇති පාලු ස්වභාවය නිසා මෙම වෙල්යාය මැදින් ඇති පටු පාරෙන් කිසිවකු ගමන් නොකරනා තරම්ය.
පසලොස්වක පොහොය පසු වී දින කීපයක් ගත වී ඇතත් අවට පැතිර තිබූ සඳ එළිය ඔවුන්ගේ කාර්ය සදහා ප්‍රමාණවත් විය.
ඇලට බැසගත් මිතුරන් පැයකට ආසන්න කාලයක් කෙතරම් වෙහෙසුනත් එකම එක මාළු පැටවෙක් වත් අල්ලා ගැනීමට ඔවුන්ට නොහැකි විය.

" කෝ මම කිව්වට උඹල ඇහුවෙ නෑනෙ.දැන් වත් තේරුණාද?ඇලේ වතුර අඩු නිසා මාළු නෑ "

වසන්ත සිනා මුසු මුහුණින් පැවසුවේය.

" කෝ ඔය දැල දියන් මෙහාට.උඹලට පුළුවන් මාළු අල්ලන්න "

පසෙකට වී තම මිතුරන් දෙස බලා සිටි නිමල් එසේ කියමින් වතුරට බසිනා විට මධ්‍යම රාත්‍රියට එලඹෙමින් තිබිණ.
ඒ සමඟම මෙතෙක් වේලා පැවති රැහැයියන්ගෙ හඬ හා විටින් විට ඇසෙන ගෙම්බකුගෙ හඬ යටපත් කරමින් බල්ලන් රෑනක් උඩුබුරන හඬද මඳක් ඈතින් ඇසෙන්නට විය.
ඔවුනට ආලෝකය සැපයූ සඳ වරින් වර අඳුරු වලාකුළකින් වැසීයන්නට වූ
අතර දහඩියෙන් පෙඟි තිබූ සිරුරු කිලිපොලා යන ලෙස සියුම් සුළඟක්ද හමන්නට පටන් ගත්තේය.

" කෝ ඔය ටෝච් එක ගහපන් බලන්න "

නිමල් පැවසීමත් සමඟ සියලු දෙනාම ඔහු දෙස බලන්නට විය.

" බලපන් චාමර උඹලට තමයි බැරි.නිමලය එක පාරයි දැළ ගැහුවෙ පිරෙන්න මාළු ඉන්නව "

" ඇත්තමයි බන් අපි කොච්චර වෙලා දැඟලුවද ඒත් එක මාළුවෙක් අල්ලන්න බැරි උනානෙ.කොහෙද බන් මෙච්චර වෙලා මේ මාළු ටික හැංගිල හිටියෙ "

පැයකට වඩා වැඩි කාලයක් වෙහෙසුනත් එකම මාළුවෙක් වත් අල්ලාගන්නට නොහැකි වූ නිමල්ගේ මිතුරන් පිරිස ඔහුගේ දැලට අසුවී සිටි මාළුවන් දැක පුදුමයෙන් කියවන්නට විය.
මාළුවන් අසල තිබූ බාල්දියට දැමූ නිමල් නැවතත් දැල රැගෙන මදක් ඈතට ගියේය.
තවත් සුළු වේලාවකට පසුව පැමිණි ඔහු පෙර පරිදිම තවත් ලූලන් රෑනක් අල්ලාගෙන විත් බාල්දියට දැමුවේය.

" බලපන්කො බන් ඒ පාර මූට ලූල්ලු පොකුරු පොකුරු අහුවෙනවනෙ "

ඔවුන් තව තවත් කියවන්නට වූයේ එක වරම නිමල්ට මෙතරම් මාළු රෑන් ප්‍රමාණයක් අසුවන්නේ කෙසේ දැයි සිතා ගැනීමට නොහැකි වූ නිසාවෙනි.
ඒ සමඟම යම් කිසිවක් තම සිරුරේ දැවටෙමින් යන අයුරක් මිතුරන් සියලු දෙනාටම දැනුනද ඔවුන් එය පවසන්නට මැලි වූයේ එය තමාට පමණක් දැනුනා යැයි ඇති වූ සැකයෙනි.
ගතට දැනුන සීතල සුළඟද මදක් වැඩි වූ අතර එක වරම සඳ කළු වළාකුළින් වැසී මුලු පරිසරයම අන්ධකාරයෙන් වැසී ගියේය.
බර අඩි තබමින් කවුරුන් හෝ ජලයේ එහා මෙහා යන හඬක්ද ඇසුනු අතර චාමර විදුලි පන්දම ක්‍රියාත්මක කරන්න උත්සහ කලද එයද අසාර්ථක විය.
නිමල් විසින් බාල්දියට දැමූ ලූලන් හඬ නැඟෙන ආකාරයෙන් ඉතා වේගයෙන් දඟලන්නට වූ අතර ඈතින් ඇති ගස් වැල් සුළඟ සමඟ පොර බදන ආකාරයක් දැනෙන්නට විය.
කිසිවෙකු යමක් කනට කොඳුරන ආකාරයක් දැනී පසුව එය යටි ගිරියෙන් කෑ ගසන ශබ්දයක් දක්වා වර්ධනය විය.
ගත වූයේ තවත් නිමේශයකි.
එකවරම සියල්ල සන්සුන් විය.
නැවතත් පෙර පරිදිම සඳ එළිය වැටුණු අතර අහසේ එකඳු කළු වළාකුළක් දකින්නට නොහැකි විය.
සුළඟද සම්පූර්ණයෙන්ම නැවතුනු අතර නැවතත් බල්ලන් උඩුබුරන හඬ පමණක් ඈතින් ඇසෙන්නට විය.

" මො .... මොකද බන් ඒ එකපාරටම උනේ "

" අ .... අනේ මන්ද බන්.හැබැයි මොකක් හරි අමුතු දෙයක් උනා.නැත්නම් මේ හොඳට එළිය තිබුණ අහස කලුවර උනේ කොහොමද "

" ඒකනෙ.අපි මෙහෙට ආපු වෙලාවෙ ඉදන් එක හුලං පොදක් වත් තිබුනෙ නැතුව එකපාරට මෙච්චර හුලගක් ආවෙ කොහොමද.අනික නිමලයට මෙහෙම මාළු අහුවෙන එක ගැනත් මටත් එච්චර ඇල්ලුවෙ නෑ.මම නම් හිතන්නෙ දැන් අපි ගෙදර ගියොත් හොඳයි "

" ඔව් ඔව්.මේ අල්ලගත්ත මාළු ටික හොඳටම ඇති.අපි ඉක්මනට ගෙදර යමු "

" ‍යමු.එ .... ඒත් ක් .... කෝ බන් නිමලය "

" දැන් මෙතන හිටියනෙ.ඒ ඩිංගට මූ කොහෙට ගියාද "

කොපමණ වේලාවක් වෙහෙසුනද තම මිතුරා පිලිබඳ එකඳු හෝඩුවාවක් සොයා ගැනීමට ඔවුනට නොහැකි විය.
* * * * * * * * * * * * * * * * * * * * * *

ලැව්ගින්නක් සේ පැතිර ගිය නිමල්ගේ මරණය පිලිබඳ පුවත සැලවූ පිරිසගෙන් වෙල් යාය පිරී යන්නට විය.
දනහිස වැසෙන තරමට වත් ජලය නොමැති ඇල මාර්ගයේ නිමල් වන් හැඩිදැඩි පුද්ගලයෙකු ගිලී මිය යාම සියල්ලන්ගේම සැකයට භාජනය වී තිබුන.
ඔවුන් එදින රාත්‍රියේ මධුවිත පානය කර ඇති බව දැනගත් විට එම සැකය තවත් වැඩි වන්නට විය.
මේ අතර ගම්මානයේ සිටි වැඩිහිටියෙකු එතැනට පැමිණියේය.
ඔහුගේ ප්‍රශ්න කිරීම් හමුවේ වසන්ත සිදුවූ සියල්ල ඔහුට පැවසුවේය.

" උඹල හැමෝගෙම මාරකේ තමයි යාලුවගෙ පිටින් ගිහින් තියන්නෙ.
උඹලට මොළයක් නැද්ද යකුනේ කෙම්මුර දවසක රෑ වෙලවෙ මෙතන මාළු අල්ලන්න ආවෙ.
අනික උඹල කාටවත් අහුවුනේ නැතුව ඌට විතරක් මාළු අහුවෙන කොටවත් උඹලට සැක හිතුනෙ නැද්ද.
ලූල කියන්නෙ දිෂ්ඨි තියන මාලුවෙක්.
ඌව ලේසියෙන් දැල් කෑල්ලක් උඩින් දාල අල්ලන්න බෑ.
මේ වගේ දවසක ලූල්ලු රංචු පිටින් අහුවෙන කොට ඉක්මනට මෙතනින් යන්න ඕන කියල උඹල දන්නෙ නැද්ද "

" අ ... අපි එහෙම දෙයක් දැනගෙන හිටියෙ නෑ මාමෙ "

" කවදාවත් කෙම්මුර දවස් වල හවස හයෙන් පස්සෙ මේ වගේ පාලු තැන්වල මාළු අල්ලන්නෙ එපා බොලව්.
ඇති එකෙක්ව විතරක් බිල්ලට අරගෙන ගියා.කෝ උඹල අල්ලපු මාළු ටික "

" ඔ ... ඔය බාල්දියට ඇතුලෙ "

" කෝ මේ පියන ඇරපන් බලන්න "

විවෘත කර බැලුවද එකම මාළුවකු වත් එහි නොවීය.
පොලිස් නිලධාරීන් පැමිණ නිමල්ගේ මල සිරුර සමඟ වසන්ත ඇතුළු ඔහුගේ මිතුරන් පිරිසද රැගෙන ගියේ මෙහි අගක් මුලක් සොයා ගැනීමේ අරමුණ ඇතුවය.
එහෙත් ඔවුන් උගතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ පෑවේ නිමල්ගේ මරණ පරීක්ෂණ වාර්ථාව ලැබීමත් සමඟය.
එය ජලයේ ගිලීම නිසා සිදු වූ මරණයක් ලෙස වාර්ථා කර තිබූ අතර නිමල්ට කිසිදු රෝගා බාදයක් තිබී නොමැති බව එහි වැඩිදුරටත් සදහන් කර තිබුණ.
ඇල් කොහොල් යම් මට්ටමක් ශරීරයේ තිබී ඇති අතර එය ඔහුගේ මරණයට බලපෑමක් වන තරමේ ප්‍රමාණයක් නොවන බවද එහි සදහන්‍ වී තිබින.
මිනී මැරුමක් බවට කිසිම සාක්ෂියක් තිබී නොමැති අතර අඩි දෙකක් තරම් වත් වතුර ප්‍රමාණයක් නොමැති ජලයේ නිමල් වන් හැඩිදැඩි තරුණයෙකු මිය ගියේ කෙසේ දැයි අදටත් අභිරහසකි.
* * * * * * * * * * * * * * * * * * * * * *

Comments System WIDGET PACK