වැරදීම | Waradima
වැරදීම
------------
සචින්ත ආව කියල දැන ගත්ත ගමන් රාණි දුවල ගිහින් ගේට්ටුව ඇරිය.
වෙනද වගේම පරිස්සමෙන් වාහනය වත්ත ඇතුලට ගන්න විදිහෙන්ම රාණි තේරුම් ගත්ත
ඔහු අදත් වෙනද වගේම බීල තමයි ඇවිත් තියෙන්නෙ කියල.
ඔහු බොනව කිව්වට සමහර මිනිස්සු වගේ කෙලින් ඉන්න බැරි තරම් බොන්නෙ නෑ
ඒත් සාමාන්‍යයෙන් ටිකක් දැනෙන්න නම් බොනව.
ඊට පස්සෙ ගොඩක් රෑ වෙලා තමයි ගෙදර එන්නෙ.
" නෝනල
නිදිද රාණි "
" ඔව් මහත්තය
දැන් ගොඩක් රෑ වෙලානෙ.
නෝන බලන් ඉදල ඉදල බැරි පාර නිදාගත්ත "
" අ .... නේ මේ බොරු කියන්න එපා රාණි.
උඹලගෙ නෝන කවද්ද මම එනකල් මග බලාගෙන හිටියෙ "
රාණි දිහා බලල කියපු සචින්ත හිමින් හිමින් ගේ ඇතුලට ගියා.
" අනේ දෙයියනේ ......
කුරුලු කූඩුවක් වගේ ලස්සනට හිටපු පවුලට මොකාගෙ ඇස් වහක් කටවහක් වැදුනද මන්ද.
නෝන එහෙන් හූල්ලනව මහත්තය මෙහෙන් හූල්ලනව
කෝටි ගණන් සල්ලි තිබුනත් වැඩක් තියනවද දෙන්න දෙමහල්ලන්ට සතුටින් ඉන්න බැරි නම් "
ඇයත් එලෙස සිතමින් ගේට්ටුවයි දොරයි වහගෙන ගේ ඇතුලට ගියා.
හිමින් හිමින් උඩුමහලට ගිය ඔහු මුලින්ම ගියෙ දරුව ඉන්න කාමරේට.
" පව්
කොල්ල හොදටම නිදි.
මට සමාවෙන්න රත්තරංනෙ.
තාත්ත ඉන්නෙ ලොකු දුකක් හිතේ හිරකරගෙන පුතේ.
ඒකයි මගෙ පුතා එක්ක සෙල්ලම් කරන්න වත් තාත්තට එන්න බැරි උනේ "
එහෙම හිතල දරුවගෙ නලල ඉඹපු ඔහු ඊලට යන්නෙ ඔවුන්ගෙ කාමරේට.
කාමරේ දොර ලගට ගිහින් දොර පොඩ්ඩක් ඇරල බලපු ඔහු දැක්ක තමන්ගෙ බිරිද සචිනිට හොදටම නින්ද ගිහිල්ල කියල.
ඇය දිහා ටිකක් වෙලා බලාගෙන හිටපු ඔහු ලොකු සුසුමක් හෙලල දැන් ටික දවසක් තිස්සෙ තමන්ගෙ කාමරේ උනු අනිත් කාමරේට ගිහින් ඇදගෙන ඉන්න ඇදුම් පිටින්ම ඇදට වැටෙනව.
උදේම නැගිටපු සචිනි පුරුද්දට වගේ බැලුවෙ සචින්ත කෝ කියල.
එතකොට ඇයට මතක් උනා ඔහු දැන් කීප දවසක් ඉදල නිදාගන්නෙ අනිත් කාමරේ නේද කියල.
සචින්ත ඉන්න කාමරේට ගිය සචිනි ඔහුගෙ ඇද ලගට ගිහින් ඔහුගෙ මූණ දිහා ටිකක් වෙලා බලාගෙන ඉන්නව.
ඔහුගෙ හිසකෙස් අතරෙ තමන්ගෙ අත එහාට මෙහාට කරන ඇයට නිලූෂි කියපු දේ මතක් වෙනව.
" ප්‍රශ්නයක් ආවම දෙන්නට දෙන්න මග ඇරල හිටිය කියල වත් කතානොකර හිටිය කියල වත් හරියන්නෙ නෑ.
ඔය ගැන සචින්ත එක්ක කෙලින්ම කතා කරපන්.
අනික සචින්ත කියන්නෙ ගොඩක් හොද මනුස්සයෙක්.
ඒක උඹයි මායි දෙන්නම හොදට දන්නව.
රස්සාව රස්සාව කියල මේක ගැන හිතලම නැගෙන්නෙ නැතුව නිවාඩුවක් දාල හරි නිදහසේ එයත් එක්ක මේ ගැන කතා කරපන් "
ඇය එහෙම හිතන අතරෙ ඇගෙ සියුමැලි අත්වලින් ලැබුනු පහසත් එක්ක සචින්ත ඇස් ඇරල බලනව.
" ද් ... දෝනි ඔ .... ඔයා "
" හ්ම්.
ඔව් මම "
" ඔයාට අද වැඩට යන්න පරක්කු වෙන්නෙ නැද්ද "
" න් .... නෑ සුදු තාත්ති.
අද මම නිවාඩුවක් දැම්ම "
" නිවාඩුවක් දැම්ම.
ඇයි දෝනි මොකක් හරි ප්‍රශ්නයක්ද "
හිමින් හිමින් උඩටයි පල්ලෙහාටයි ඔලුව වනපු ඇය ඔව් කියල කියනව.
" ඒ මොකක්ද දෝනි "
" තාත්තිටත් අද නිවාඩුවක් දාන්න පුළුවන් වෙයිද "
" පු ... පුළුවන් දෝනි "
" එහෙනම් තාත්ති ඔෆිස් එකට කතා කරල නිවාඩුවක් අරගෙන වොශ් එකක් දාගෙන එන්නකො මට තාත්තත් එක්ක ටිකක් කතාකරන්න ඕනි.
එතකල් මම දරුවව ලෑස්ති කරල
නාරදත් එක්ක නසරි එකට යවල එන්නම් "
දරුවම ලෑස්ති කරල නසරි එකට යවපු සචිනි බලාගෙන හිටියෙ සචින්ත වොශ් එකත් දාගෙන එනකල්.
ඔහු ඇවිත් ඇදට ඇවිල්ල ඇලවෙනකල් බලා හිටපු සචිනි ඔහුවෙ පපුවෙ හිස තියාගන්නව.
ඒ වෙලාවෙ සචින්තත් හරිම ආදරණීය විදිහට ඇයගෙ හිස අතගානව.
හුග දවසකට පස්සෙ ඔහුගෙන් ලැබෙන මේ පහස ආසාවෙන් විදගත්තු ඇය කතා කරනව.
" මගෙ සුදු තාත්ති "
" ම් .......
කියන්න දෝනි "
" මම තාත්තිගෙන් දෙයක් ඇහුවට කමක් නැද්ද "
" දෝනි.
මම ඔයාට පිට කෙනෙක්ද "
සචින්ත පුදුමෙන් වගේ එහෙම අහනකොට ඔහුගෙ පපුවෙන් මදක් මුහුණ උස්සපු සචිනි සමාව ඉල්ලන බැල්මකින් ඔහු දිහා බලනව.
" අනේ රත්තරං මම එහෙම හිතල ඇහුවෙ නෑ.
මගෙ මුලු ජීවිතේම ඔයානෙ සුදු තාත්ති "
" ඉතින් එහෙනම් මගෙන් මොනව හරි අහන්න අවසර ගන්නෙ මොකටද දෝනි.
ඔයාට ඕනම දෙයක් අහන්න "
" න් ..... නෑ මං මේ .... අහන්න හිටියෙ
මොකක්ද මගෙ සුදු තාත්ති ඔයාගෙ හිතට ඔය තරම් වදදෙන ප්‍රශ්නෙ.
අනේ ... ඇයි තාත්තියො මට වත් ඒක කියන්නෙ නැතුව තනියම හිතින් දුක් විදින්නෙ.
මගෙන් තාත්තිට මොකක් හරි වැරැද්දක් උනාද "
ඇගේ ප්‍රශ්නයත් එක්ක පුංචි නිහැඩියාවකට පස්සෙ ඔහු කතා කරනව.
" ම් ........
ඔ ... ඔව් දෝනි "
" මො ..... මොකක්ද තාත්ති.
මගෙන් වැරැද්දක් උනා.
අ .... අනේ ඒ මොකක්ද තාත්ති ඒ.
මම හිතල නම් ඔයාට කවදාවත් කිසිම වැරැද්දක් කලේ නෑ තාත්ති.
ඔයා මේ තරම් හිතින් දුක් විදින්න තරම් මගෙන් වැරැද්දක් වෙලා මට දැනුනෙවත් නෑ.
අ ... අනේ ම .... ම ... ට සමාවෙන්න වෙන්න තා ... ත්ති "
සචිනි අන්තිම වචන ටික කිව්වෙ ඇස් දෙකින් ගලා ගිය කදුළු වලින් සචින්තගෙ පපුව තෙමීගෙන යද්දි.
" දෝනි
මේ අහන්නකො මගෙ දෝනි
අඩන්න තරම් ලොකු වැරැද්දක් නෙමෙයි ඒක "
" ලොකු වැරැද්දක් නොවෙන්නෙ කොහොමද සුදු තාත්ති.
ඔයා ගිය දවස් ටිකේම ගෙදර ආවෙ ගොඩක් රෑ වෙලා.
අනික කවදාවත් කිසිම ලිකර් ජාතියක් නොබීපු ඔයා ගිය දවස් ටිකේම ගෙදර ආවෙ හොද සිහියකින් නෙමෙයි.
අනික ඔයා අන්තිම දවස් ටිකේ මා එක්ක මේ කාමරේ වත් එකට හිටියෙ නෑ.
ඉතින් කොහොමද සුදු තාත්ති ඒක පොඩි වැරැද්දක් නොවෙන්නෙ "
ඇගේ ප්‍රශ්නය ඇහුන ගමන් ලොකු හුස්මක් පිටකරපු සචින්ත කතා කරන්න පටන් ගත්ත.
" දෝනිට මතකද අපි බැදපු අලුත.
මම වැඩ ඇරිල ගෙදර එනකල් ඔයා මග බලාගෙන හිටපු හැටි.
මාත් එක්කම කෑම කාල ඇදට ගියාම මට තුරුළු වෙලා ගොඩක් වෙලා යනකල් කතා කර කර හිටපු හැටි.
මට ආදරේ නෑ කිය කිය හුරතල් විදිහට කියල මාත් එක්ක රණ්ඩු කරපු හැටි.
දවස් දෙක තුනකට සැරයක් දෙන්නත් එක්ක ගෙදරට ඕන කරන බඩු ගන්න සුපර්මාර්කට් ගිය හැටි.
නිවාඩු දවස් වලට දෙන්නත් එක්ක නිදහසේ කොහෙ හරි ඇවිදින්න ගිය හැටි.
බැදපු අලුත විතරක් නෙමෙයි
දරුව ලැබුනට පස්සෙත් එහෙමයි.
ඔයාගෙ ඔය අලුත් රස්සාව ලැබෙනකල් අපි තුන්දෙනාම කොච්චර සන්තෝෂෙන් හිටියද දෝනි "
ඔහු එහෙම කියනකොට ඇගේ සිතත් අතීතෙට දුවගෙන යනව.
සචින්තයි සචිනියි කියන්නෙ එකම ගමේ හොදටම හිතවත් පවුල් දෙකක ලමයි දෙන්නෙක්.
සාමාන්‍ය පෙල හොදටම සමත් උනත් සචින්ත කොලඹ ඇවිත් රස්සාවක් කරන්න පටන් ගන්නෙ තවත් ඉහලට උගන්වන්න තරම් තමන්ගෙ දෙමව්පියන්ට වත්කමක් නෑ කියල දන්න නිසා.
සචිනිටත් වෙන්න යන්නෙ ඒ ටිකම තමයි.
ඒත් සචින්ත සචිනිට උසස් පෙල නෙමෙයි කැම්පස් එකට යන්න පවා වියදම් කරල ඇයට උපරිම ඉහලට ඉගෙන ගන්න උදව් කරනව.
ඒ වෙනකොට පෙම්වතුන් වෙලා නොහිටියත් ඔවුන්ගෙ දෙමව්පියො ඔවුන්ට විවහ වෙන්න කියල යෝජනා කරනව.
" සචිනි "
" කියන්න අයියෙ "
" නංගි මම ගොඩක් දුරට ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි.
ඒක නිසා මට මේ කරන රස්සාවෙන් මීට වඩා ඉහලට යන්න බැරි වෙයි.
ඒත් ඔයා එහෙම නෙමෙයි ගොඩක් හොදට ඉගෙන ගත්ත කෙනෙක්.
ඒක නිසා ඔයාට හොද රස්සාවක් කරන්න පුළුවන් වෙයි.
ඉතින් ඒ කාලෙ වෙනකොට ඔයාට පසුතැවෙන්න වෙයි නංගි මම වගේ කෙනෙක් කසාද බදින්න කැමති උන එක අපරාදෙ කියල.
අනික මම ඔයාට උදව් කලේ මෙහෙම චේතනාවකින් නෙමෙයි.
ඒක නිසා ඔයා හොදට හිතල මතල තීරණයක් ගන්න "
" අයියෙ.
මෙච්චර ආදරෙන් මගේ හැමදෙයක් ගැනම හොයල බලල.
මට ඕන කරන හැමදෙයක්ම ලගටම ගෙනල්ල දීල.
නන්නාඳුනන නගරෙක කැම්පස් එකක ඉගෙන ගන්නකොට මගෙ ලගින් හෙවනැල්ල වගේ ඉදල මාව මේ වගේ තත්වෙකට ගෙනාපු ඔයාට වඩා මට ගැලපෙන කෙනෙක් මම කොහෙන් හොයාගනද අයියෙ "
ඊට පස්සෙ විවහා උනු ඔවුන් කොලඹ පදිංචියට එන්නෙ සචිනිටත් හොඳ රැකියාවක් ලැබුනට පස්සෙ.
කාලයත් එක්ක ලස්සනට ගේ පොඩ්ඩක් හදාගෙන වාහනයක් ගන්න පුළුවන් තත්වයක් ආවට පස්සෙ තමයි ඔවුන්ගෙ ලෝකෙට පුංචි පුතු පැටියෙක් එන්නෙ.
ඉගෙනීමයි පලපුරුද්දයි හැකියාවයි එක්ක තමන්ගෙ ක්ෂේත්‍රයෙ ඉහලටම යන්න සචිනිට පුළුවන් වෙනව.
සචින්තත් එක්ක එකම වාහනේ වැඩට ගිය ඇයට රැකියාවෙන් ලැබුනු උසස්වීමත් එක්ක අලුත් වාහනයක් ලැබෙනව.
ඉතින් සචින්ත කලින් කිව්ව වගේ කලින් දෙන්නත් එක්ක කලින් ගිය ගමන් බිමන් සචිනි තනියම යන්න පුරුදු වෙනව.
ගෙදරට අවශ්‍ය කරන දේවල් වගේම තමන්ට දරුවට විතරක් නෙමෙයි සචින්තට අවශ්‍ය දේවල් අවා ඇය තනියම ගිහින් ගේනව.
රැකියාවෙන් තවත් ඉහලට යන්න හිතන සචිනි වැඩිවේලාවක් යොමුකරන්නෙ තමන්ගෙ රැකියාව වෙනුවෙන්.
" අනේ රත්තරං ඉතින් මම මේ හැමදෙයක්ම කලේ අපේ මේ පුංචි පව්ල වෙනුවෙන්නෙ "
" ඒක තමයි දෝනි මම ඒක ලොකු වැරැද්දක් නෙමෙයි කිව්වෙ.
ඒත් දෝනි සල්ලි කියන්නෙ ජීවිතේම නෙමෙයිනෙ රත්තරං.
ඔයා මං ගැන තියන අවධානය අඩුවෙන කොට හිතාමතාම වැරදි කලේ එතකොට වත් ඔයා මා ගැන හිතයි කියල.
මම උවමනාවෙන් රෑ වෙලා ආව එතකොට වත් ඔයා ඒ ඇයි කියල හරි මගෙන් අහයි කියල.
ඒත් ඔයා ඒ ගැන අහනව තියා මම එනකොට ඔයා හොදටම නිදි.
මම දන්නව ඉස්සර වගේ ඔයා මම එනකල් බලාගෙන ඉන්නෙ නැතුව නිදාගන්නෙ දවස පුරාම මහන්සි වෙලා ඉන්න නිසා ඒ අමාරුවට කියල.
ඒත් රත්තරං මං ආසයිනෙ මං ගැන මගෙ දෝනි පොඩ්ඩක් හොයල බලන වනම්.
අඩුපාඩු දැකල මට බනිනව නම්.
ගෙදරට බඩු ගේන්න තියනව ඒක නිසා හෙට ටිකක් වේලාසනින් වැඩ ඇරිල එන්න කියල කරදර කරනවනම්.
නිවාඩු දවසෙ කොහෙහරි යන් කියල කරදර කරනවනම්.
අඩුමගානෙ මොකක් හරි නැති වැරැද්දක් හොයාගෙන මා එක්ක රන්ඩු කරනවනම් මට දැනෙනව ඔයා මා ගැන හොයනව කියල.
මට ආදරෙයි කියල.
ඒත් රත්තරං එහෙම නැති උනාම මට ලොකු අසරණ කමක් පාලුවත් තනිකමක් දැනුන.
ඒකයි මම රෑට රෑට යාලුවො එක්ක එහෙ මෙහෙ යන්න පුරුදු උනේ.
ඔයා කිසිම දේකට මගෙන් සල්ලි ඉල්ලන්නෙ නැති නිසා මා ලග ඕන තරම් සල්ලි තියනව.
ඉතින් ඒ ගියාම උන් බොනකොට මාත් පොඩ්ඩක් බොන්න පුරුදු උනා
මට සමාවෙන්න දෝනි.
මම වැරදියි "
" න් .... නෑ තාත්ති
ඔයා විතරක් නෙමෙයි මාත් වැරදියි.
මම හිතුවෙත් ජීවිතේ එක පැත්තක් ගැන විතරයි.
ඒත් ආයිත් එහෙම වෙන්නෙ නෑ තාත්ති.
ඔන්න මම දැන් හැමදාම තාත්තිට කරදර කරනව ඒව මේව ඉල්ලල.
ඒ විතරක් නෙමෙයි පුංචි හරි වැරැද්දක් කලොත් නම් ඉතින් බලාගන්න පුළුවන් මම කොච්චර සැරයිද කියල.
අනික මම ඉල්ලන ඒව ඔක්කොම අරන් දෙන්න ඕනි.
සල්ලි නෑ දෝනි
ඊලග මාසෙ අපි ඒක ගමු ඒ කතා බෑ ඔන්න "
සචිනි කිව්වෙ සචින්තගෙ සිරුර උඩට තමන්ගෙ මුලු සිරුරම බර කරන ගමන්.
" අපොයි අපොයි
මම මගෙ දෝනිගෙ අවධානෙ මගෙ පැත්තට ගන්න ගිහින් ලොකු කරදරේක වැටුන වගේ "
" ඔව් ඔව් දැන් ඉතින් කරන්න දෙයක් නෑ.
ඔන්න තාත්තියො කියපු දේවල් ආයිත් වෙනස් කරන්න නම් බෑ ඔන්න "
" නෑ රත්තරං
ඔයාගෙ ආදරේ හැමදාම මෙහෙම ලැබෙන වනම් ඔයා වෙනුවෙන් මට මොනවද කරන්න බැරි "
ඔහු කිව්වෙ ඇගේ දෙතොල් වලට බර වෙන්න හදන ගමන්.
" හා හා ඔය මොකද කරන්න හදන්නෙ
මට ඔයාට කරදර කරන්න කියල
ඔයා කිව්ව මිසක්.
මම ඔයාට කිව්වෙ නෑනෙ මට කරදර කරන්න කියල "
" එහෙම හොද නෑනෙ දෝනියො
මාත් ඉතින් ඔයාට පොඩ්ඩක් කරදර කරන්නම්.
නැත්නම් පුතා ඔයාට හැමදාම වගේ අදත් කරදර කරයි මල්ලියෙක් හරි නංගියෙක් හරි ඕනි කියල "
" ඉන්න ඉන්න ඉන්න
කව්ද ඔයාට ඔය කතාව කිව්වෙ "
" රාණි දවසක් උදේ කිව්ව පුතා නසරි යන්න ගිහින් ඔයාට කිව්ව කියල මල්ලියෙක් හරි නංගියෙක් හරි ඕනි කියල "
" මම අල්ලගන්නම්කො රාණිව
එයාටත් ඕනි නැති දෙයක් නෑ "
" හරි හරි ඔයා රාණිව පස්සෙ අල්ලගන්නකො දෝනි.
දැන් අපි දෙන්න පුතාගෙ ප්‍රශ්නෙ විසදල ඉමුකො "
එහෙම කියන ගමන් සචින්ත සචිනිව තමන්ගෙ ඇගට තුරුළු කරගනිමින් ඇගෙ දෙතොල තමන්ගෙ දෙතොල් තැබුව.
හිමින් හිමින් ඔහුගෙ දෙතොල් වල උණුසුම තමන්ගෙ වතපුරා දිවයන යද්දි සචිනි දෑස් පියාගෙන ඊට අවනත උනේ ටික දවසකට හරි මේ පහස තමන්ගෙන් ඈත් කරගත්ත එක ගැන පසුතැවෙමින්.
-----------------------------------------------
මේ ටිකත් කියවන්න.
------------------------------------
ලියන්න ගියහම හිතුවට වඩා දිග උන නිසා කතාව ටිකක් කෙටි කරන්න සිද්ධඋනා.
ඒකෙන් කතාවෙ රසයට හානියක් උනානම් සමාවෙන්න.
සචින්තටයි සචිනිටයි සුදු තාත්ති සුදු දෝනි කියන වචන යොදා ගැනීම වැරදි කියල ඔබ හිතුවොත් මට ඒකටත් සමාවෙන්න.
දැන් තියන සමාජ ක්‍රමය තුල පිරිමියට වඩා උසස් රැකියාවන් කරන කාන්තාවන් ඕන තරම් ඉන්නව.
මේක දෙපාර්ශවයට අදාල නිසා වගේම මෙහෙම දෙවල් වෙනස් විදිහට දෙන්න ඕනි කියල මම හිතනව.
ඒකයි මම මෙතන කාන්තාව මූලික කරල පෙන්නුවෙ.
මුල අමතක කරන අයත් මේ සමාජෙ ඕනි තරම් ඉන්නව.
පිරිමියගෙ වැරදි ඔක්කොම හරි කියල හිතන අයත් ඉන්නව.
ජීවිතේදි පැන නගින ප්‍රශ්න කීපයක් එකම කෙටි කතාවකින් පහදල දෙන්න ගිහින් අඩුපාඩුවක් වෙලා නම් ඒකටත් මට සමාවෙන්න.
