දුවේ නුඹ මාගේ ප්‍රාණයයි | Duwe Nuba Mage Pranayayi
"දෝණී.... පොඩ්ඩක් එන්න පුතේ"
සාලේ ඉදන්ම මං කතා කරේ මගේ දුවට. මගේ ජීවිතේ වටිනම වස්තුව .
"දෝණී.... දෝ...."
විදුලියක් කෙටුවා වාගේ මට එකපාරටම මතක් වුණේ දෝණී දැන් අපේ ගෙදර නෑ නේද කියලා.ඊයේ මගේ දුවගේ කසාදේ සිද්ද වුණා.මේ පැය කීපයට මට ඒකත් අමතක වුණ හැටි.මගේ ඇස් තෙත් වුණා.ගලන කඳුළු පිට අත්ලෙන් පිහදාන ගමන් මං ඇවිදගෙන ගියේ දෝණිගේ කාමරේට.මං කාමරේ පුරාම ඇස් යැව්වේ හිස් බැල්මකින්.මගේ බැල්ම නතර වුණේ ඇඳ ඉස්සරහා ම ගහලා තියෙන මගෙයි,සේමිණීගෙයි,දූගෙයි පින්තූරේ ළඟ. ඇස්වලින් කඳුළු ගලද්දී මගේ මතකේ අවුරුදු ගානක් ඈතට ගියා.
මට අද ඊයේ වගේ මතකයි දෝණි ඉපදුන දවස.රෝස පාට පැනල් එකක ඔතලා අම්මට තුරුල්වෙලා සනීපෙට නිදාගෙන හිටියා මගේ මැණික.ගැහෙන අත්වලින් හරි පරිස්සමට මං ඔයාව පපුවට ලං කර ගත්තා.ඔයාව අත් දෙකට ගත්ත මුල්ම විනාඩියේදී ලොකු වගකීමක් මට පැවරුණා කියන හැගීම මට තදින්ම දැනුණා. මගේ මුළු ලෝකෙම වුණේ ඔයා.ඔයාගේ අම්මට ආදරේ කරාටත් වඩා මං ඔයාට ආදරේ කරන්න පටත් ගත්තා.ඔයාගේ අම්මට කවදාවත් තරහින් කතා කරලා නැති මම ඔයාට පුංචි සීරීමක් වුනත් අම්මාට කෑ ගහන්න ගත්තා. ඔයත් අම්මට වඩා ලං වුණේ මට.හැමදේම කිව්වේ මාත් එක්ක. මං තමයි උබේ ලෝකේ වීරයා වුණේ .
මට මතකයි දවසක් උබට පන්තියේ පිරිමි ළමයෙක්ගෙන් ලියුමක් ලැබිලා තිබුණා.එතකොට උබට යන්තම් වයස අවුරුදු දාසයක් වුණා විතරයි.උබ කරේ ඒක දිගාරින්නෙවත් නැතුව මගේ අතට ගෙනත් දුන්න එක.ඇත්තටම එදා මට උබ ගැන සතුටු හිතුණා.මොකද උබේ ජීවිතේ කිසිම දෙයක් උබ මට හංගන්නේ නෑ කියලා එදා මං දැනගත්තා.කාලයත් එක්ක ම පෙනුමෙන් වගේම වයසෙනුත් උබ වැඩුණට මට උබව දැනුනේ මුලින්ම උබව මගේ අත් දෙකට ගනිද්දී උන්න පුංචි එකී විදියටමයි.ඒත් උබේ ජීවිතේ ගැන තීරණ ගන්න පුලුවන් තරමට උබ පරිණත වෙලා කියලා මට තේරුණේ උබේ ජීවිතේට ආදරයක් ඇතුල්වුණා කියලා උබ මට කිව්ව දවසේ.එදා මට දැනුනේ දුකක්ද, සතුටක්ද,ඊර්ෂ්‍යාවක්ද, එහෙමත් නැත්නම් මගේ පුංචි කෙල්ල තාත්තාගෙන් ඈත් වේවී කියලා බයක්ද කියලා මට හිතාගන්න බැරි වුණා
උබේ ආදරේට අපේ කැමත්ත ලැබුණා. හරි ඉක්මනට ම උබේ කසාදෙත් තීන්දු වුණා.ඒ හැමදේම වෙද්දීත් මං හිටියේ තෝන්තුවෙන් වගේ.මගේ ළඟ හුරතල් වෙවී ඉඳිය මගේ චූටි දූ මගෙන් දුරස් වෙයිද කියන බය මට නිතරම දැනුණා.කාලයත් එක්ක දෝණී වැඩිහිටියෙක් වෙලා පරිණත වුණාට මං තවමත් එක ම තැන නේද කියලා මට දැනුනේ උබේ කසාදෙ ලං වෙද්දියි.
ලස්සන ම ලස්සන මනමාලියක් වෙලා ඔයා ඔයාගේ ජීවිතේ අලුත් පරිච්ඡේදයක් පටන් ගත්තා. මං සතුටු වුණා. මගේ දරුවව ලස්සනට හදලා නේද කියලා මං ආඩම්බර වුණා.පිටත් වෙන වෙලාවේ උබ කළේ මාව බදාගෙන අඩන එක."තාත්තේ" කියනවා ඇරෙන්න වෙන වචනයක් උබේ කටින් පිට වුණේ නෑ.උබ ඉකි ගගහා මගේ උරහිසේ ඔලුව ගහගෙන ඇඩුවා.
"මේ තමයි මගේ හැමදේම. කවදාවත් ම මං මෙයාට ගහලා බැනලා අඩවලා නෑ පුතේ. වැරැද්දක් කළොත් හොදින් කියලා දෙන්න. මොකද ගහන්න බනින්න තරම් බරපතල වැරදි මගේ දරුවා අතින් සිද්ද වෙන්නේ නෑ කියලා මට විශ්වාසයි. මං මගේ දරුවව හැදුවේ ඒ පුංචි හදවත ආදරෙන් පුරවලා පුතේ. එයා ඔයාට හොද ආදරණීය බිරිඳක් වෙයි. මං ඒක දන්නවා. කවදාවත් මේ ඇස් දෙකට කඳුලක් දෙන්න එපා."
මං උබේ මහත්තයට කිව්වා.
"තාත්තා තරමට ම බැරි වෙයි. එත් මං මගේ උපරිමයෙන් ම තාත්තගේ දෝණිව ඒ කියන්නේ මගේ නෝනව බලා ගන්නවා. රැජිනක් වගේ"
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
මං උබේ ඇදෙන් ඉදගත්තා.ඊයේ පාන්දර උබ ඇඳන් හිටපු ගවුම නමලා දාපු විදියටම තවමත් උබේ ඇඳ කොනේ තියෙනවා.ඒ ගව්මෙන් පවා මට අදටත් දැනෙන්නේ එදා උබව මුලින්ම මේ අත් දෙකට ගත්ත දවසේ උබ ළඟ දැනිච්ච සුවඳමයි. මං උබේ ගවුම අත් දෙකින්ම පපුවට තද කරගත්තේ දෑස් තෙමන කඳුළුවලට ඔහේ ගලා යන්න ඉඩ දීලා...
... මදූ ...