ටීච | Teecha


ටීච
-----

මිහිසර හදවත් සම්බන්ධයෙන් ප්‍රතිකාර කරනා දක්ෂ වෛද්‍යවරයෙකි.
ඔහු සුපුරුදු පරිදි තමාගේ වාට්ටුවෙ සිටිනා ලෙඩුන් පරික්ෂා කරමින් ඉදිරියට ඇදුනාය.

" මේ ලෙඩා ඊයෙ රෑ ගෙනාවෙ.
සිරිගල හොස්පිටල් එකෙන් තමයි මෙහාට මාරු කරල එවල තියන්නෙ ඩොක්ටර්
ගොඩක් අමාරු උනා ඒ වෙලාවෙ උදේ වෙනකල්ම කෙදිරි ගගා හිටියෙ
දැන් නම් නින්ද ගිහිල්ලද කොහෙද "

හෙදිය එක්තරා ලෙඩෙක් පෙන්වමින් ඔහුට පැවසුවාය.
ඇයගේ රිපෝට් පරීක්ෂා කල ඔහු ඇය දෙස බැලීය.
ඇය පෙනුමෙන් ලාබාල තරුණියකි.

" මෙයාව මෙහෙම තියල හරියන්නෙ නෑ ඉක්මනට ඔපරේෂන් කරන්න වෙයි.
කෝ මෙයාගෙ කවුරු හරි ආවද මෙයාව බලන්න.. "

" උදේ නම් ආවෙ නෑ ඩොක්ටර් මෙයා ගුරුවරියක්
ඉස්කෝලෙදි අමාරු වෙලා එයාල තමයි අරගෙන ආවෙ "

" එහෙ නම් කවුරු හරි ආවොත් මං ලගට එවන්න
මෙයාට ඉක්මනට ඔපරේෂන් එක නොකලොත් බේරගන්න වෙන්නෙ නෑ "

" හා ඩොක්ටර්
මම කවුරු හරි දවල්ට ආවම කියන්නම් "

දවල් වරුවේ ඇය බලන්නට ගුරුවරුන් කීපදෙනෙකු පැමිණියේය.
හෙදියගේ දැණුම්දීම මත ඔවුන් මිහිසර හමුවිය.

" මෙයාට ගොඩක් අමාරුයි ඉක්මනටම ඔපරේෂන් එකක් කරන්න වෙනව.
හොස්පිටල් එකෙන් කරන්න නම් ලිස්ට් එකේ ඉන්න වෙයි එහෙම උනොත් නම් ජීවිතේ ගැන විස්වාසෙ තියා ගන්න අමාරු වෙයි "

" කොච්චරක් විතර යයිද ඩොක්ටර් මේ ඔපරේෂන් එකට "

" ලක්ෂ තිහක් තිස් පහක් විතර යයි "

එය ඇසූ ඔවුන්ගේ හදවත්ද මොහොතකට නතර වූවා වැනිය.

" හැබැයි පුළුවන් තරම් ඉක්මනට මේක කරන්න ඕන දැනටමත් පරක්කු වැඩියි "

ඔවුන්ගේ ඉරියව් අනුව නම් මුදල් සොයාගත හැකි බවක් මිහිසර නොදැක්කාය.

" එයාගෙ පවුලෙ කවුරුත් නැද්ද මේ ගැන කියන්න "

" මෙයා දැන් මෙහෙට ඇවිත් අවුරුද්දක් විතර ඇති ඩොක්ටර්
අපි දන්න විදිහට නම් එයාගෙ පවුලෙ කවුරුත් නෑ එයා විතරයි ඉන්නෙ.
මැරි කරල බබාල නෑ කියල මහත්තය ඩිවෝස් කලාට පස්සෙ එයා තනියම තමයි ජීවත් වෙනව කියලයි අපි දන්නෙ "

මිහිසර ඇයගේ රුව මතක් කලාය.
පෙනුමෙන් අවුරුදු විසි පහක් පමණ පෙනුමැති ඇය විවහා වී දික්කසාද වී සිටින බව බැලු බැල්මට කිසිවෙකුට පැවසිය නොහැකිය.

" ඒත් අපි මේ ගැන මොනව හරි කරන්න බලන්නම් ඩොක්ටර් "

ඔවුන් එසේ පැවසුවද එහි ස්තීර භාවයක් ඔහු නොදැක්කේය.
ඔහු සවස් වරුවේ වාට්ටුව අසලින් යන විට ඇය අවදි වී සිටිනා අයුරු ඔහු දුටුවේය.
ඇය දුටුව විට ඇය සමග ටිකක් කතා කිරීමේ ආසාවක් ඔහුට ඇතිවිය.
ඔහු එනු දුටු ඇය සෙමින් සිනාසුනාය.

" ඔයාට දැන් කොහොමද "

" ටිකක් හොදයි ඩොක්ටර් "

" ඔයාව මහන්සි කරන්න හොඳ නෑ ඒත් මට දෙයක් දැනගන්න තියනව.
ඇහුවට කමක් නැද්ද "

" අනේ කමක් නෑ ඩොක්ටර්
ඕන දෙයක් අහන්න "

" ඔයාගෙ දෙමව්පියො නැද්ද "

" මගෙ අම්ම නැති උනෙ මම කැම්පස් යන කාලෙ මම මැරි කරපු අලුත මගෙ තාත්තත් නැති උනා.
ඊට අවුරුදු දෙකකට විතර පස්සෙ නැන්දම්මගෙ කීමට ළමයි නෑ කියල මහත්තය මගෙන් ඩිවෝස් එක ඉල්ලුව.
ඉතින් මම දුන්න
දීල අපේ ගේයි ඉඩමයි ගමේ හිටපු දුප්පත් පවුලකට ලියල දීල මම දැන් උගන්වන මේ ඉස්කෝලෙට මාරුවීමක් හදාගත්ත "

ඇය කණගාටුවෙන් පවසන විටම පාසැල් ලමුන් කීපදෙනෙකු සමග ගුරුවරුන් කීප දෙනෙක් ඇය බලන්නට පැමිණියේය.
ළමුන් පැමිණ විගස ඇයට දනගසා වැද ඇය අසලට ගොස් ඇය අතගාන්නට වූයේ දෑස් වල කදුළු පුරවාගෙනය.

" අනේ ඇයි මැණික ඔයාල මේ අඩන්නෙ ටීච සනීප වෙලා ඉක්මනටම එනවනෙ මගෙ පැටව් ටික බලන්න ඒක නිසා අඩන්නෙ නැතුව ඉන්නකො "

අමාරුවෙන් පවසමින් ඇය හඩනා දරුවන් සැනසුවාය.

" අනේ ටීච නැතුව අපිට පාලුයි ටීච.
ඉස්කෝලෙ යන්න බෑ අපිට අපේ ටීච නැතුව "

ඔවුන් එක හඩින් අඩමින් කීවේය.
ඉන් එක් දරුවකුගේ අතින් අල්ලා ගත් මිහිසර මදක් ඈතට ආවේය.

" ටීචට ඔයාල හුගක් ආදරේද "

ඇය කදුළු අතරින් තම හිස වනා ඔව් යැයි පැවසුවාය.

" ටීචත් ඔයාලට හුගාක් ආදරෙයිද "

" ඔව්.
ටීච අපිට හුගක් ආදරෙයි
අපිට කෑම ගෙනියන්න බැරි දවසට බඩගිනි උනොත් කන්න අරන් දෙන්නෙත් ටීච
අපේ අම්මලට සල්ලි නැති නිසා අපිට පොත් අරන් දෙන්න බැරි උනොත් ඒව අරන් දෙන්නෙත් අපේ ටීච
ඉස්කෝලෙ පහසුකම් ගාස්තු දෙන්න බැරි පන්තියෙ ඔක්කොම ලමයින්ගෙ ඒව ගෙවන්නෙත් ටීච
අපේ ටීච අපිට ගොඩාක් ආදරෙයි
අපිව හරිම ආදරෙන් බලාගන්නව "

" ටීච නැති උනොත් අපි කොහොමද ඉස්කෝලෙ ගිහින් ලොකුවෙලා රටට වැඩක් කරන්නෙ
අපි ඔක්කොම මේ දවස් ටිකේම අපේ අම්මලත් එක්ක පන්සල් ගිහින් ටීචට සනීප වෙන්න කියල හැමදාම බුදු සාදුට කියනව "

තව ලමයෙක් පවසන අයුරු මිහිසරට ඇසුනි.

ඉතාමත් ආදරයෙන් ඇය දරුවන් සමග කතා බහ කරන දෙස මදක් බලා සිටි ඔහු යන්නට ගියේය.
------------------------------------------------------------

" දැන් කොහොමද ඔයාට "

මිහිසර ඇය අසලට පැමිණෙමින් ඇසුවේය.

" අනේ ඩොක්ටර්
ඩොක්ටර්ට පිංසිද්ධවෙනව මේ කරපු දේට
මම මැරෙන්න බය නෑ ඩොක්ටර්
ඒත් අර දරුවො ටික දාල මැරෙන්න මට දුකයි මම නැති උනොත් ඒ දරුවො ටික තවත් අසරණ වෙනව
ඒත්
ඒත් ඇයි ඩොක්ටර් එහෙම දෙයක් කලේ
මෙච්චර ලොකු ගාණක් මාව බේරගන්න මං වෙනුවෙන් වියදම් කලේ
මම ගොඩක් අසරණ කෙනෙක්
කොහොමද ඩොක්ටර් මම මේ ණය ඩොක්ටර්ට ගෙවන්නෙ "

" මම මේ සල්ලි වියදම් කලේ ඔයා වෙනුවෙන් විතරක් නෙමෙයි.
ඔයා නිසා ජීවත් වෙන අර අහිංසක දරු පැටව් ට්ක වෙනුවෙනුත් එක්ක.
ඒත් ඔයාට මේ ණය නම් අනිවාර්යයෙන්ම ගෙවන්න වෙනව "

" අනේ ඩොක්ටර් කොහොමද මම මේ ණය ගෙවන්නෙ එච්චර ලොකු ගාණක් මම කොහෙන් හොයන්නද "

" පුළුවන්
ඔයාට එක වචනෙන් ඒ ඔක්කොම ටික ගෙවන්න පුළුවන් "

" ම .... මට තේරුණේ නෑ ඩොක්ටර්
මෙ .... මේ මො .... මොකක්ද කියන්නෙ කියල "

" මම කියන්නෙද
හැබැයි මං මෙහෙම කිව්ව කියල මං ගැන වරදවා හිතන්න එපා.
මම මෙච්චර කාලයක් මැරි නොකර හිටියෙ
මට එහෙම මැරි කරන්න ඕන කියල කිසිම අදහසක් නොතිබුනු නිසා.
ඒත් ඔයාව දැක්කම ඔයා අර ලමයින්ට දෙන ආදරේ වගේම ඒ ලමයි කොච්චර ආදරේද කියල දැක්කම මම දැන ගත්ත ඔයා හොද හදවතක් තියන කෙනෙක් කියල.
මම කවදාවත් හිතුවෙ නෑ ඔයා වගේ කෙනෙක් මට මුණ ගැහෙයි කියල.
ඔයාගෙ ඔය හොද ගතිගුන නිසාම මට ඔයා ගැන ආදරයක් ඇති උනා.
හැබැයි මම ඔයාව සනීප කර ගත්තෙ මැරි කරන්න කියල හිතාගෙන නෙමෙයි.
ඒත් ඔයා මට කැමති නම් මම කැමති ඔයාව මැරි කරන්න.
ඔයා බයෙන් ඉන්නෙ මම ඔයාව ණය කාරයෙක් කලා කියලනෙ.
ඉතින් මගෙ ණය ටිකත් මාව මැරි කලොත් ඔයාට ගෙවන්න පුළුවන් "

" ඩොක්ටර් මො ..... මොනවද මේ කියන්නෙ
මං වගේ කෙනෙක් ඩොක්ටර් වගේ ...... "

" ඇයි මොකක්ද ඔයාගෙ තියන වරද "

" මම කලින් බැදපු කෙනෙක් ඩොක්ටර්
අනික මට ලමයි ලැබෙන්නෙත් නෑ
ඉතින් මං වගේ කෙනෙක් ...... "

" මම ඔයා ගැන හැමදෙයක්ම දන්නවනෙ
ඒව මට ප්‍රශ්නයක් නෙමෙයි නම් ඔයාට ප්‍රශ්නයක් නෑනෙ.
කලින් මැරි කරල ඩිවෝස් උන කෙනෙකුට ආයිත් මැරි කරන්න හොඳ නැද්ද.
අනික ඔයාට ලමයි හැදෙන්නෙ නැද්ද බලන්න ඔයා චෙක් කරල බැලුවද.
ඔයාගෙ කලින් මහත්තයගෙ තමයි ප්‍රශ්නෙ තිබිල තියෙන්නෙ.
මම ඔයාව චෙක් කලා.
හැබැයි මම ඔයාට ලමයෙක් ලැබුනත් නැතත් ඔයාව මැරි කරන්නෙ ඔයාට ආදරේ නිසා "

" ඒ ..... ඒත් ඩොක්ටර් "

" ඇයි ඔයා මට කැමති නැද්ද "

" අ .... අනේ ඩොක්ටර්
ඩොක්ටර් වගේ හොද කෙනෙකුට අකැමති වෙන්නෙ කවුද "

" එහෙනම් ඉතින් ප්‍රශ්නයක් නෑනෙ
අනික ඔයා මට ලොකු ණයක් ගෙවන්නත් තියෙනව "

ඔහු සිනාසෙමින් තම සුරත ඉදිරියට පාමිණ් පැවසුවේය.
ඔහු දෙස බලා මදක් සිනාසුන ඇය සෙමින් සෙමින් තම සුරත ඔහුගේ සුරත මත තැබීය.
****************************************


Comments System WIDGET PACK